ලංකාවේ ජනප්‍රිය සම්මාන පිරිනමන විදිහ මට ලොකු ගැටළුවක්
තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතරේ ප්රමුඛ තැනක් වොල්ගා කල්පනීට හිමිවේ. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඇය සමගින් අද ‘සාරවිට’ තරු කතාබහ දිග හරින්නට අපි මෙසේ සූදානම් වුණේමු.
මේ දිනවල වොල්ගාව ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි දකිනවා?
ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ජනක චමින්ද මහත්මයාගේ ‘අපේ ආදරය’, ජාතික රූපවාහිනියේ විකාශය වන ප්‍රේම කුමාර ජයවර්ධනගේ ‘බැද්දට සඳ’ හා ‘ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන ප්‍රභාත් රෝෂන්ගේ ‘පාරා’ ටෙලි නාට්‍යය තුළින් මාව මේ දිනවල දකින්න පුළුවන්. ‘අපේ ආදරය’ ටෙලි නාට්‍යයේ මා සමගින් මගේ සැමියා හර්ෂනත් රඟපානවා. නමුත්, මේ ටෙලි නාට්‍යය අතරින් වැඩිපුර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ ‘බැද්දට සඳ’ ටෙලි නාට්‍යයේ ‘නාමලී’ කියන චරිතයට.
විවාහයත් සමග ඔබව වැඩිපුර කලා කටයුතු හරහා දැක්කේ නැහැ?
පසුගිය දවස්වල නම් අපි අලුතින් පටන්ගත්තු ‘වොලන්රෝ’ ප්‍රඩක්ෂන් ආයතනයේ වැඩත් එක්ක ටිකක් විතර කාර්ය බහුල වුණා. නමුත්, විවාහ වුණා කියලා වැඩනම් අඩු වුණේ නැහැ. සුපුරුදු පරිදි වැඩ ලැබුණා. ඒ ලැබුණ නිර්මාණවලට දායක වුණා. මේ දිනවල වුණත් මම රංගනයෙන් දායක වෙන ටෙලි නිර්මාණ තුනක් විකාශය වෙනවා. තව ඉදිරියට එන්නත් තියෙනවා. කොහොමත් මම කාර්ය බහුල නිළියක් නෙමෙයි. ලැබෙන වැඩ වුණත් යම් තෝරා ගැනීමකින් තමයි සම්බන්ධ වෙන්නෙත්.
රියලිටි තරගයකත් පසුගිය දිනවල අපි ඔබව දැක්කා?
ඔව්, හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘හිරු මෙගා ස්ටාර්’ රියලිටි වැඩසටහනට මමත්, මගේ සැමියා හර්ෂණත් සහභාගි වුණා. මගේ ජීවිතේ පළමු වතාවට තමයි රියලිටි තරගයකට සහභාගි වුණේ. එයටත් සහභාගි වුණේ රියලිටි තරගයක අත්දැකීමක් ගන්න කැමති නිසා. ඒ ගැන ගොඩක් සතුටුයි, ඒ වගේ තරගයකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන.
ක්ෂේත්රයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවා ඔබ?
ඔව්, වසර 4ක් විතර වෙනවා. මේ කාලය තුළ ටෙලි නිර්මාණ 20කට අධික ප්‍රමාණයකට දායක වෙන්න ලැබුණා. ඒ අතර එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්න පුළුවන් වුණා. මම හිතන්නේ නිළියකට ලැබෙන ලොකුම අවස්ථාවක් තමයි එකම චරිතයට කොටු නොවී විවිධ චරිත රඟපාන්න ලැබෙන එක. අධ්යක්ෂවරු පවා දන්නවා මම එකම චරිතයට කොටු වෙන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා මට ආරාධනා ලැබෙන්නෙත් වැඩක් කරන්න පුළුවන් චරිත.
ජනප්‍රිය ලැයිස්තුවේ හිටියත් ඔබට සම්මාන නැහැ. ඇයි ඒ?
ජනප්‍රිය දහයේ මම හැමදාම ඉන්නවා. පසුගිය දිනවල පැවැති ‘රයිගම්’ හා ‘සුමති’ ටෙලි සම්මානවල මම පළමු දහ දෙනා අතර හිටියා. නමුත්, සම්මානයකට යන්න තරම් මම වාසනාවන්ත නැහැ. අනික ලංකාවේ සම්මාන පිරිනැමීම අවංකව සිදුවෙනවාද කියලා මම දන්නෙ නැහැ. ඒකම මට ගැටඨවක්. අනික මට අවශ්‍යතාවයක් නැහැ මටම එස්.එම්.එස්. කරගන්න පෝස් කාර්ඩ් යවලා ජනප්‍රිය නිළිය වෙන්න. ඒ වගේම තමයි මම ජනප්‍රිය නිළියක් වෙනවාට වඩා කැමති දක්ෂ හොඳම නිළියක් වෙන්න. කොහොම හරි අවංකව මට සම්මානයක් ලැබෙනවා නම් මම ගොඩක්ම සතුටු වෙනවා ඒ ගැන.
නිළියක් විදිහට මේ ගෙවපු කාලය ගැන තෘප්තිමත් වෙනවාද?
ඔව්, ගොඩක් තෘප්තිමත් වෙනවා. කියන්න ඕන දෙයක් තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ක්ෂේත්රය නරක තැනක් කියලා. ගොඩක් පුවත්පත්වල දැක්කා අධ්යක්ෂවරුන් අර චෝදනාව කරා බලපෑම් කරනවා කියලා. මට නම් අද වෙනතුරු එහෙම දෙයක් වෙලා නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මම කරන්නේ ලෝකයේ තියෙන වාසනාවන්තම රැකියාව. අපි අද වාහනයක් අරගෙන හොඳට කාලා බීලා ගෙයක් දොරක් හදාගෙන ඉන්නවා නම් මේ රැකියාවෙන් උපයපු මුදල්වලින්. ඒ හින්දා නිළියක් විදිහට මම ගොඩක් තෘප්තිමත් වෙනවා නිළියක් විදිහට මේ මම ගොඩනගාගෙන ඇති තත්ත්වය දිහා බලලා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - කවිත් මිලින්ද