ලෝකය ලස්සන වෙන්නෙ ආදරය නිසා
රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණයෙන්, තරංග දිසානායක නිෂ්පාදනයෙන් සිරස ටීවී විකාශය කරන “අපි අපේ” සමඟ කරළියට ආ මේ සුන්දර රුවැත්තිය කවුද? මෙම නාට්‍යයේ “ජාන්යා” නමින් රංගනයකට එක් වී සිටින ඇය නමින් ශෂිනි මනීෂා ය. සඳැල්ල සමඟ වූ මේ පිළිසඳර ඇය ගැන බොහෝ විස්තර අපට කියාවි.
ශෂිනි මනීෂා කවුද?
“මෙවර හිරු ටී.වී. එකේ අවුරුදු කුමාරියට සූදානමින් සිටියෙ. එහි අවසන් 12 දෙනා අතරට ආවා. ඒත් කොරෝනා නිසා එම ඉසව්ව අවසානය දක්වා කරන්න බැරි වුණා. ඒ හැර මම නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරනවා. වෘත්තියෙන් පුද්ගලික සමාගමක සේවය කරනවා. ඒ අතරේදී තමයි රංගනයට දායක වෙන්නේ.”
වෘත්තියෙන් මොන වගේ අංශයක ද නිරතව සිටින්නේ?
“අධ්‍යාපනික අංශයේ මෘදුකාංග අලෙවිකරණ කටයුතු සිදු කෙරෙන ආයතනයක වෘත්තියක්.”
මනීෂා කලාවට සම්බන්ධ වෙන්න හිතුවෙ?
“මම උපන්නෙ මිරිහානෙ. ඉගෙන ගත්තේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. හැබැයි ඒ වුණාට මම වැඩිය ආසා කළේ කලාවට. ඊට අමතරව ක්‍රීඩා අංශයට බෙහෙවින් ලැදිව හිටියා. මලල ක්‍රීඩා අංශයේ හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම, කවපෙත්ත විසිකිරීම යන අංශවලට දායක වුණා. ඊට අමතරව නෙට්බෝල් ක්‍රීඩාව කළා.”
පවුලේ විස්තර කියන්න කැමැති ද?
“පවුලේ මමයි, අක්කයි, අම්මයි විතරයි. තාත්තා නැති වුණේ මම සාමාන්‍ය පෙළ කරන කාලයේදීයි.”
මනීෂා ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් මූලික කරගෙන ද?
“ගණිත අංශයෙන් උසස් පෙළ කළාට, වැඩිපුර නැඹුරුව තිබුණෙ කලාවට. ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකාව වෙලා හිටියා. පසුව බටහිර තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. මඟුල් බෙර වාද්‍ය කණ්ඩායමෙත් හිටියා. නර්තනයන් කළා. මම හිතන්නෙ මම වැඩිපුර දක්ෂ වුණේ නර්තනයට.”
කොහොම ද ‘අපි අපේ’ නාට්‍යයට සම්බන්ධ වුණේ.?
“මෙවර හිරු අවුරුදු කුමරිය අන්තිම 12 දෙනාට තේරුණාට පස්සේ තරංග කියන මල්ලි තමයි මාව මේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයට සහ දැන්වීම් ක්ෂේත්රයට හඳුන්වලා දුන්නෙ. අපි අපේ නාට්‍යයේ චරිතයක් ලැබුණෙ ඒ විදියටයි. රවීන්ද්‍ර සර් මේ නාට්‍යයට මාව තෝරා ගත්තාට පසුව බොහෝ දේ කියලා දුන්නා. තරංග දිසානායක සර් සෑහෙන්න උපදෙස් දෙනවා. ඊට අමතරව ‘අපි අපේ’ කණ්ඩායමේ හැමෝම හරිම හොඳයි. මට ලොකු සපෝට් එකක් දෙන්නෙ.”
මේ චරිතය ගැන කියමු?
“ ‘ජාන්යා’ නමින් තමයි මම රඟපාන්නෙ. එහි ප්‍රධාන චරිතයක් වන ‘තරු’ගෙ හොඳම යාළුවා. තරුගෙ සෑම වැඩකටම උදව් කරන්නෙ සහ තරුගෙ සෑම රහසක්ම දැනගෙන ඉන්නෙ මම.”
කොහොමද රඟපෑම ලෙහෙසියි ද?
“මේක මගේ ප්‍රථම රංගනයනෙ. ඉතින් කැමරාව ඉස්සරහට ගියාම මම හිතපු තරම් ලෙහෙසි වුණේ නැහැ. ටී.වී. එකේ දකිනවාට වඩා හරි අසීරු දෙයක්. හැබැයි පළමු නාට්‍යයේම හොඳ තරුණ කණ්ඩායමක් වගේම හොඳම පිරිසක් එක්ක රඟපෑමට ලැබීම ලොකු වාසනාවක්. රූප රාමුවෙන් රාමුවට, මට වරදින තැන් කියලා දෙනවා. ‘තරු’ චරිතය රඟපාන චමීෂා නංගීත් මට හරියට උදව් කරනවා. කැමරා අධ්යක්ෂවරයා ගැනත් කියන්නම ඕනෑ. එයාලා ඔක්කොම මට ලබාදෙන දායකත්වය හරිම ඉහළයි.”
‘මනීෂා’ රඟපෑම තෝරා ගැනීම ගැන හිතන්නෙ කොහොම ද?
“රඟපෑමට මට තිබුණෙ ලොකු ආසාවක්. ඒ වගේම උනන්දුවක්. ප්‍රථම පියවර ලෙස තැබූ පියවර රංගනය එක්ක ඇවිත් අද ‘අපි අපේ’ වී සිටිනවා.”
මේ ක්ෂේත්රයට ඒමට පෙර කොහොම ද ක්ෂේත්රය ගැන අහලා තිබුණේ?
“හොඳ වගේම නරක දේ ගැනත් අහලා තිබුණා. හැබැයි කොතැන සිටියත්, මොන දේ කළත්, අපි හරියට ඉන්නවා නම් ප්‍රශ්න නැහැ. එතකොට හොඳ ගමනක් යන්න පුළුවනි. ජනප්‍රියත්වය ඉක්මනට ලැබෙන බව ඇත්ත. ඒත් අපි හිතන්න ඕනෑ ජනප්‍රියත්වයට වඩා කරන දේ කැපවෙලා හරියට කිරීමටයි. එතකොට ජනප්‍රියත්වය දිගටම පවතීවි. සියල්ල රඳා පවතින්නේ තමුන් කරන කියන හැසිරෙන විදිය එක්කයි.”
රඟපෑමට ආසා නම් ඕනෑම කෙනකුට රඟපාන්න පුළුවන් කියලා ද ඔබ හිතන්නෙ?
“ආසාව කියන්නෙ බොහෝ විට හැමෝටම තිබෙන්න පුළුවන් දෙයක්. එහෙත් උපතින්ම ආ දක්ෂතාවය නිසා සමහර අය හැකියාවන් පෙන්වනවා. ආසාව නිසා කලාවේ අවස්ථා ලැබුණාම උනන්දු වෙලා කැපවීමෙන් කටයුතු කරන්න දැන ගන්න ඕනෑ.”
‘තරුණියකට’ මේ ක්ෂේත්රය සුදුසුයි කියලා හිතනවා ද?
“මොන ක්ෂේත්රයේ හිටියත් තරුණියක් තමුන්ගෙ සීමා ගැන දන්නවා නම් ඇයට ලොකු ගමනක් යන්න පුළුවනි. වෙනත් ක්ෂේත්‍ර හා සසඳද්දී කලා ක්ෂේත්රය කියන්නෙ තරුණියකට වඩාත් සුදුසු තැනක්. තවම මම මේ ක්ෂේත්රයට ආවා විතරයි. ඒ නිසා මට ලොකු අත්දැකීම් නම් නැහැ. රවීන්ද්‍ර විජේරත්න සර් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ජීවිතය ගැන බොහෝ දේ වගේම රංගනය ගැනත් එයාලගෙන් මම ඉගෙන ගන්නවා. හැමෝම එක්ක සතුටින් සිටින්නෙ. ඒ වගේම අපේ අඩුපාඩු හදාගන්න ඒ අය එක්ක බය නැතුව කතා කරන්න පුළුවනි. ‘අපි අපේ’ කණ්ඩායමට එක්වීමට ලැබීම ඇත්තටම මගේ වාසනාවක්. හිත් රිදීම් අඩු ජීවිතය ඉගෙන ගන්න පුළුවන් තැනකට ආ හැඟීමක් මට තියෙන්නෙ.”
ශෂිනි මනීෂා මොන වගේ කෙනෙක් ද?
“රඟපෑමට නර්තනයට ආසා කරන චාම් විදියට ඉන්න ආසා කරන කෙනෙක්. නිරූපණයටත් හරිම ආසයි. පුංචියට ව්‍යාපාරයකුත් කරනවා. මේ දේවල් එක්ක නිදහසේ ජීවිතය ගත කරන්න ආසයි.”
වයස කියන්න කැමැති ද?
“අවුරුදු 23යිනෙ.”
කොහොම ද මේ වයසට ආදරය දැනෙන විදිය?
“ආදරය හැමෝටම ලැබෙන්න ඕනෑ දෙයක්. හැමෝම විඳින්න ඕනෑ දෙයක්. ලෝකය ලස්සන වෙන්නෙ ආදරය නිසයි.”
ආදරය කරලා තියෙනවා ද?
“ඔව්, නැහැ කිව්වොත් ඒක බොරුවක්.”
ආදරය නිසා විරහවක් ද විඳලා තියෙන්නෙ?
“එහෙම දෙයක් නෙවෙයි. ජීවිතය අරමුණු තිබෙන නිසා ඉලක්ක තියෙන නිසා මුලින්ම ඒ අරමුණු සඵල කරගත යුතුයි කියලා හිතුවා.”
මොනවා ද තියෙන ඉලක්ක?
“මේ කරන දේ සියල්ල වෙතින් හොඳ පදනමක් ස්ථාවරයක් ඇති කරගන්න ඕනෑ. ඊට පස්සේ ‘ආදරය’ කරන්න පුළුවනි. තවම වයසත් තියෙනවනෙ.”
ජීවිතය ගෙවිලා යන්නෙ මොන විදියට ද?
“ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ඒත් සතුටින් සිටීමට තමයි නිතරම උත්සාහ ගන්නෙ. මගෙ සෑම දෙයකටම යාළුවෙකුට වගේ ඉන්නෙ මගේ අම්මා. ඒ යෝධ හෙවනැල්ල එක්ක මට ජීවිතයේ දැනෙන්නෙ නිදහසක්. ඒ වගේම සැහැල්ලුවක්.”
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ