ලස්සන වෙන්නේ වාසනාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190423Nehara-1‘මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන් එම ඇමතුමට ප‍්‍රතිචාර දැක්විය. 

වසර දොළහකට කලින් ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍ය බලපු හැමෝම අදටත් නෙහාරාට ආදරයෙන් කතා කරන්නේ මුතුකිරිල්ලී කියල නේද?

ඔව්, අනේ ඒ නමින් තමයි ගොඩක් අයට තාම මාව මතක.

 

ඉස්සරට වඩා ලස්සන වෙලා නේද?

(සිනාසෙමින්) සමහර අය මා දැක්කාම කියනවා. අනේ ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා කියලා. සමහර අය කියනවා ඉස්සර ගොඩක් ලස්සනයි දැනට වඩා කියලා. ඒක එක්කෙනා මාව දකින විදිහ. කොයි විදිහට මාව අගය කළත් මම සතුටුයි.

 

මොනවාද ඇත්තටම ලස්සන වෙන්න කරන්නේ

මම ඇඟ ගැන, කෑම බීම ගැන, ව්‍යායාම ගැන හරිම සැලකිලිමත්. හැබැයි මට මේ තරම් ලස්සන හමක් ලැබිලා තියෙන්නේ නම් ආරෙන් (ජානවලින්* කියලයි මට හිතෙන්නේ. මොකද මගේ තාත්තීත් ගොඩක් සුදුයි. මගේ අත්තම්මත් සුදු ලස්සන බර්ගර් ජාතික කාන්තාවක්. ඒ ආභාෂය ලැබී තියෙනවා කියලා මට හිතෙනවා. ආ... තව එකක් තමයි මම මගේ අම්මි කියලා තියෙනවා එයාට මා ලැබෙන්න ඉන්නකොට තැඹිලියි, කිරියි ගොඩක් බිව්වාලූ. ඒ නිසා ලස්සන දුවෙක් ලැබුණා කියලත්. කොහොමටත් මා විශ්වාස කරන්නේ කිතුනු දහමට අනුව මේ සියල්ල දෙවියන් වහන්සේ කැමැත්ත පරිදි ලැබුණු දේවල් කියලා. දෙවියන් වහන්සේගේ ඉගැන්වීම  අනුව මේ ලෝකයට පුද්ගලයකු බිහිවන්නේ කුමන හෝ අනන්‍යතාවයකින්. මට ලැබී තිබෙන්නෙත් එවැනිම අන්‍යතාවයක් කියා මා නිතර විශ්වාස කරනවා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා.

 

කෙනෙකුට ලස්සන රූපයක් ලැබෙන්නේ කුමක් නිසා කියාද ඔබ විශ්වාස කරන්නේ?

වාසනාවයි. දෛවයයි නිසා කියලයි මට හිතෙන්නේ.

 

20190423Nehara-2පුංචි කෙල්ලක් වගේ ලස්සනට ඇඟ තියාගන්නේ කොහොමද?

මම සතියකට දවස් හයක් ව්‍යායාමවල නිරත වෙනවා. ඉරිදාට විතරයි ව්‍යායාම නොකරන්නේ. මුළු ඇඟටම වගේම බඩට, අතපයවලටත් වෙන වෙනම ව්‍යායාම කරන්න මම පුරුදු වෙලා ඉන්නවා.

කෑම තිබුණ කියලා ගොඩක් කෑම වර්ග කන්නවත් වැඩි ප‍්‍රමාණයෙන් ගන්නවත් මම පුරුදු වෙලා නෑ.

උදේට මම ගොඩක් වෙලාවට කන්නේ හාෆ්බොයිල් කරපු බිත්තරයකුයි යෝගට් එකකුයි විතරයි. දවල්ට බත් පොඞ්ඩක් එක්ක එළවළු කිහිපයක් පළා වර්ගයක් වගේම කැමති විදිහට මස් හෝ මාළු, එක්කර ගන්නවා. ගෙදර ඉන්න දවසට දවල් 12 වෙනකොට මම කන්න පුරුදු වෙලා ඉන්නවා. ?ට ආටා පිටිවලින් හදපු රොටි 2ක් වගේ කන්න පුරුදු වෙලා ඉන්නවා. රාත‍්‍රී 7ට ? කෑම කන එක දැන් මට පුරුදු වෙලා.

 

හම ලස්සනට තියා ගන්න ක‍්‍රීම් වර්ගයක් පාවිච්චි කරනවාද?

නැහැ. මම පුරුද්දක් විදිහට ක‍්‍රීම් වර්ගවලට එතරම් කැමති නෑ. ඉඳහිට බේබි ක‍්‍රීම් ආලේප කරනවා. පුංචි කාලේදී අම්මි මගේ මුළු ඇෙඟ්ම බේබි ක‍්‍රීම් ගාලා හරිම පිරිසිදුව පිළිවෙලට තියපු ඒ අතීතය බේබි ක‍්‍රීම් ගල්වද්දී මට මතක් වෙනවා. ක‍්‍රීම් වර්ග නොගෑවට ශරීරයට අවශ්‍ය විටමින් වර්ගයක් නම් මම ටික කාලයක ඉඳලා ගන්නවා.

 

 කාන්තාවක් විදිහට විවාහයෙන් පසුව ලස්සනට සිටිය යුතුය කියා ඔබ විශ්වාස කරනවාද?

අම්මෝ ඔව්. සමහර ගැහැණු හිතනවා බැන්ඳට පස්සේ අපිව දැන් කවුරු බලන්නද කියලා. එහෙම නම් හිතන්න හොඳ නෑ. මොකද තමන්ගේ බිරිඳ ලස්සනට, පිරිසිදුව පිළිවෙළට ඉන්නවාට ස්වාමියා හරිම කැමතියි. ඒ නිසා මම නම් හිතන්නේ අපි අපේ ලස්සන ගැන වැඩිපුර හිතන්න  ඕනේ විවාහයෙන් පස්සේ කියලා. බිරිඳ විතරක් නොවේ ලස්සනට ඉන්න  ඕනේ සැමියත් හැන්සම්ව ඉන්නවා දකින්න බිරිඳ ආසයි.

 

ඔබ ශරීරයට ලස්සනම ඇඳුම

ගවුමට ගොඩක් ආසයි. කලිසමයි ටී ෂර්ට් එකත් ලස්සනයි. අවස්ථාවට අනුව ගැලපෙන විදිහට අඳිනවා.

 

කාන්තාවකගේ ලස්සන වියැකී යන්නට බලපාන්නේ මොනවාද?

අපිරිසිදුකම, අපිළිවෙල අංක එක. මේ දෙක නිසා කොච්චර ලස්සන කෙනෙක් වුණත් අවලස්සනට පේන්න පුළුවනි. අනිත් දේ තමයි කුහකකමයි, ඊර්ෂ්‍යාවයි. මොනතරම් ලස්සන වුණත් හදවතින් අනිත් අයට අකුල් හෙළනවා නම් ලස්සනෙන් ඇති වැඩක් නෑ නේද? හදවත ලස්සන නම් කෙනෙකුගේ මූණත් ඉබේම ලස්සන වෙනවා.

 

ඔබ ලෝකයේ දුටු ලස්සනම කාන්තාව කවුද?

ආයේ වචන දෙකක් නෑ ඩයනා කුමරිය. බලන්න ඒ තරම් ජනතා ආකර්ශනයක් ලබන්න ඇය මොනතරම් වාසනාවන්ත ද කියලා. මම ඇයට හරිම කැමතියි.

 

නිළියක් ලස්සනට ඉන්න කරන දේවල් කරන්න අපට පුළුවන්ද? බොහෝ කාන්තාවන් නගන චෝදනාවක්?

ඇයි බැරි. අපිට කෑම බීම පාලනය කරන එක අපහසු දෙයක් නෙමෙයිනේ. පුළුවන් වෙලාවට ඇඟට ගුණදායක ජූස් වර්ගයක්. ඖෂධීය පානයක් බොන්න පුළුවන්. ව්‍යායාම කරන්න ජිම් එකකටම යන්න  ඕනේ නෑ. දවසේ විනාඩි තිහක් හොයාගෙන අපිට ඇවිදින්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳට දාඩිය දානකම් ගෙදර වැඩ කරන එකත් හොඳ ව්‍යායාමයක්. එහෙමත් නැත්නම් සිංදුවක් දාගෙන එක තැන නටන එකත් හොඳ ව්‍යායාමයක්. මේ කොයි දෙයිනුත් වෙන්නේ ශරීරයේ තියෙන කැලරි අඩුවෙලා ඇඟ කෙට්ටු වෙන එක.

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූප - නවීන් ගුණසේකර

20190423Nehara-3