විවාහ යෝජනා පැමිණෙනකොට අම්මාගේ හිතේ දුකක් තියෙනවා කියලා මට දැනෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-26-ent-66

විනු උදානි සිරිවර්ධන මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන චරිතයක්. තාරුණ්‍යයේ ආදරණීය රංගන ශිල්පිනියක වන ඇය මේ දිනවල තරමක් කාර්ය බහුල චරිතයක් බවට පත්ව තිබෙනවා. මෙවර "අද" තරු කතා බහ වෙන් වෙන්නේ ඇයටයි.

 

මේ දිනවල කොහොමද කාලය ගෙවෙන්නේ?

2017-09-26-ent-65මේ ටිකේ ටිකක් කාර්යය බහුල කමක් තියෙනවා. රතු පිච්ච ටෙලි නාට්‍ය‘යේ රූගත කිරීම් සිදු කෙරෙනවා. මම ගොඩක් කාර්ය බහුල වුනේ රතු පිච්ච, දෙව්ලියේ යන ටෙලිනාට්‍යවල රූගත කිරීම් නිසයි. නමුත් දැන් දෙව්ලියේ ටෙලිනාට්‍ය‘යේ වැඩකටයුතු අවසන් කරලා ඉවරයි. ඊට අමතරව ලැබුණ ආරාධනා කිහිපයකුත් භාර ගත්තා. මේ දිනවල විකාශය වන "මිල්ලෑව වලව්ව" ටෙලිනාට්‍යෙය් චරිතයකටත් ඉදිරියේදී දායක වෙනවා. ඊට අමතරව චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරලා තියෙනවා.

 

මොකක්ද ඒ චිත්‍රපටය?

ඒ චිත්‍රපටය සඳරුවන් ජයවික්‍රම මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මීට මාසයකට පමණ පෙර තමයි එහි රූගත කිරීම් පටන් ගත්තේ. නමුත් අයහපත් කාලගුණයත් සමග එහි රූගත කිරීම් කටයුතු නවතා තිබෙනවා. එහි ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ හේමාල් රණසිංහ, ආශා එදිරිසිංහ සහ මමයි.

 

රතුපිච්ච ටෙලිනාට්‍යයේදී ඔබ අලුත් අත්දැකීමකට මුහුණ දෙනවා නේද?

මම ද්විත්ව චරිත නිරූපණයක නියැළෙන ප්‍රථම අවස්ථාව. එහි චරිත දෙක වන්නේ එකක් සිංහල චරිතයක්, අනික දමිළ චරිතයක්. නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගේ චරිත තමයි මම රඟපාන්නේ. දමිළ ටෙලිනාට්‍යයක මම මීට පෙර රඟපාලා තිබුණා. නමුත් විකාශය වූ ටෙලිනාට්‍යයත් එක්ක දමිළ චරිතයකට මම දායක වන පළමු චරිතය තමයි "රතු පිච්ච" හි මායා කියන්නේ. ඉතිං ඒකටත් හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

ඔබට දමිළ භාෂාව කතා කිරීමේ හැකියාව තියෙනවාද?

පාසල් ගිය කාලේ ඉගෙනගත් නිසා සාමාන්‍ය‘යෙන් වචන කිහිපයක් කතා කරන්න පුළුවන්. ටෙලිනාට්‍යයක දමිළ චරිතයක් කරද්දී නුපුරුදු ගතියක් පේන්නට බැහැනේ. ඒකට අවශ්‍ය කරන පසුබිම ඒ පහසුව ලබා දුන්නේ දර්ශන ධර්මරාජ් මහතායි. ඔහු තමයි එහි මගේ අයියා විදියට පෙනී සිටියේ. එහි අම්මා තාත්තා ලෙස සිටිය අය දමිළ අයමයි. ඒ ගොල්ලොන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ විදියට තමයි චරිත ගොඩනගා ගත්තේ.

 

සිනමාවට අවම වශයෙන් දායක වෙන්නේ, සිනමාවට කැමැත්තක් නැද්ද?

වැඩිපුර කැමැත්ත තියෙන්නේ සිනමාවට. නමුත් හොඳ නිර්මාණ පිළිබඳව තමයි වැඩි බරක් තියෙන්නේ. ඉතිං හොඳ නිර්මාණයක් ලැබෙන කල් කියලා බලාගෙන ඉන්න හින්දා කියලා තමයි චුට්ටක් ටෙලිනාට්‍යවලට වඩා අඩුවෙන් චිත්‍රපට සඳහා දායකත්වය ලබා දෙන්නේ. සිනමා නිර්මාණ ටෙලිනාට්‍ය තරම් දීර්ඝ විදියටම නිර්මාණය වෙන්නේ නැහැ. කිසියම් වටිනාකමක් තියෙන හොඳ විදියක නිර්මාණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය කාලය බලද්දි හැම වර්ෂයකදීම එක සිනමා නිර්මාණයකට වශයෙන් දායකත්වය ලබාදී තිබුණා.

 

හොඳ නිර්මාණ පමණක් කියලා ඔබ අදහස් කරන්නේ කුමක්ද?

හොඳ නිර්මාණ කියලා මම අදහස් කළේ මට ගැළපෙන කියන එක. චරිත නිරූපණයත් සමග මම තෝරා බේරාගැනීමක් කරනවා. ඊට අමතරව කතා තේමාව පිළිබඳව ගැලපීම් හා නොගැලපීම් තිබෙනවා. ඉතිං ඒ දේවල් එක්ක ගත්තාම තමයි පොඩ්ඩක් තෝරා බේරාගැනීම් කරන්න වෙන්නේ.

 

ඒකාකාරී චරිතවලට කොටුවෙලාද රංගනයට දායක වෙන්න?

රංගනයේදී යම් කිසි සීමාමායිම් තිබුණත් ඒකාකාරී චරිත මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දිනවල විකාශය වන දෙව්ලියේ, සීරජ, රතුපිච්චි කියන ටෙලිනාට්‍ය ගත්තාම ඒ සියල්ලේම චරිත එකිනෙකට වෙනස්. ඒවගේ මමත් බලන්නේ අලුත් දෙයක් නිර්මාණය වෙනුවෙන් මගේ දායකත්වය ලබාදෙන්නයි.

 

මේ දක්වා ඔබ රංගනයෙන් දායක වූ වැඩ කටයුතු පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

අපි ඉදිරිපත් කළාට වඩා යමක් නිර්මාණ හරහා බලාපොරොත්තුවන්නට පුළුවන්. හොඳ නිර්මාණයක් කරද්දී ගොඩක් අයට මුදල් පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ සමස්තයක් විදියට සම්පූර්ණ නිර්මාණය සඳහා වියදම් කරන මුදල මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ. ඒනිසා තමයි හොඳ නිර්මාණවල අඩුවක් දක්නට ලැබෙන්නේ. හොඳ නිර්මාණයක් කරනකොට, හොඳ චරිත තෝරා බේරාගන්නකොට ඒ චරිතවලට දායකවන පුද්ගලයන්ට සාධාරණයක් කරන්නට ඕන. ඒ නිර්මාණ හා පසුතල නිර්මාණයන් සඳහා යම් කිසි වියදමක් දරන්නට වෙනවා. ඒ හැමදෙයක් ගැනම බලද්දී මම හිතන්නේ සමහර දේවල්වලට අඩුකමක් වෙන්නේ ඒක. ඒ අතරේ හොඳ අධ්‍යක්ෂකවරුන් යටතේ හොඳ නිර්මාණත් බිහිවෙනවා.

 

අද ලංකාවේ ගොඩක් පුවත් හුවමාරුව සිදුවෙන්නේ සමාජමාධ්‍ය හරහායි. මේ පිළිබඳ ඔබේ අදහස?

ඇත්තටම මම කාලයක් නිහඬව හිටියා කිසිම තොරතුරක් දෙන්නේ නැතිව. ඒ කියන්නේ රංගනය හෝ පෞද්ගලික තොරතුරක් හෝ මම එළියට දුන්නේ නැහැ. ගොඩක් විට දකින සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවලින් දකින්නේ ඒ දේවල් විකෘති කර පළවීමක්. මෑත කාලයේදී මම පුවත්පත් සඳහා අදහස් දක්වා තිබුණා ඒ දේවල් නිවැරදි වෙයි කියන විශ්වාසයෙන්. ඒ වගේම සජීවී දේවල්වලට වඩා පළවන දේවල් පිළිබඳව විශ්වාස කරන කෙනෙකුත් නෙවෙයි. දෙයක් ඇහෙන් දකින්නේ නැතිව කෙනෙක් කියපු පළියට විශ්වාස කරන්න බැහැ. නමුත් සමාජ වෙබ් අඩවිවල සමහර වෙලාවට දකින දේවල් ඈතින් දැකලා විශ්වාස කරන්න වුණත් අපහසු තත්ත්වයන්වලට පත්වෙනවා. ඉතිං මම හිතන්නේ මම කලාකාරිනියක විදියට ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක්ගේ අගය කිරීමක් කරන්න පුළුවන් නම් සමාජ මාධ්‍යයන්ට යහපත් පැත්තක් තියෙයි කියලා.

 

මෙපමණ කාලයක් ක්ෂේත්‍ර‘යේ ඉඳලත් තවමත් අපි දන්නේ නැහැ ඔබ පෙම්වතියක්ද කියන එක? ඒ සඳහා තවමත් කාලය තියෙනවාද?

මම හිතන්නේ ඒ සඳහා තවමත් කාලය තියෙනවා කියලයි. ආදරය කියන දෙය ඇත්තටම මම කැමති දෙයක්. මේ වනවිට ප්‍රේක්ෂක ආදරය නම් මට කොහොමත් නොඅඩුව ලැබෙනවා. ඒ අතරේ විශේෂ ආදරයක් හා විවාහය පිළිබඳව තවමත් කල් තියෙනවා කියලා ඉන්නවා.

 

පෙළවහක් වෙන්න ඕන කාලය හරි කියලා අම්මලා කියන්නේ නැද්ද?

එහෙම දැන් කියන්නේ නැහැ. විවාහ යෝජනා පැමිණෙනකොට අම්මාගේ හිතේ දුකක් තියෙනවා කියලා මට දැනෙනවා. ඒ මම එයාලගෙන් ඈත්වෙයිද කියලා. හැබැයි ඉතිං මම දකින විදියට එයාලගෙත් ලොකු හදිස්සියක් නැහැ ඒ සඳහා.

 

අම්මලා විනූව ඈත්කරලා වෙන කෙනෙකුට දෙන්න අකමැතිද?

එහෙම එකකුත් තියෙනවා. අම්මලාගේ කාලෙ ගත්තාම අපේ අම්මාවත් විවාහ වෙලා තිබුනේ අවුරුදු 29දී විතර. සමහරවිට මටත් ඒ වෙනකම් ඉන්න වෙයිද දන්නේ නැහැ.

 

ඒ කියන්නේ තව අවුරුදු ගාණක් බලන් ඉන්න වෙයිද?

ඔව් අවුරුදු ගාණක් ඉන්න වෙයි.

 

ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

ප්‍රේක්ෂකයන් හැමදාම මගෙ නිර්මාණවලට සහ මට ආදරය කළා. හැමදාම වගේම අදත් මම මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් කැමතියි. මම ඕනෙම වෙලාව ඒ අයත් එක්ක කතා කරන්න කැමතියි. එයාලට හැමදාම ඒ විදියටම මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

හොඳ නිර්මාණවලින් ඉදිරියේදී දායක්වය දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් එක්කම විශේෂ මම විලාසිතා පැත්තට කැමැත්තක් හා නැඹුරුවක් තියෙන නිසා ඇඳුම් නිර්මාණය හා විලාසිතා පිළිබඳව මගේ නිර්මාණයන් විදියට දෙයක් කරන්න ඕන කියල අදහසකුත් තියෙනවා.

 

රංගන ශිල්පිනියක් වගේම ඉදිරියේදී ව්‍යාපාරික කාන්තාවක් වෙයි කියලද විනූ කියන්නේ?

ව්‍යාපාරිකාවක වගේම මගේ හැකියාවට ඉඩක් දෙන්න ඕන කියලා පෞද්ගලිකව මට හිතිලා තියෙනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-09-26-ent-61 2017-09-26-ent-62 2017-09-26-ent-63 2017-09-26-ent-64