වෙලාවකට සසුන්ගත වෙන්න හිතෙනව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-30-ent-14

ආදර වැස්ස, සීතල ගිණිදැල්, සසර වස්සානය, පසුගිය දිනවල විකාශය වූ එම ටෙලිනාට්‍ය සමග වැඩි දෙනෙක් අතර ජනප‍්‍රිය වු මේ ‘තරු බෝගොඩ’ ගැන අද අපට කතා කරන්න වෙන්නේ ටෙලි නාට්‍ය ශිල්පිනියක ලෙස වුවද හෙට දිනයේදී ඇය ධාවන ශූරියක වෙන්නත් පුළුවනි. මෙයාගේ යාළුවෝ නම් මෙයාට කියන්නේ බොහොම රථගාය තියෙන කෙනෙක් කියලයි. එනම් වේගයෙන් රථ පැදවීම තමයි මෙයාගෙ ප‍්‍රියතම විනෝදාංශය වන්නෙ. මේ විදියට වේගයෙන් රථ පදවන තරු බෝගොඩ ටෙලිනාට්‍ය ශිල්පිනිය සඳැල්ල පිළිසඳරකට ආ විදියයි මේ.

 

තරු වැඩි දෙනෙක් කතා කරන්නෙ ඒ නමින් නේද?

2017-03-30-ent-11ක්ෂේත‍්‍රයේ අය වගේම යාළුවෝ හැමෝම වගේ කතා කරන්නෙ ඒ නමින්. ඒත් ටෙලිනාට්‍ය නරඹන වැඩි දෙනෙක් අතර වඩා ජනප‍්‍රිය වුනේ සසර වස්සානය නාට්‍යයේ දේදුනු ලෙසයි.

 

දේදුනු කෝ කැළුම්

ඒ නාට්‍යයේ කැළුම් කෙනෙක් හිටියෙ නැහැ. සදෙවි කියලා කෙනෙක් තමයි හිටියෙ.

 

ජීවිතයට ඇලූම් බැලූම් කැළුම්පාන කෙනෙක් ඇති?

අනාගතයේදී එහෙම වේවි.

 

ගම කොහෙද?

මාතලේ.

 

මාතලේ සිට කොළඹ එන්න පිටත් වුණාම ඇයි රේස් එකේ එන්නෙ.

පුරුදු වෙලා තියෙන විදිය නිසයි. කොහොමටත් මම වේගයෙන් රථ පදවන්න ආසයි. මාතලේ ඉඳලා කොළඹ එන්නත් එපැයැ. ඒ නිසා ටිකක් ස්පීඞ් කරලා එනවා. ඒත් ක්ෂේත‍්‍රයේ සිටින මගෙ යාළුවෝ නම් කියන්නේ වේගයෙන් එන්න එපා කියලයි. මොකද පසුගිය දිනවල අපේ සහෝදර ශිල්පිනියක් ඒ විදියට ගිහින් මිය ගිය නිසා. ක්ෂේත‍්‍රයේ සමහර අය ‘ආ ඊළඟට ඔයා ලැහැස්ති වෙලා ඉන්න’ කියලත් විහිළු කරනවා.

 

ඔච්චරම ආසා නම් ඇයි රඟපාන්න ආවේ?

මෝටර්රථ ධාවන තරඟවලට යන්න තිබුණානෙ.

ඇත්තටම දැන්නම් එහෙමත් හිතෙනවා. පිරිමි එක්ක මහා මාර්ගයේදී කරට කර පදවනවා. ඉස්සරහට සමහර විට ධාවන තරග වලට එන්නත් බැරි නැහැ.

 

ඇයි ඇත්තටම වේගයෙන් රථ පදවන්නෙ?

මම සමහර වෙලාවට ටිකක් කලබල කෙනෙක්. කවුරු හරි පිරිමි කෙනෙක් වෙට්ටුවක් දාලා මගෙ වාහනය පසුකර ගෙන ගියොත් මාත් ඉතිං අතාරින්නෙ නැහැ. ඒක හිතලාම කරන දෙයක් නෙවෙයි. ඒ වෙලාවට ඉබේටම වන දෙයක්. එක එක්කෙනාට දුර්වලතා තියෙනවනෙ. සමහර විට ඒක මගේ දුර්වලතාවයක් වෙන්නත් ඇති.

 

ගැහැණු ළමයෙක් කලබලවීම හොඳ දෙයක් නෙවෙයි නේද?

ඒක නම් ඇත්ත. ඒත් සමහර විට පවුලේ එකම ළමයා වෙච්ච හන්දා සමහර විට මට ඒ දඟකාර ගති එන්න ඇති. හැබැයි මම මුරණ්ඩු චරිතයක් නම් නෙවෙයි.

 

පවුලේ විස්තර කිව්වොත්?

අප්පච්චි ජිවතුන් අතර නැහැ. අම්මයි මායි විතරයි.

 

මාතලේ සිට කලා කටයුතුවලට පැමිණීමට අපහසුතාවක් නැද්ද?

මාතලේ දාලා අපට එන්න බැහැ. මොකද අපේ ව්‍යාපාරය තියෙන්නෙ එහේ. අම්මා කලින් පවත්වාගෙන ගිය රූපලාවන්‍යගාරය දැන් කරගෙන යන්නේ මම. මාතලේ ඉඳලා නිතර කොළඹ ඒම දුෂ්කර දෙයක්. ඒත් මගේ අරමුණ කරා යන්න මහන්සි වෙන්න වෙනවා.

 

මොකක්ද අරමුණ

හොඳම නිලියක වීම මගේ හීනයක්.

 

දැන් හොඳ මදි කියලද හිතන්නේ?

ඔව් ඇත්තටම සෑහීමකට පත්වෙන්න බැහැ. මම නිතරම හිතන්නෙ රඟපෑමේ කාර්යය දියුණු කර ගැනීම ගැනයි. මෑතකදී චිත‍්‍රපයකට රඟපෑවා. ඉදිරියේදී තවත් චිත‍්‍රපටයක රඟපෑමට සූදානමින් සිටින්නෙ. ‘ශ්‍රී වික‍්‍රම’ ඒ චිත‍්‍රපටයේ නමයි. ටෙලිනාට්‍ය අතරින් ‘තුරුම්පු ආසියා’ එන්න තියෙනවා. ඊට අමතරව තව තුනකට ආරාධනා ලැබී තිබෙනවා.

 

‘තරු’ට ක්ෂේත‍්‍රය ගැන හිතෙන්නෙ කොහොමද?

අපිව ඉතින් කපලා දාන්න බලන අය බොහෝමයි. හැබැයි ඒ කොයි කා එක්කත් සහයෝගයෙන් කටයුතු කිරීම තමයි මගේ විදිය.

 

ඔබගේ අඩුපාඩු අනෙක් අය පෙන්නලා දෙනවට කැමතිද?

මම කාටවත් වරදක් කරන්නේ නැහැ. නමුත් මොනව හරි අඩුපාඩු තිබේ නම් පෙන්නලා දෙනවාට කැමතියි.

 

වෙලාවකට ටිකක් කේන්ති යන කෙනෙක්ලූ නේද?

මම හරි හොඳ කෙනෙක්. කොච්චර හොඳ වුණත් මට කොච්චර අවාසි වුණත් අසාධාරණය හමුවේ නම් පෙනී සිටිනවා. ඒක නම් අතාරින්නෙ නැහැ. මම හොඳ අයට ගොඩක්ම හොඳ කෙනෙක්.

 

අපි නොදන්නා ඔබ ගැන දන්න දේ ගැන කිව්වොත්?

ඇතුළාන්තයෙන් මම හරිම සංවේදී කෙනෙක්. නමුත් මගේ පෙනුම සහ කතාකරන විදිය අනුව මිනිස්සු එහෙම හිතන එකක් නැහැ.

 

මේ අලූතින් ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට එන තරුණියන්ට මේ තැන සුදුසුයි කියලද තරු කියන්නේ?

සුදුසුමයි කියාත් කියන්න බැහැ. නමුත් අපි දැන ගන්න ඕනෑ අපේ සීමාව මොකක්ද කියලා. මේ ක්ෂේත‍්‍රය ජනප‍්‍රිය නිසා හැමෝම වගේ ඒ දිහා තමයි බලාගෙන ඉන්නේ. නමුත් ලංකාවේ වෙනත් ක්ෂේත‍්‍ර ගත්තොත් කාන්තාවන් මුහුණ දෙන ප‍්‍රශ්න ඒ තැන්වල මීට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්.

 

ජීවිතය මොකක් කියලද හිතන්නෙ?

එක අතකට මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නෙ වාසනාවකට වාගේම පව්කාර කමකටත් කියලයි මට හිතෙන්නේ. ඒ වෙලාවට ඇත්තටම මට සසුන්ගත වෙන්නත් හිතෙනවා.

 

ඒ කියන්නේ කවදාහරි දසසිල් මාතාවක් වෙනවා කියලද?

දැනට හිතලා නැහැ. ඒත් ජීවිතය හරිම සරලයි. බැඳීම් නැහැ. එක අතකට එහෙම වෙන්න තියෙනවා නම් ඒක හොඳ දෙයක්.

 

රඟපෑමේ ක්ෂේත‍්‍රයට පැමිණීම ඇත්තටම පහසු දෙයක්ද? ඕනෑම කෙනෙකුට එන්න පුළුවනිද?

කොහෙත්ම බැහැ. හැකියාව තියෙන්න ඕනෑ. මම මුලින්ම ආවේ නිරූපණ ශිල්පිණියක ලෙසයි. මට ඒ අවස්ථාව ලබා දුන්නෙ වාසනා දන්තනාරායන මහත්මියයි. පසුව ටිකෙන් ටික අත්දැකීම් ලබමින් යන ගමනක් තමයි මෙය. ඒ වෙනුවෙන් වාසනාව තියෙන්න ඕනෑ කියලත් හිතනවා. මම හිතන්නෙ ඒ වාසනාව මට තිබුණා කියලයි. මුලින්ම මගේ අරමුණ වුනේ ගුවන් සේවිකාවක වීමටයි. ඒ අවස්ථාව මඟ හැරුණා. පසුව මියුසික් වීඩියෝ හරහා තමයි ක්ෂේත‍්‍රයේ මේ ගමන පටන් ගත්තෙ.

 

හැඩගැන්වීම් කවී ජයවර්ධන (Salon Kawi)

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-03-30-ent-09  2017-03-30-ent-13 2017-03-30-ent-12  2017-03-30-ent-10