'විමංසා' තුළින් නැවතත් පුංචි තිරේ දකින 'නෙතූ'
මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන "විමංසා" ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවන නෙතූ ප්‍රියංගිකා සමගින් අද 'සාරවිට' තරු කතා බහ දිගහරින්නට අපි සිතුවෙමු. වසර කිහිපයක් තිස්සේ රංගන ශිල්පිනියක ලෙස නමක් දිනා සිටින නෙතූ මේ වනවිට ටෙලි හා සිනමා නිර්මාණ රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබා ඇති යොවුන් රංගන ශිල්පිණියකි.
'විමංසා' නිසා මේ දිනවල නෙතූ හරි ජනප්‍රියයි නේද?
ඔව්, කාලේකට පස්සෙ තමයි ටෙලි නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන් මුණගැසෙන්නේ. 'විමංසා' විකාශය ආරම්භ වෙලා තාම ගෙවුණේ කොටස් 15ක ප්‍රමාණයක් විතරයි. තවමත් මෙහි රූපගත කිරීම් සිදු කරනවා. විකාශය වුණේ කොටස් සුළු ප්‍රමාණයක් වුණත්, ලැබෙන රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. 'විමංසා' ටෙලි නාට්‍යයේ 'විමංසා' කියන චරිතය හරහා තමයි ටෙලි නාට්‍යය ගොඩනැගිලා තියෙන්නේ. 'විමංසා' පුවත්පත් මාධ්‍යවේදිනියක්. ඇය නිතරම සමාජයට අසාධාරණයක් සිදු කරන පුද්ගලයන් අලළා ලිපි පළ කරනවා. 'විමංසා' පුවත්පත් කලාවට එන්නේ පැහැරගත් තම පියා ගැන සොයා බලන්න. ඔය විදිහට තමයි ටෙලි නාට්‍යය දිග හැරෙන්නේ. මෙහි මා සමගින් විශ්ව කොඩිකාර, කාවිංග පෙරේරා, බුද්ධදාස විතානරාච්චි, ක්ලීටස් මෙන්ඩිස්, කමල් දේශප්‍රිය යන පිරිස රංගනයෙන් දායක වෙනවා.
පසුගිය කාලේ නෙතූ රංගනය පැත්තට සමුදුන්නද?
පෞද්ගලික හේතුවක් මත තාවකාලික විවේකයක අවශ්‍යතාවයක් මට තිබුණා. ඒ හින්දා තමයි රංගන කටයුතුවලින් ඉවත්වෙලා හිටියේ. නමුත්, ඒ ඉවත්වෙලා හිටිය කාලයේ දී මම වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතින් නෙතූව මිනිස්සුන්ට අමතක වුණේ නැහැ කියලා මම හිතනවා.
මේ හැම වැඩක්ම භාරගන්නේ මිනිස්සුන්ගේ මතකයේ ඉන්නද?
නැහැ. මම කලාවට ගොඩක් ආදරෙයි. ඒ වගේම ලොකු කැමැත්තක් තියෙනවා. පුංචි කාලේ ඉඳලා මගේ හීනේ වෙලා තිබුණෙත් රංගන ශිල්පිනියක් වෙන්න. ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක්, මියුසික් වීඩියෝවක් වගේම වෙළෙඳ දැන්වීමක් මම භාර ගන්නේ කලාවට තියෙන ආදරය නිසා. මම ක්ෂේත්රයට ඇවිල්ලා ලොකු කාලයක් වෙනවා. නමුත්, නිර්මාණ ගත්තොත් මම දායක වෙලා තියෙන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක්.
වැඩ ලැබෙන්නේ අඩුවෙන්ද? නැත්නම් ඔබ වැඩ තෝරා බේරා ගැනීමක් කරනවද?
වැඩ තෝරා බේරා ගැනීමක් කරනවා. ක්ෂේත්රයට ඇවිත් ලොකු කාලයක් වෙලත් දායක වෙලා තියෙන නිර්මාණ ගත්තොත් ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි වැඩ භාරගන්නේ තෝරා බේරා ගැනීමක් කරලා නිසා.
නෙතූගේ ජීවිතේ හැරවුම් ලක්ෂය 'සිරස කුමරිය' තරගය?
ඔව්, 'සිරස කුමරිය' තරගය තමයි මගේ කලා ජීවිතේ මුල්ම කඩඉම. ඒ තරගයට ඉදිරිපත් වුණ නිසා තමයි මම රංගන ශිල්පිනියක් බවට පත් වුණේ. රංගන ශිල්පිනියක් නොවුණා නම් මම අද නීතිඥවරියක් හෝ පෞද්ගලික අංශයක රැකියාවක් තෝර ගන්න තිබුණා. ඒත්, අද මගේ වෘත්තිය වෙලා තියෙන්නේ කලාව.
රංගන ශිල්පිනියක් විදිහට මේ ගෙවලා තියෙන කාලය ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. රංගන ශිල්පිනියක් විදිහට ටෙලි හා සිනමා නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මිනිස්සු කතාබහ කරන චරිතයක් වෙන්න මට පුළුවන් වුණා. ඉතින් ගොඩක් සතුටුයි.