ලස්සනයි කිව්වොත් ඒක මට සතුටක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ සොඳුරු යුවතිය ඇයගෙ බාහිරින් පෙනෙන සුන්දරත්වයට වඩා දැනුමින් සහ බොහෝ දක්‍ෂතා වෙතින් ජීවිතය සුන්දර කරගත් අපූරු තැනැත්තියකි. ඉගෙනීම ඇයගේ ජීවිතයේ හරි මග වන අතර ඇයගේ විනෝදාංශය වන්නේ සමාජ සේවයේ යෙදීම සහ සංගීතය, ගායනය ඇතුළු කලා අංශයේ නිරතවීමය. වයස අවුරුදු විසි එකක් වූ ඇය සැබැවින්ම බොහෝ තරුණියන්ට වඩාත් ආදර්ශයක් ගෙන දෙන තරුණියකි. ඇය නමින් හිරුෂි හිමාෂා ජයසේනය. විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන සහ ගුරුවරියක වූ මාධනි ජයසේන යුවළගේ දියණියයි.

මායා චිත‍්‍රපටයේ ‘හීනෙන් ඇවිදින්න’ තේමා ගීතය ගැයූ ඇය ඊට පෙර ටෙලි තිරයේ පසුබිම් ගීතයක් ගැයුවේ සරණ සමනලී සමග ය.

ඉනික්බිතිව ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටයේ ආරාධිත නර්තන ශිල්පිණියක ලෙසත් කටයුතු කළ හිරුෂි තවත් බොහෝ දෙනා අතරට ගියේ ‘‘හැඟුමන්’’ නමැති ගීතය නිසයි. පසන් ලියනගේ සංගීතවත් කළ මාලනී ලියනගේ රචිත එම ගීතය බීබීසී රේඩියෝවේ ගීත දර්ශකයටත් ඇතුළත් වුණා. මේ විදියට විස්තර කියැවෙන හිරුෂි, පියානෝ වාදනයට, වයලීන සහ ගිටාර වාදනයටද දක්‍ෂ වන්නීය. නර්තනය හදාරා ඩිප්ලෝමාධාරිනියක වන ඇය ලිවීමටත් ඉතා දක්‍ෂය. 2011 දී ‘‘දියසායම්’’ නමින් ඉංග‍්‍රීසි භාෂාවෙන් නිසඳැස් කවි එකතුවක් නිකුත් කළාය. සංගීත අධ්‍යක්‍ෂණය, වේදිකා නාට්‍ය අංශය ආදී බොහෝ අංශ සඳහා හිරුෂි දක්‍ෂතා දක්වන්නීය. සැබැවින්ම ඇයට බැරි මොනවද යන්න ඇසීම වඩා හොඳය.

 

20180430Hirushi-1එහෙම නේද හිරුෂි? ඔබට මොනවද බැරි?

කිසි දෙයක් බැහැ කියලා හිතන්නෙ නැහැ. හිත තියෙනවා නම් කරන්න පුළුවනි.

 

ඔබ ගැන කෙටියෙන් කිව්වොත්?

මම ඉගෙන ගත්තෙ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. පසුව ඇමරිකාවට ගිහින් උසස් අධ්‍යාපනයෙහි නිරත වුණා. හාවඞ් සරසවියේදීත් අධ්‍යාපනය කළා. මනෝ විද්‍යා අංශයේ උපාධිධාරිණියක්.

 

මේ විදියට දැනුමින් සහ කලා කුසලතාවයෙන් සන්නද්ධව සිටින හිරුෂි ඔබ කවුද?

මමවත් මම කවුද කියලා දන්නෙ නැහැ. ජීවිතය තේරුම් ගනිමින් සිටිනවා. වෘත්තිය ලෙස වෛද්‍ය විද්‍යාවට කැමතියි. කලා ක්ෂේත‍්‍රයට ආව නිසා බොහෝ දෙනෙක් මාව දැන ගත්තා. එයින් එහාට ගියොත් සමාජ සේවයට මම හරිම ආසයි. සමාජ සේවය වෙතින් ජාත්‍යන්තරයට ගිහින් ලංකාවට එයින් ඵල නෙලා දෙන්න ආසයි. කලාව මට ඒකට හොඳ පාලමක්. ඒ නිසා මේ කලා කර්මාන්තයේ දිගටම නියැලේවි.

 

මේ විදියට ගලායන ඔබගේ ජීවිතය කොයි අතකට ගලා යාවිද?

ජීවිතය හරි පුදුම දෙයක්නෙ. අපිවත් දන්නෙ නැහැ අපේ ඉදිරිය. සෑම දවසක්ම අගය දැනෙන විදියට යමක් කරන්න උත්සාහ ගන්න කෙනෙක්. සමාජ සේවය වෙතින් ජනතාව සුවපත් කරන්න උත්සාහ ගන්නවා. කලාව යහපත් අවියක් කරගෙන, සමාජයේ පවතින මානසික, සමාජයීය ගැටළු නිරාකරණය කිරීමට මගේ දායකත්වය සමාජයට උපරිමයෙන් ලබාදීම අරමුණයි.

 

සමාජ සේවය කරන්නත් මුදල්  ඕනෑ නේද?

සංකීර්ණ ව්‍යාපෘතිවලට වඩා අපට සමාජයීය වශයෙන් කළ හැකි දේ බොහෝමයි. මිනිසුන් කියවා අහකදාන පොත්පත් එකතු කරලා පුස්තකාල හදන්න අපට පුළුවනි. තැලසීමියා වගේ නිවාරණ වැඩසටහන්, වගේම පර්යේෂන වැඩ කරන්න පුළුවනි. හිතුවොත් සමාජයට අපට කළ හැකි දේ බොහෝමයි.

 

මේ විදියට යන ගමනේ ඔබගේ අවසාන ඉලක්කය පාර්ලිමේන්තුවට යාමද?

මම වෘත්තීය දේශපාලනය කරන එකක් නැහැ. සමාජයේ මිනිසුන්ට නීතිරීතිවලට වඩා සමහර ගැටළු නිරාකරණය කරදීමට ඒ ගැන තේරුම් කරවා දීම වැදගත්. මේ ලෝකයේ සෑම දෙයක්ම සිතිවිල්ලකින් නිර්මාණය වූවක්. මනුෂ්‍යත්වය උදෙසා භෞතික යථාර්ථය තේරුම් ගෙන අපට කළ හැකි දේ බොහෝමයි. විශාල සංස්කෘතියක් වගේම ආධ්‍යාත්මයක් තියෙන රටක වැසියෝ අපි. ඒ සියල්ල වෙතින් සමාජ යහපත උදෙසා සිතිවිල්ලකින් කළ යුතු, කළ හැකි දේ එමටයි.

 

සිතිවිලි වගේම බාහිරින් ඔබ හරිම හැඩකාරයි? ඔබ ලස්සනයි කියලා මිනිස්සු කිව්වාම ඇති වන හැඟීම මොන වගේද?

ධර්මය එක්ක අපි හිතුවොත් බාහිරින් පෙනෙන දකින දේට වඩා ඇතුලාන්තය ලස්සන කර ගැනීම වැදගත්. ජීවිත ස්වභාවය ගැන මම අවදියෙන් සිටින කෙනෙක්. ලස්සනයි කියලා කවුරු හරි මට කිව්වාම ඒක මට සතුටට දෙයක්. ඒවා ආශිර්වාද ලෙස සලකනවා.

 

වෙසක් පෝය ගැන හිතන්නෙ සහ දැනෙන්නෙ කොහොමද?

පාසල් සමයේ සිටම වෙසක් පෝය මුල් කරගෙන බොහෝ ක‍්‍රියාකාරකම්වල යෙදුනා. භක්ති ගීත ගැයුමට සහභාගි වුණා. පහන් කූඩු නිර්මාණය කළා. දන්සල් සංවිධානයට එක්වුණා. ඒ වගේ දේ නිසා අද මේ කරන කියන දේ වලට හොඳ පදනමක් ලැබුණා.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

20180430Hirushi-2 20180430Hirushi-3 20180430Hirushi-4