ලංකාවේ විලාසිතා කරන්න ඕනා තරම් නිදහස තියෙනවා
තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. නිතර ඇයගේ කලා දිවියේ තොරතුරු නිසාම මෙවර අප හිමායාට වෙනස්ම මාතෘකාවක් ඔස්සේ ප්‍රශ්න කිහිපයක් යොමු කරන්නට අදහස් කළා. මේ ඇය ඒ ප්‍රශ්නවලට දැක්වූ ප්‍රතිචාර.
විලාසිතාවලට හිමායාගේ තියෙන කැමැත්ත කොහොමද?
කාලෙන් කාලේට විලාසිතා කියන දේ ගොඩක් එනවා. ගැණු ළමයෙක් විදිහට ඉතින් විලාසිතා කරන්න මගේ කැමැත්තක් තියෙනවා. නමුත්, මම කැමතැයි මගේ ශරිරයට ගැළපෙන විදිහට විලාසිතා තෝරගන්න. විශේෂයෙන්ම මම කැමති ගවුම් අඳින්න. කොට වුණත් එක ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ෂෝට් හා ටි ෂර්ට් අඳින්නත් කැමතියි මම. මේ දවස්වල නම් මම ආසයි ටිකක් ටික අඳින්න.
කාලෙන් කාලේට විවිධ විලාසිතා කරනවා. ඒ හැම එකක්ම භාර ගන්නවද?
මම කවදාවත් කරලාම නැති දෙයක් තමා ඒක. මට එනවා එක එක විලාසිතා ඔලුවට. මම ඇත්තටම ආසයි යුරෝපියන් රාජකීයා ඇඳුම් විලාසිතා වලට. ඒ ඇඳුම්වල විලාසිතා කියන දේ විච්චූරණ නැහැ. හරිම සරළයි. කාලෙන් කාලේට ආවා කියලා මම කිසිම දවසක ඒ හැම දෙයක්ම භාරගෙන කරන්නේ නැහැ.
ඇඳුම් ගන්න බ්‍රෑන්ඩ්ස් තියෙනවද ඔබට?
ඇත්තටම බ්‍රෑන්ඩ් කියලා බල බල ගන්න නම් මම මහා ලොකු සල්ලිකාරියක් නොමෙයි. ලස්සනයි කියලා හිතෙන ඇඳුමක් මම ගන්නවා. ඒ ඇරෙන්නේ ගොඩක් වෙලාවට මම රෙදි අරගෙන මම ඇඳුම් මහනවා.
තරුණයන්ගේ ආකාර්ශණය දිනාගන්න විලාසිතා කරන්න කැමති නැද්ද?
පිරිමි ළමයින්ගේ ආකාර්ශනය දිනාගන්න ඕනා කියලා විලාසිතා මම කරලා නැහැ. මට පහසුයි කියලා හිතෙන ඇඳුම් මම අඳිනවා. මොකටද ඉතින් බොරුවට එහෙම තරුණයන්ගේ ආකාර්ශනය කරන්න විලාසිතා කරන්නේ.
විලාසිතා ගැන වැඩිපුර කතා කරන්නේ කාත් සමගද?
යාළුවොත් එක්ක තමා වැඩිපුරම කතා කරන්නේ. ගෙදර අයත් පොඩ්ඩක් බර බරේ දානවා කොටට ඇඳුම් ඇන්දාම. යාළුවොත් එක්ක තමයි වැඩුපරම කතා කරන්නේ විලාසිතා ගැන. ඩිසයින් හිතද්දි ඇඳුම් මහන්න. මම හිතෙන් හිතලා දෙනවා. සමහර වෙලාවට ඉන්ටර්නේට් පාවිච්චි කරලා මට ගැළපෙනවා කියලා හිතන විලාසිතා අරගන ඒ අනුව ඇඳුම් මහනවා මම.
මවක් බිරිඳක් වුණාට පස්සේ විලාසිතා කිරීම අඩු වෙයිද?
නැහැ. ඒක හරි බොරු කතාවක් නේ. මව්, බිරිඳක් වුණාට පස්සේ කරන්න කොච්චර විලාසිතා තියෙනවාද. බිරිඳක් වුණාම අඳින්න විලාසිතා වෙනම තියෙනවා. ළමයෙක් පාසලකට ඇතුලත් කරනවා කියමුකෝ. එතකොට ඒ තැනට මවක් විදිහට ගැළපෙන විදිහට ඇඳුම් අඳින්න පුළුවන්. ඇත්තටම වයස හා ඉන්න තත්ත්වය පිළිබඳව ගැටළුවක් නැහැ හැම වයසකදීම විලාසිතා කරන්න පුළුවන්.
ලංකාවේ සංස්කෘතිය නිසා විලාසිතා කරන්න යම් සිමාවක් පැන නැගිලා තියෙනවාද?
එහෙම දෙයක් නම් මම දකින්නේ නැහැ. දැන් ලංකාවේ ගැණු ළමයි හිතේ හැටියට විලාසිතා කරනවා මම දකිනවා. මිට වැඩිය විලාසිතා කරන්න ගියොත් ඇඳුම් නැතිව තමයි තරුණියන්ට පාරේ යන්න තියෙන්නේ. ලංකාවේ විලාසිතා කරන්න තරුණ, තරුණියන්ට නිදහස තියෙනවා ඕනා තරම්.
බුද්ධික සේනාධීර