ලංකාවේ නොගිය තැනක් නැති තරම්
මෙයාගෙ නම දිනිති සෙව්වන්දි වල්ගමගේ. ගම ගාල්ලෙ. ඉගෙන ගත්තෙ ගාල්ල සංඝමිත්තාවෙන්. උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ. ගුවන් සේවිකාවක වීමේ ආසාවක් තිබුණ ලූ. ඒ සිහිනය සැබෑ කරගත් ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක්. ඒ විදියට විස්තර කියැවෙන මේ දිනිති ගැන අද වැඩි දෙනා කතා වන්නේ හාරකෝටියේ ‘‘අභිෂේකා දුනුවිල’’ නමැති චරිතය නිසයි. හාරකෝටියේ රඟපෑමට ආව මේ සුන්දර දිනිති අද සඳැල්ල කතා බහ හැඩ කළේ මේ විදියටයි.
දිනිති ඔබගෙ පවුලේ විස්තර කිව්වොත්?
මගේ අම්මයි, තාත්තයි අයියලා දෙන්නයි, ලොකු අම්මයි, මමයි. තාත්තා නාට්‍ය හා රංග කලා උපදේශකයකු ලෙසත්, අම්මා ගුරුවරියක ලෙසත් කටයුතු කළා. මගේ පවුල ගුරු පවුලක් කිව්වොත් හරි. මගේ අධ්‍යාපනය අවසන් කළේ බැංගලෝර් සරසවියෙන්. ජීව විද්‍යා තාක්ෂණය ගැන තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ.
ගුරු පවුලක් නිසා ගුරුවරියක වීම ද ඔබගෙ ආසාව වුණේ?
හීනෙකින්වත් එහෙම හිතුවෙ නැහැ.
එහෙනම්?
ගුවන් සේවිකාවක් වීමේ අරමුණටත් වඩා රටවල් දැක ගැනීමේ සහ රට රටවල සංචාරය කිරීමේ ලොකු ආසාවක් තිබුණා. ලංකාව ඇතුළෙත් බොහෝ තැන්වල සංචාරය කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් ලංකාවේ නොගියපු තැනක් නැති තරම්. කොහොම වුණත් ගුවන් සේවිකාවක වීමට තිබූ සිිහිනය සැබෑ වුණා. දැන් ගුවන් සේවිකාවක ලෙස ඒ වෘත්තියේ නියැලෙන්නේ බොහෝ්ම ආසාවෙන්.
ඒ අතරේ රඟපෑමට ආවේ?
රඟපෑමට නිතරම වගේ ඉල්ලීම් ලැබුණා. ඒත් රැුකියාවෙන් පිට යමක් කරන්න මට ඕනෑ වුණේ නැහැ. චාමර සමරවික්‍රම අයියා තමයි මට මේ හාරකෝටියේ චරිතයට ආරාධනා කළේ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන්නෙ. සද්ධාමංගල සූරිය බණ්ඩාර පිටපත ලියන්නෙ කියලා කිව්වා. ඒක ඇත්තටම හොඳ පිටපතක්. මට ආසා හිතුණා. ගුවන් සේවිකාවක ලෙස මම මගේ සමාගමෙන් අවසර ගත්තා. ඉන්පසුව තමයි මෙම හාරකෝටියෙ රඟපාන්න ආවේ.
මේ පළමුවැනි ටෙලිනාට්‍යයද ඔබ රඟපාන?
ඔව්. මේ පළමුවැනි එක.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
රඟපෑ පළමුවැනි නාට්‍ය නිසාම මේ ලඟදී පැවැත්වීමට නියමිත ටෙලි සම්මාන උළෙලකදී ජනප්‍රියම ටෙලි නිළියන් පස් දෙනා අතරට මගේ නමත් ඇතුළත් වෙලා. තවම මා ගැන මිනිස්සු දැනගෙන මාස පහයි. මේ මාස පහේදී මේ තරම් මට මනාප යොමු කළ ජනතාවට මගේ ගෞරවය පුදන්න ඕනෑ. ඒ වගේම මට මගේ ආයතනය ගැනත් කියන්නම ඕනෑ. මට මගේ සමාගම උදව් නොකළා නම් මේ විදියට රඟපෑමේ කටයුතුවල යෙදෙන්න බැහැ. ඒ වගේම මගේ යාළුවෝ ගැනත් කියන්නම ඕනෑ. මට අවශ්‍ය නිවාඩු දින ලබාදීමට එයාලත් හරියට උදව් කරනවා. ඒ වගේම එයාලා මාව අගය කරනවා. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. මේ නාට්‍යයේ නළු නිළි පිරිස වගේම හැමෝම ලබාදෙන සහයෝගය ගැනත් ස්තුති කරන්නම ඕනෑ.
මේ නිසා දිගටම රඟපාන්නද කල්පනාව?
මට තියෙන ප්රශ්නය මගෙ වෙලාව. ඒ හැරත් මම වෘත්තීය නිළියක් නෙවෙයි. නමුත් වෘත්තීය වටිනාකම ඊට ලබාදෙන්න ඕනැ. රඟපෑම කියන්නෙ මගේ හැකියාව. තවම මම පටන්ගත්තා විතරයි. ඒ වගේම ජනප්‍රිය වෙන්න කියලා මට හදිසියක් නැහැ. පළමුව මගේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වෘත්තිය. ඊළඟට එන විදියට බලනවා.
යාළුවෝ මේ චරිතය ගැන මොකද කියන්නේ?
මම සේවයේ යෙදෙන අවස්ථාවලදී ගුවන් යානයේ කාර්ය මණ්ඩල මගේ දක්ෂතාවය ගැන අගයනවා. ඔයාට ඒ චරිතය අමුතු නැහැ. ඒක හරියට ඔයාගෙම චරිතය වගෙයිනෙ කියලා තමයි එයාලා කියන්නේ.
දිනිති හරියට කතාවලූ නේද? කතා කරන්න ගියාම කතාකාරියක් ද?
මට කොහොමටත් අපේ ඉස්කෝලෙ විදුහල්පතිතුමා සහතිකය දුන්නෙ ‘‘රුවැති, කටැති, දුවෙක්’’ කියලයි.
පුද්ගලික ජීවිතය ගත්තොත් හාරකෝටියකට වඩා පොහොසත් ඇති නේද?
මම හිතන්නෙ මූල්‍යමය වශයෙන් නොවෙයි. ආධ්‍යාත්මික වශයෙන් මම කෝටි සියයකට වඩා පොහොසත් කියලයි.
හරි සංකීර්ණ චරිතයක් වගෙයි?
අපොයි නැහැ. හරිම සරලයි. මනුස්සයකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒත් ජනප්‍රිය වෙන්න බැහැ. උඩට යන්න යන්න මම පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්. මිනිස්සුන්ට ආදරය කරන කෙනෙක්. මට මගේ ඇතුලාන්තය තැන කියන්න බැහැ. ඒත් මගේ අම්මා තාත්තා මාව හොඳින් වටහාගෙන ඉන්නෙ. මට හිතෙන විදියට මම තමුන්ගෙ හීන ඉටු කර ගන්න, තමන්ගේම ශක්තියෙන් නැගී සිටින චරිතයක්. අපේ තාත්තා නිතරම කියන්නෙ වාසනාවට වඩා තමුන්ගෙ ආත්ම ශක්තියට මුල් ගැන දෙන්න කියලයි. එවිට ඕනෑම කෙනෙකුට නැගී සිටින්න පුළුවන් බව මාත් පිළිගන්නා දෙයක්.
ගුවන් සේවිකා රැකියාව මම කරන්නේ බොහෝම ගෞරවයෙන් සහ ආසාවෙන්.
බැරිවෙලාවත් හාරකෝටියක ලොතරැුයි දිනුමක් එහෙම ලැබුණොත්?
එහෙම වුණොත් මට වියදම් කරන්න විදියක් නැතිව ඉදීවි. ගැහැණු ළමයකුට ඉතින් වියදම් තියෙනවනෙ. හැබැයි මම මගේ ගන්න වැටුපෙන් දුප්පත් පවුල් දෙකක පුංචි දරුවන් දෙදෙනකුට උදව් කරනවා. එයින් ලොකු මානසික තෘප්තියක් ලබන්නෙ.
ලංකාවෙ බොහෝ තැන්වල සංචාරය කරන බව කියනවනෙ. වැඩිපුර කැමති මොන පළාතට ද?
ලෝකයේ කොතැනක ගියත් මම ආසා ගාල්ලෙ අපේ ගෙදරට.
සටහන සහ ඡායාරූප - සඳුන්ගමගේ