ලොකු වැඩකට අත ගැහුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-288
 

අනුරාධා.. මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය..?

ඔව්.. ටිකක් විතර කාර්යබහුලයි. මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා. ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක් ලැබුණේ තුෂාර තෙන්නකෝන්ගේ රාවණා කියන ටෙලිනාට්‍යයෙන්. ඒ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ රාවණාගේ මව වන පුෂ්පෝත්කථා කියන චරිතයයි. ඒ චරිතය නිසා ගිය අවුරුද්දෙ කිසිම අලුත් වැඩක් මම බාරගත්තෙ නැහැ. අහස් මාලිගා ටෙලිනාට්‍යයට කොහොමත් මම අවුරුදු එකහමාරක් තිස්සෙ සම්බන්ධවෙලා ඉන්නවා.

 

රාවණා ටෙලිනාට්‍යයේ චරිතය අනුරාධාට අභියෝගයක් නේද..?2019-03-27-ent-289

ඔව්.. අනිවාර්යයෙන්ම ඒක මට අභියෝගයක් වුණා. තිර පරීක්ෂණයකට සම්බන්ධවෙලා තමයි ඒකට කට්ටිය ගත්තෙ. එදා මම තුෂාර අයියගෙන් වුණත් මට මේක කරගන්න පුළුවන් වෙයිද? කියලා තමයි ඇහුවෙ. හැබැයි තුෂාර අයියා හැමවෙලේම ඔයාට පුළුවන් කියලා තමයි කිව්වෙ. ඇත්තටම තුෂාර අයියගේ සහයෝගය නිසා තමයි පුෂ්පෝත්කථා කියන චරිතයට යම් සාධාරණයක් කරන්න මට පුළුවන් වුණේ. ඇත්තටම ඒ චරිතය මට මාරම අභියෝගයක්.

 

ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

ඒ චරිතයට වගේම ඒ ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙද්දී ඒ භාෂාවට මම හුරුවෙලා. අවුරුද්ද පුරාම මම කළෙත් ඒ නිර්මාණය විතරයි. ඒකත් එක්ක ඉඳිද්දී ඒ භාෂාවට හුරැවෙනවා. දැන් මට ඒ පුෂ්පෝත්කථාව තේරෙන්න අරගෙනයි තියෙන්නෙ. ඒ සඳහා තුෂාර අයියගෙන් වගේම මුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

රජ චරිතයක් කරපු ඔබව එකපාරටම ටිකක් සෙල්ලක්කාර චරිතයකට වෙස් පෙරළුණා නේද..?

ඔව්.. මම දැන් අලුතින් වෙස් ටෙලිනාට්‍යයට එකතු වුණා. ඇත්තම කිව්වොත් වෙස් කියන්නෙ මම හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක්. ඒ කතාවේ මම හොඳ ප්‍රේක්ෂිකාවක්. ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඉතින්.. ඒ ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයට කතා කරද්දී මම ගොඩක් සතුටු වුණා. ඒකෙ අධ්‍යක්ෂක, ධනුෂ්ක අයියව (ධනුෂ්ක රත්නායක) ආදරයෙන් මතක් කරන්න ඕනෙ. ඒ වගේම සහාය අධ්‍යක්ෂක ඉන්දික අයියත් මට ගොඩක් උදව් කළා.

 

ඒ වගේ චරිතයක් අනුරාධා මීට පෙර කරලා තිබුණද..?

නැහැ. චණ්ඩි වගේ, කොල්ලො වගේ හැසිරෙන චරිතයක් මීට කලින් මම කරලා තිබුණේ නැහැ. ඉතින් ධනුෂ්ක අයියා එක තැනකදී නංගි.. වාහනයෙන් පනින්න පුළුවන්ද..? කියලා අහද්දී &හා.. අයියේ පනිමු කියලා මම කැමති වුණා. තවත් තැනකදී වාහනයෙන් බැහැලා පොඩි බෑවුමක පෙරළෙන සිද්ධියක් මට කරන්න තියෙනවා. ඒක ධනුෂ්ක අයියා හරි ලස්සනට කරලා තිබුණා. ගිනිගහන කට්ට අව්වේ දවල් දොළහට විතර ෂූට් කරපු ඒ දර්ශනයට මම ගොඩක් ආසයි. ඇත්තටම ධනුෂ්ක අයියා වගේම මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සපෝට් එකක් ලැබෙනවා.

 

මේ හැබෑවෙන්නෙ පුංචි කාලෙ දැකපු හීනයක්ද..?

නැහැ. කොහෙත්ම නැහැ.. පුංචි කාලේ තියා කොයි කාලෙදීවත් මම රංගනයට දායක වෙන්න හීන දැක්කෙ නැහැ. මම මේ ක්ෂේත්‍රයට එන්නෙ අහම්බෙන්. මගේ අයියගේ වෙඩින් එකේ ඡායාරූප ගත්ත සරත් අංකල් මට වෙළෙඳ දැන්වීමකට කතා කළා. අම්මා ඒකට කැමති වුණු නිසා මම ඒකට කැමති වුණා. ඒ වෙළෙද දැන්වීම දැකපු ඉන්දික අයියා මට රංගනයට ආරාධනා කළා. එහෙම තමයි අහම්බෙන් මම රංගනයට එකතු වුණේ.

 

ඔබ පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?

මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මගේ තාත්තට ඕන වුණේ මාව නීතිඥවරියක් කරන්නයි. මම ඉගෙන ගත්තෙත් නීතිය පැත්තයි. මම තර්ක බිඳින්න, තර්ක කරන්න හරි ආසයි. ඉතින්.. නීතිය පැත්තෙන් ඉදිරියට යන්න මට ඕන වුණා. ඒත්.. අන්තිමට නොහිතපු ක්ෂේත්‍රයකට මාව යොමු වුණා.

 

අනුරාධා කලාවට සම්බන්ධ වෙනවට පොලිස් නිලධාරියකු වුණු පියා කැමති වුණාද..?

නැහැ. අවුරුදු දහතුනේදී විතර මට රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මුල් වැඩසටහන් දෙක තුනකට සම්බන්ධ වුණත් තාත්තා ඒකට සම්බන්ධ වුණේ නැහැ. ඒ දේවල්වලින් ඉගෙනීමට බාධා ඇතිවේවි කියලා තමයි තාත්තා හිතුවෙ. අඩුම ගාණේ මට නැටුම්වත් ඉගෙන ගන්න තාත්තා ඉඩ දුන්නේ නැහැ. හැබැයි අහම්බෙන් අවස්ථාව ලැබිලා වැඩ කරගෙන යද්දී, මම ගැන පත්තරවල ලිපි පළවෙද්දී, තාත්තා ගොඩක් සතුටු වුණා. නෑදෑයෝ එක්ක, යාළුවෝ එක්ක, ගමේ අය එක්ක තාත්තා මම ගැන කියලා තිබුණා. පස්සෙ තාත්තා මම ගැන ගොඩක් සතුටු වුණා. හැබැයි මගේ අවාසනාවට රංගනයට එකතුවෙලා අවුරැදු දෙකක් ඇතුළත තාත්තා රිය අනතුරකින් නැති වුණා. අද තාත්තා හිටියනම් ගොඩක් සතුටු වේවි. හැබැයි කොහේහරි ඉඳගෙන තාත්තා මම ගැන බලාගෙන ඇති. තාත්තා මට ආශිර්වාද කරනවා කියලා මට දැනෙනවා.

 

අනුරාධා එක්ක ප්‍රේමය ගැන කතා නොකළොත් ලොකු අඩුවක්නෙ.. මේ වෙනකොට ප්‍රේමය විඳිනවා කියලයි ආරංචිය. ඒක ඇත්ත නේද..?

අනේ නැහැ. මම එහෙම පෙම්වතියක් නෙමේ. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ගැහැනු පිරිමි භේදයකින් තොරව මට යාළුවෝ ඉන්නවා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන් මාත් එක්ක හිටපු යාළුවෝ වගේම, ක්ෂේත්‍රයේ යාළුවොත් මට ඉන්නවා. හැබැයි එහෙම ජීවිතේට විශේෂයෙන් ළංවුණු කෙනෙක්නම් තාම නැහැ.

 

ඊළඟ ඉලක්කය මොකක්ද..?

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ. එහෙම අවස්ථාවක් මට ලැබුණේ නැහැ. මේ අවුරුද්දෙ සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒක ඇත්තටම මට ලොකු සතුටක්. ඉතින්.. මේ අවුරුද්දෙ ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට පුළුවන් වේවි.

 

  ► Text - Dishani  /   Pic -   Sumudu

 

2019-03-27-ent-287