ෂූට් එකක් කර කර ඉද්දී බල්ලෙක් ඇවිත් කකුල හැපුවා
ඖෂාණි රත්නායක කියන නම ටිකක් නුහුරුයි. නම වගේම ඒ රුවත් කලාවට අලුත්. මේ දිනවල විකාශය වන තෝඩු නාට්‍යයෙ ඖෂාණිව අපට දැකගන්නට පුළුවන්. මෙවර හදසර කවරය සරසන්නේ ඇයයි.
ඖෂාණි අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න...?
මගේ නම ඖෂාණි රත්නායක. මම පවුලේ එකම දරුවා. මගේ තාත්තාගේ නම නන්දන දේශප්‍රිය. මගේ අම්මාගේ නම ශිරානි හේමමාලා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු ජපානයේ තමයි ව්‍යාපාරික කටයුතු කරන්නේ. මගේ අම්මා ලංකාවේ ඉඳගෙන ඒ කටයුතුවලට උදව් කරනවා.
ඖෂාණි ඉගෙන ගත්තේ මොන පාසලේදී ද...?
මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ. මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනීහිටියා. දැන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. පාසලේදී මම හරිම දඟ චරිතයක්. ගුරුවරුන්ගෙන් දඬුවම් ලැබෙනවා. සමහර පන්ති කට් කරනවා. ඕලෙවල් ලියන්න මාස දෙකතුනක් තිබිලත් පන්තියට යන්නේ නැතිව ටොයිලට් එකේ හැංඟිලා ක්ලාස් කට් කරපු දවසුත් පවා තිබුණා. ඒ වුණාට කොහොම හරි පාඩම් එහෙමත් කළා. ඉගෙනත් ගත්තා. හැබැයි පාසල මගින් කරන නාට්‍යවලදී අනිවාර්යයෙන්ම මම ඉන්නවාම තමයි.
පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද...?
චූටි කාලේ ඉඳන් රංගනයට හැකියාවක් තිබුණා. ඒ නිසා රඟපාන්න ආස කළා. සමහරදාට ටී.වී. එකේ පෙන්නන චරිත දිහා බලාගෙන මම ඒ විදිහට රඟපාලා පවා තියෙනවා. ටී.වී.එක දිහා බලලා ඒ චරිත අඬද්දී මම ඒ විදිහට අඬනවා. සමහර අය හිනාවෙන දිහා බලාගෙන මම ඒ විදිහට හිනාවෙනවා. සමහර අයව අනුකරණය කරන්න උත්සහ ගන්නවා. හැබැයි පුංචි කාලේ ටී.වී.එක දිහා බලාගෙන ඒ විදිහට ගෙදර ඉඳන් රඟපෑවට කවදාවත් ටී.වී.එකෙන් මට මාව දකින්න පුළුවන් වෙයි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. ඇත්තටම අදටත් මට ඒක හීනයක්.
ඒ හීනය හැබෑවුණේ කොහොමද...?
ඒ අපූරු අවස්ථාව මට ලැබුණේ අහම්බෙන් වගේ එක ටෙලිනාට්‍යයක බොහෝම පුංචිම කොටසක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක බොහෝම පුංචි කොටසක්. එතනදී මට ප්‍රියන්ත අයියව මුණගැසුණා. ඔහු හරහා මට ලලිත් සර්ව (ලලිත් වසන්ත) හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ලලිත් වසන්ත සර් තමයි මට “තෝඩු ටෙලිනාට්‍යයේ චරිතයකට අවස්ථාව ලබලා දුන්නේ.
තෝඩු* එකේ රඟපාන්නේ ප්‍රවීණ අය වගේම තරුණ කලාකරුවන් කලාකාරියන් කිහිපදෙනෙක්ගෙත් දායකත්වය ලැබෙනවා. ඒ අවස්ථාව කොහොමද ඖෂාණිට දැනෙන්නේ...?
ඇත්තටම ඒ ගැන කියන්නම ඕනේ. මම මේ ක්ෂේත්‍රයට අලුත්. රඟපාන්න ආස කළාට රඟපාන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මුලින්ම කැමරාව ඉස්සරහා මේ චරිතය රඟපාද්දී බයක් දැනුණා. ඒත් නාට්‍යයේ අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා සර් වගේම ලලිත් වසන්ත සර් ඇතුළු මුළු කණ්ඩායමම වගේ ඒ බය නැතිකළා. මේ ටෙලිනාට්‍යයේ රඟපාන ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලබලා දෙනවා. මට මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දෙනවා. ඇත්තටම ඒ නිසාම මම දැන් රඟපාන්න ආසයි.
“තෝඩු නිර්මාණයේ ගැහැනු ළමයි තුන්දෙනයි, පිරිමි ළමයි තුන්දෙනයි. මේ කට්ටිය එකතුවුණාම මොනවද කරන්නේ...?
අම්මෝ... ඒ වෙලාවට ඉතින් හරිම ෆන් තමයි. මම ෂූටිං යන්න හරිම ආසයි. අපි ෂූටිං කරද්දී මට අනිත් අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. බැරි දේවල් කියලා දෙනවා. ලොකු උදව්වක් ඒ හැමෝගෙන්ම මට ලැබෙනවා. ඉතින් ලොකේෂන් එකේදී අපි හරිම ෆන් එකේ තමයි ඒ හැමදාකම ඉන්නේ.
රූගත කරද්දී අමතක නොවන සිදුවීමක් වෙලා නැද්ද...?
එහෙම අමතක නොවන සිදුවීමක් නම් වුණා. හැබැයි ඒක වුණේ මට නම් නෙමේ. චමීර අයියටයි. ෂූටිං කරද්දී ගහගන්න සීන් එකක් ෂූට් කර කර හිටියා. ඒ වෙලාවේ එතන හිටපු බල්ලෙක් මේක දැකලා එකපාරටම දුවගෙන ඇවිත් මැදට පැනලා චමීර අයියගේ කකුල හැපුවා. ඒ වෙලාවේ අපිට කරගන්න දෙයක් නැහැ. අපි හරියට බය වුණා. හැබැයි ඉක්මනට කට්ටිය බල්ලව එලෙව්වා. චමීර අයියගේ කකුලෙන් පොඩ්ඩක් ලේ ටිකකුත් ආවා. කොහොමහරි ඒකට බෙහෙත් දාගෙනත් චමීර අයියා අයෙත් ෂූට්එක කළා. ඒ වෙලාවේ අපි බයවුණාට පස්සේ ඒ සිද්ධිය මතක් කර කර කට්ටිය හිනා වුණා. ඒක නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ.
ඖෂාණි රංගනයට එකතු වුණාට පස්සේ ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද...?
මගේ ගෙදරින් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. මගේ තාත්තා විදෙස් ගතව හිටියට හැමවෙලේම මටයි, අම්මටයි කෝල් කරනවා. මගේ අම්මත් තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට උදව් කරන නිසා අම්මත් චුට්ටක් විතර කාර්යබහුලයි. ඒ නිසා මම ෂූටිං යන්නේ අපේ රාණි ඇන්ටි එක්කයි. අම්මත් බොහෝ වෙලාවට ෂූටිං කරන තැනට යනවා එනවා. ඒ නිසා මට බයක් නැහැ.
ඖෂාණි විලාසිතාවලට ගොඩක් කැමතියි වගේ...?
ඔව්... ඔව්... විලාසිතාවලට නම් කැමතියි. මගේ අම්මා කියනවා පුංචි කාලේදීත් මම එහෙම එක එක චූටි චූටි ගවුම් ලස්සනට අඳින්න හරි කැමතියි කියලා. ඉස්සර චූටි කාලේ අම්මගේ ලිප්ස්ටික්, ක්‍යුටෙක්ස් එහෙම ගහගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවාලු. දැන් වුණත් මම විලාසිතා කරන්න හරි ආසයි.
► Text - Dishani / Pic - Sumudu