වැඩි කැපවීමක් කරලා තමයි සිරුර හදාගත්තේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170525Chulakshi-2

ලක් රූ රුජින කිරුළ 2014 වසරේ දිනාගත් රූමතිය වූ චුලක්ෂි රණතුංග පසුගිය සතියේ ලක් නාමය තවත් ඉහළට ඔසවා තැබීමට සමත් වූවාය. ඒ ලොව හොඳම නිරූපිකාවට හිමි සම්මානය මෙරටට දිනා දෙමිනි. ස්පාඤ්ඤයේ  පැවැත්වූ Best model world 2017 තරගාවලියට සහභාගි වෙමින් මෙම ජයග්‍රහණය අත්කර දුන් ඇය, අප සමග මෙලෙස සම්බන්ධ වූවාය.

 

ලොව හොඳම නිරූපිකාව ලෙස ඔබට ජය ගෙනදුන් තරගය පිළිබඳව මුලින්ම යමක් කිව්වොත්?

International best female model world 2017 කිරුළ මා හට දිනාගන්න හැකිවූ තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤයේදීයි. එයට මාව යොමුකළේ බ්‍රයන් කෝර්කෝවන් හා කමිල් හේවාවිතාරණ යන අයගේ නිර්දේශ කිරීම මතයි. මම මේ තරගය සඳහා සහභාගිවීමට මැයි 3 වැනිදා ස්පාඥ්ඤය බලා පිටත්වුණා. ජයග්‍රහණය සමග නැවත මම ලංකාවට ආවේ 18 වැනිදා.

 

20170525Chulakshi-1තරගාවලියේ ඔබට නිරූපණය කරන්නට තිබුණු අංශ මොනවාද?

නාන ඇඳුම් විලාසිතා, දේශීය ඇඳුම් විලාසිතා, සැදෑ සමය සඳහා විලාසිතා වගේම හොඳම ජායාරූප සඳහා පෙනීසිටින නිරූපිකාව, හොඳම අනුකූලතාවක් දක්වන නිරූපිකාව සහ ජනතා සම්මානයට පාත්‍රවන නිරූපිකාව, හොඳම කැට්වෝල්ක් එක හිමි නිරූපිකාව කියන අනු අංශ රැසකට අපිට තරග වදින්නට සිදුවුණා. මේ අනු අංශ අතර ජනතා සම්මානය හිමි වුණේ එම රටේ ජනතාව වඩාත් කැමති නිරූපිකාව වෙනුවෙන් වූ ජන්ද විමසීමකින්. මම හිතනවා එය මටයි හිමි වුණේ කියලා. ඒ තරගය වෙනුවෙන් වෙනමම තරගාවලියක් පැවැත්වුණා.  මගේ ජාතික ඇඳුම නිර්මාණය කළේ හිරාන්. එය ඉතාම ලස්සන ඇඳුමක් බවට හැමෝම අගය කළා. මම හිතනවා මගේ ඇඳුමටත් හොඳ ලකුණු හම්බුණා කියලා. මේ සියලු අනු අංශවලට හොඳින් මුහුණ දුන්නු නිසා මට තරගාවලියේ ජය වාර්තා කරන්නට හැකිවුණා කියලයි මම හිතන්නේ. මේ තරගය ආරම්භ කරපු දවසේ ඉදන් අපිට ඉතා වෙහෙසකාරී අඛණ්ඩ වැඩසටහන් හා පුහුණු කිරීම්වලට සහභාගි වන්නට සිදුවුණා. අපිට ජනතා සම්මාන අනු අංශය වෙනුවෙන් අපේ ඡායාරූප හා විස්තර එකතු කරලා වෙබ් අඩවියක් සකස්කරන්නට තිබුණා. මට මේ තරගයට ලංකාවෙන් පිටත්වෙන්න කලින් සූදානම් වෙන්න කෙටිකාලයක් තමයි තිබුණේ. ඉතින් මට වෙබ් අඩවිය නිර්මාණය කරන්න සිදුවුණේ එහේ තරග හා පුහුණු අතරතුර ලැබුණු කෙටි විවේක කාලයන් අතර තුරදීයි. මම ඒ නිසා මගේ යාළුවන් කණ්ඩායමේ උදව් උපකාර මත ෆේස්බුක් ජායාරූප එකතුකර එම කටයුතු කෙසේ හෝ සිදුකළා.

 

මෙම තරගාවලිය සඳහා මෙරට නිරූපිකාවක තරගකළ පළමු අවස්ථාවද මේ?

නැහැ . මීට කලින් මේ තරගයෙන් ජයග්‍රහණ අත්කරගන්න නදීකා අක්කාට හැකිවුණා. ඒ වගේම සෑම වසරකම පාහේ නිරූපන ශිල්පිණියන් හා ශිල්පීන් මෙම තරගයට සහභාගිවී තිබෙනවා. මෙම තරගයේ පිරිමි ශිල්පීන්ට වෙන්වූ තරගයෙන් හේමාල් රණසිංහ අයියා ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන් ජයගත් අවුරුදු නම් මට මතක නැහැ.

 

මේ තරගයට තරගකරුවන් කොපමණ සංඛ්‍යාවක් සහභාගි වුණාද?

අවසන් තරගය වෙද්දී රටවල් 18ක පමණ තරගකාරියන් තමයි ඉතුරු වුණේ. මොකද මේ තරගයේ පැවතුණු අනු අංශ හා පුහුණු ඉතා වෙහෙසකාරී වීම නිසා නිරූපිකාවන් අසනීප වුණා. ඒ වගේම තරගයට මුහුණ දීම ඉතා අපහසුකාරී හා වෙහෙසකාරී වීම නිසා ඇතැම් නිරූපිකාවන් තරගයෙන් ඉවත්ව ඔවුන්ගේ රටවල්වලට ගියා.

 

ටික කලකට කලින් මහත් වෙලා හිටපු චුලක්ෂි මේ තරගයට සහභාගි වන විට හොඳටම කෙට්ටුවෙලා හිටියා?

ඇත්තටම මම මේ තරගය වෙනුවෙන් කෙට්ටු වුණා. මම ගොඩක් මහත් වෙලා හිටියේ පසුගිය කාලේ. මම නිරූපණ කටයුතුවලින් ටිකක් අයින් වෙලා රංගන කටයුතු පසුගිය කාලයේ සිදුකළ නිසා කාර්යය බහුල වුණා. ඉතින් මට ජිම් යන්න ව්‍යායාම කරන්න වෙලාව මග ඇරුණා. ඉතින් තරගයට මාසයක් තියලා මම ජිම් ගියා. ඒ වගේම බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්න ගත්තා . ඒ වගේ වැඩි කැපවීමක් කරලා තමයි සිරුර හදාගත්තේ.

20170525Chulakshi-3

මේ ජයග්‍රහණයත් එක්ක ඔබට ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවක හෝ රංගන ශිල්පිනියක වීමට ආරාධනා ලැබේවි යැයි අපේක්ෂා කරනවාද?

දැනට නිරූපන ක්‍ෂේත්‍ර‘යේ ආරාධනා ලැබී තිබෙනවා. නමුත් එම ආරාධනාව භාරගත්තොත් මට අවුරුද්දක කාලයක් ලංකාවෙන් බැහැරව ඇමෙරිකාවේ ඉන්න සිදුවෙනවා. ඒ නිසා මම තාම තීරණයක් අරන් නැහැ. මගේ තාත්තා මේ වෙද්දී ඉන්නේ අසනීප තත්ත්වයෙන්. ඉතින් දෙමව්පියන්ව දාලා අවුරුද්දකට රට යන එක ගැන මම තාම හිතලා නැහැ.

මේ ජයග්‍රහණය පිළිබඳ ඔබට අපේ රටෙන් ලැබෙන ඇගයීම් කෙබදුද?
මම හිතන්නේ මට ලැබෙන දේ ඇතියි කියලා හිතෙන මට්ටමකට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර වෙලාවට මාව ඇගයීමට පත්කරන්න කතා කරන අයට ස්තූතියි කියලා කියන්නත් මට වෙලාව නැති වෙන අවස්ථා තියෙනවා. මම හිතනවා මට ලැබෙන ඇගයීම් ඇතියි කියලා. මොකද මම ලද දෙයින් සතුටුවෙන කෙනෙක්.

 

විවාහය ගැන හිතලද තියෙන්නේ?

මම ඒ ගැන හිතනවා.

 

ඉදිරියටත් තරගවලට ඉදිරිපත් වෙනවාද?

ඉදිරිපත් වෙන්න අවස්ථා ආවත් ළඟදි නම් බැහැ. මොකද මට හරිම මහන්සියි. මේ තරගයට ලෑස්ති වෙන්නත් කෙටි කාලයයි මට තිබුණේ. ඉතින් මම ගොඩක් මහන්සි වුණා. තරගයේදීත් එහෙමයි.

 

ජාත්‍යන්තර තරගවලට මුහුණදෙන නිරූපණ ශිල්පීන්ට අනුග්‍රහය ලබා ගන්න අපහසු බවට නිතරම අහන්න ලැබෙනවා?

ඔව් ඒක ඇත්ත. මම අනුග්‍රාහකත්ව හොයාගෙන ගියේ නැහැ. නමුත් අනුග්‍රාහකත්වය මට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණ අයගෙන් මට අනුග්‍රහය ලැබුණා. මයිකල් මට මගේ සෑඳෑ ඇඳුම් විලාසිතාවට අවශ්‍ය ගවුම නිර්මාණය කරලා දුන්නා. මගේ සාමාන්‍ය ඇඳුම් සඳහා රදීශ් අනුග්‍රහය දුන්නා. දේශීය ඇඳුම් විලාසිතාව මට හිරාන් නිර්මාණය කර දුන්නා. අනෙක් දායකත්වයන් මට ගෙදරින් ලැබුණා.

 

මේ ජයග්‍රහණයට මග විවරවුණේ ලක් රූ රැජින ලෙස කිරුළ දිනීම කියලා ඔබ විශ්වාස කරනවාද?

මට මේ දේ නිසා මේදේ සිද්ධ වුණා කියලා කියන්න බැහැ. මට මුලින්ම ලැබුනේ රොසෑන් ඩයස් අක්කාගේ මග පෙන්වීම. ඇයගේ මග පෙන්වීම නිසයි මම නිරූපණ ක්‍ෂේත්‍රයේ රැඳීඉන්නේ. ඇය මට දුන් උපදෙස් මත මම කටයුතු කළා. අදත් කයුතු කරනවා. හෙටත් මම ඒ අනුව කටයුතු කරයි. ඒකේ අතරමැදි එක් කඩඉමක් තමයි මිස් ශ්‍රී ලංකා කියන්නේ. ඒ වගේම රංගන ශිල්පිනියක් වීම මගේ තව කඩඉමක්. ඒ එක්කම මේ ජයග්‍රහණය මම මුහුණදුන් තව කඩඉමක්. මම එතනින් නතර වෙන්නේ නැහැ. මට තව කඩඉම්වලට මුහුණදෙන්න සිදුවුණොත් ඒවා ජයගන්න එක තමා මගේ අරමුණ වෙන්නේ.

20170525Chulakshi-5

කලා කටයුතු ඉදිරියට කොහොම වෙයිද?

කලා ක්‍ෂේත්‍රයේ මට ලොකු අත්දැකීම් නැහැ. තාම මම එක චිත්‍රපටියයි කළේ. ප්‍රවීණයන් ගොඩක් එක්ක වැඩකරලා තාම අත්දැකීම් ලබාගෙන නැහැ. ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත් ගොඩක් සුන්දරයි. හැමෝගෙම ආශිර්වාදය මට ලැබුණා. රංගන ක්‍ෂේත්‍රය සුන්දර කලාකරුවන් ඉන්න සුන්දර තැනක් විදිහටයි මම දකින්නේ.

 

මේ ජයග්‍රහණය සමග අත්වැල් බැඳගත් අය කවුද?

ඇත්තටම මම අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මට හැම දේටම උදව් කරන යාළුවෙක් ඉන්නවා. මගේ තාත්තාගේ අසනීප තත්ත්වය නිසා අම්මට මගෙත් එක්ක හැමදේටම එන්න බැහැ. ඉතින් මගේ යාළුවෝ උදව් කරනවා. මට යාළුවෝ කණ්ඩායමක් මේ දේවල් එක්ක ඉන්නවා. මම දින්නත් පැරදුනත් ඒ අය මාව හැමදාම දිරිමත් කරනවා කියලා මම දන්නවා. ඒ වගේම රොසෑන් ඩයස් මගේ ගුරුවරිය ඇයවත්, බ්‍රයන් , කමිල්, වීරරත්න, මයිකල් විජේසූරිය මහතාට, ධනංජය බණ්ඩාර, ශෙරිල් කුමාරතුංග, සේනක, යන මහත්ම මහත්මීන්ටත් මම ස්තූතිවන්ත වෙනවා. මගේ පළමු චිත්‍රපටයට මාව තෝරාගත් කොළඹගේ මහතාට . හිරාන්ට රාජිනීට, licc සමාගමට හා මොහොමඩ් රෆීක්ට හා හැමදේටම උදව්කළ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා.

 

නදීශානි පතිරණ

ඡායාරූප අනුග්‍රහය - Studio U (චුලක්ෂිගේ ෆේස්බුක් ගිණුම)

20170525Chulakshi-4 20170525Chulakshi-7