වේදිකා නාට්‍යවලට තමයි කැමැත්තක් තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-259

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරිනියක වන බිලේෂා මේ වනවිට ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. බිලේෂා ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වූයේ කූඹියෝ ටෙලි නාට්‍ය හරහායි. ඉදිරියේදී ගුරුවරියක් වීමට අපේක්ෂාවෙන් සිටින බිලේෂාව සාරවිට කතාබහට සම්බන්ධ කරගැනීමට අප සිතුවා.

 

බිලේෂා ගැන හඳුන්වා දුන්නොත්?2019-05-06-ent-261

මගේ නම බිලේෂා විජේරත්න. මම ගුරු වෘත්තීය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරතුර රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය කිහිපයකට මේ වෙද්දි රංගනයෙන් දායක වී තිබෙනවා.

 

බිලේෂා රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පාසල් කාලයේ ඉඳලම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලා විශේෂ උපාධියක් හැදෑරුවා. ඒ කාලයේදී විශ්ව විද්‍යාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා.

 

මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙනවා. ඒ හිරු නාලිකාවේ විකාශය වන 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන 'යං' ටෙලි නාට්‍යයයි. ප්‍රපාතය ළඟ වනස්පතිය, මැක්බත්, මායා බන්ධන වැනි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබෙනවා.

 

බිලේෂා ජනප්‍රිය වෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍ය හරහා. ඒ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් ජනප්‍රිය නැහැ ඉතින්. මෙහෙමයි. කූඹියෝ ටෙලි නාට්‍ය යම් සැලකිය යුතු පිරිසක් නැරඹුවා. ඒ බලපු පිරිස අතර මාව ජනප්‍රිය වුණා. කූඹියෝ නාට්‍යයට මාව සම්බන්ධ කළේ අපේ කැම්පස් එකේ තුසිත ලක්නාත් අයියා. මම දායක වුණේ % උළුගෙදර සුදු නංගි^ කියන චරිතයට. ඒ චරිතය පොඩි චරිතයක්. දැන් කූඹියෝ අවසන් වෙලා අවුරුද්දක් විතර වෙනවා. තවමත් සමහර අය හමු වුණාම ඩුබායි වට්ටක්කා ගෙඩිය කියලා විහිළු කරනවා.

 

කූඹියෝහි සුදු නංගි කියන චරිතය සම්මාන උළෙලයන්ට පවා නිර්දේශ වෙලා තිබුණා නේද?

ඔව්. සුදු නංගි චරිතය 2017 රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම අංශයට නිර්දේශ වුණා. ඒ වගේම ගොඩක් අය ඒ සඳහා ඡන්දය ලබා දී තිබුණා. මම හිතන්නේ නාට්‍යයේ ගුණාත්මකභාවය මත තමයි මම ජනප්‍රිය වුණේ. ඒ වගේම 'ඩුබායි වට්ටක්කා ගෙඩියක් වගේ' කියන දෙබස නිසා මගේ චරිතය මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වුණා.

 

වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ වේදිකාවටද, පුංචි තිරයටද?

වේදිකා නාට්‍යවලට තමයි කැමැත්තක් තියෙන්නේ. වේදිකාවෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා. වේදිකාව සහ ටෙලි නාට්‍ය කියන්නේ දෙකක්. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. වේදිකාව තුළම රැඳිලා ඉද්දි එතන අමුතුම හැඟීමක් දැනෙනවා.

 

ඔබේ කලා කටයුතුවලට උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියළු දෙනාවම. ඊට අමතරව මගේ පාසලේ නාට්‍ය ගුරුවරයා වූ ප්‍රියන්ත රත්නායක සර්ව මතක් කරන්න ඕනේ. ඔහු මගේ විශ්ව විද්‍යාල ප්‍රවේෂයට ලොකු පිටිවහලක් වුණා. එතකොට විශ්වවිද්‍යාලයේ යාළුවෝ, ගුරුවරු හැමෝම උදව් කළා. නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් මට උදව් කරලා තියෙනවා.

 

කැළුම් දේවින්ද

 

2019-05-06-ent-258  2019-05-06-ent-260