ලංකාවේ කෙනෙක් ආදරෙයි කිව්වොත් සලකා බලන්න සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-12-ent-104

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ යශෝධරා නමැති වනිතා ශ්‍රේෂ්ඨාව පිළිබඳ සිනමා නිර්මාණ කාර්යයක අපි නියැලී සිටිමු. එය ජනගත කෙරෙනුයේ ලබන වසරෙහිය. එතෙක් දැන් අප සූදානම් වන්නේ යශෝධරා සිනමා නිර්මාණයෙහි සිද්ධාර්ථ සහ යශෝධරා චරිත නිරූපණය කරන්නා වූ භාරතීය රංගන ශිල්පීන් දෙදෙනා රටට හඳුන්වාදීමටය.

2017-07-12-ent-103මෙසේ පවසන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ චිත‍්‍රපට නිෂ්පාදක එච්.ඞී. පේ‍්‍රමසිරිය. ‘‘බිම්බා දේවී හෙවත් යශෝධරා’’ චිත‍්‍රපටය එසේ තිරගතවීමට තිබිය දී යශෝධරා සහ සිද්ධාර්ථගේ චරිතවලට දායකත්වය ලබා දෙන රංගන ශිල්පී යුවළ සමග පිළිසඳරක යෙදීමේ අවකාශය පසුගිය දා අපට ලැබිණි. මේ දෙදෙනා අතරින් අද අප මේ සූදානම් වන්නේ යශෝධරා චරිතයට දායක වූ භාරතීය රංගන ශිල්පිනියක වන පල්ලවී සුභාෂ් ගැන විස්තර සඳහන් කිරීමටය.

‘‘මම පල්ලවී සුභාෂ්, මේ මාධ්‍ය හමුවට ඔබ සියලූ දෙනාගේ පැමිණීම මා ඉතා ගරු කොට සළකනවා. මුලින්ම මගේ ඉහළම ගෞරවය හිමිවිය යුත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හටයි. මේ ඓතිහාසික චරිතය රඟපෑමට මට අවකාශය ලබාදුන්නේ එතුමායි. මම ශ්‍රී ලංකාවේ චිත‍්‍රපටයක රඟපෑ පළමු වතාව වගේම ශ්‍රී ලංකාවට පැමිණියෙත් පළමු වතාවටයි. මෙවැනි චරිතයක් එනම් අප ඉතිහාසයේ කවුරුත් දැන සිටි චරිතයක් රඟපෑමට ලැබුණු පළමු වතාව මෙයයි.

සුන්දර පල්ලවී සුභාෂ් පිළිසඳරට ප‍්‍රවේශ වූවේ එලෙසිනි.

මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය ඇයගේ උපන් නිජබිම වෙයි. මරාති ඇයගේ මව් බසය. නමුත් දැන් ඇය පවුලේ අය සමග පදිංචිව සිටින්නේ මුම්බායි නගරයේය. මව ගෘහණියක වන අතර පියා නිර්මාණ අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු වන්නේය. පල්ලවීගේ එකම සහෝදරිය මේ වන විට විවාහකය.

 

පල්ලවී ඔබගේ ළමා කාලයේ දී අරමුණ වුණේ?

මගේ සීයා නීතීඥවරයෙක්. ඉතින් මටත් අවශ්‍ය වුණේ නීතීඥ වෘත්තීය තෝරා ගැනීමටයි. කළු කබාය ඇඳගෙන මිනිසුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න මම හරි ආස කළා. නමුත් ඒ අදහස කෙළවර වුණේ මාව රංගන ක්ෂේත‍්‍රයේ චරිතයක් වීම නිසයි.

 

සිංහල චිත‍්‍රපට නරඹලා තියෙනව ද?

බොහොම විශිෂ්ට චිත‍්‍රපට ගැන අහලා තියෙනවා. නමුත් නරඹලා නැහැ. මේ චිත‍්‍රපටයේ සිට ශ්‍රී ලංකා චිත‍්‍රපට නැරඹීම මගේ පුරුද්දක් වේවි.

 

ශ්‍රී ලංකාව ගැන හිතන්නෙ කොහොමද?

හරිම සුන්දර රටක්. මෙහේට එන්න පෙර මම ශ්‍රී ලංකාව ගැන කතා කරන්නෙ ක‍්‍රිකට් නිසයි. මම බොහොම හොඳ ක‍්‍රිකට් රසිකාවියක්. හැබැයි මගෙ යාළුවෙක් ශ්‍රී ලංකාව ගැන මට කියා තිබෙනවා. ඒක හරිම ලස්සන රටක්. ඒ වගේම සංචාරය සඳහා සුන්දර නගර කීපයකුත් තියෙනවා කියලා. මෙහේ ආවාට පසුව මම ඒ සැබෑව දුටුවා.

 

මොනවගේ ප‍්‍රියතාවයක් ද ඔබට තියෙන්නෙ?

චිත‍්‍රපට නැරඹීම මගේ ප‍්‍රියතම විනෝදාංශයයි. දකුණු ඉන්දීය හොඳ නිර්මාණ තියෙනවා. ඒ මරාති, හිංදි වගේම ඕනෑම චිත‍්‍රපටයක් නැරඹීමට මම ප‍්‍රියයි.

 

කවුද ඔබගේ සිත්ගත් නළු නිළියන්?

හිංදි සිනමාවේ නම් රන්බීර් කපූර්ට වඩාත් කැමතියි. ගබ්බු සහ තවත් දකුණු ඉන්දීය නිළියන් කීපදෙනෙක්ම සිටිනවා. ඒ වගේම ටොම් කෲස්ගෙ ප‍්‍රියතම රසිකාවියක්. ඒ වගේම මෙරිල් ස්ටි‍්‍රප්ටන් කැමතියි.

 

යශෝධරා චරිතය විස්තර කරන්නෙ කොහොම ද?

මට ලැබුණු ඉහළම වටිනාකමකින් යුතු ඒ වගේම අතිශය ගෞරවනීය අවස්ථාවක්. මෙතෙක් මා රඟපෑ චරිත අතරින් ඉහළම චරිතය ලෙස සළකන්නෙ මෙම යශෝධරා චරිතයයි. මේ චරිතයත් ආසියාවේ වගේම බෞද්ධාගම අදහන - විමර්ශනය කරන කාටවත් අමුතු නැහැ. එය ගොඩනගන්න මෙහි වේෂ නිරූපණ ශිල්පියාගේ සිට ඇඳුම් නිර්මාණ ශිල්පියාගේ සිට සියලූ දෙනාම උපරිමයෙන් කැපවුණා. මහාචාර්යතුමාට මගේ ඉහළම ප‍්‍රණාමය පුදන්නට ඕනෑ. මෙම චිත‍්‍රපටයට මම හිතන්නෙ මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප‍්‍රතිචාරය ඉහළින්ම ලැබේවි. මෙවැනි චිත‍්‍රපටයක රඟපෑම වෙතින් මාත් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම ලොකු පළපුරුද්දකුත් ලැබුවා. දැන් මම බලාගෙන සිටින්නෙ මෙය තිරගත වන දිනය තෙක් ඇඟිලි ගනිමිනුයි.

 

ශ්‍රී ලංකාවට ඔබ බෙහෙවින්ම ආදරය කරන බව කිව්වා. ආදරණීය යෝජනාවක්වත් ශ්‍රී ලංකාවෙන් ලැබුණා ද?

අවංකව කිව්වොත් ආදරය ගැන තවම මම හිතුවෙ නැහැ. මොකද මෙහිදී රූගත කරද්දී කාර්ය බහුල වූ නිසා එහෙම ආදරයක් ගැන හිතන්න, පේ‍්‍රමයක් ගැන හිතන්න මට අවකාශයක් තිබුණෙත් නැහැ. ඔව්... කවුරුහරි මා ගැන උනන්දු නම්, මම ඇයි එය ඉවත දාන්නෙ? එහෙනම් මාත් ඒ ගැන උනන්දු වේවි.

 

පල්ලවීට ජීවිතය ගැන කොහොමද හිතෙන්නෙ?

ඉතාම සුන්දර ලස්සන සංචාරයක්. දුක, සැප, නැගීම්, වැටීම්. ඒ සියලූ දේ එහි ඇති බව අපි දන්නවා. ඒ සියලූ දේ බාර ගැනීමට තරම් හිතක් අපට තිබෙන්න ඕනෑ. අපි ඒ සියල්ලට මුුහුණ දිය යුතුමයි. මොන දේ හෝ වේවා. සුබවාදීව සිතමින් සියල්ල කළොත් යහපතක්ම වේවි. ඒ වගේම ජීවිතය කුමක් හෝ වේවා. නමුත් ඊට හොඳට සාත්තු සප්පායම් කරමින් ජීවිතය රැුක බලා ගත යුතුයි.

 

වයස එහෙම කියන්න කැමති ද?

කාන්තාවකගෙන් වයස අහන එක හරි නැහැ වගේ නේද?

ඇය එසේ පැවසුව ද අන්තර්ජාලයේ ඇය ගැන විස්තර සඳහන් වී තිබේ. ඒ අනුව ඇය උපත ලබා ඇත්තෙ 1984 ජුනි 9 වැනිදාය. ඔපෙරා රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ලෙසත්, දීර්ඝ ටෙලිනාට්‍ය කතාංග වලත්, වෙළඳ දැන්වීම් මෙන්ම වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් දායකත්වය ලබා දෙන්නීය. චක‍්‍රාවතින් අශෝක සමරාන් (අධිරාජ ධර්මාශෝක) ඇය දායක වූ ටෙලිමාලා අතරින් අතිශය ජනප‍්‍රිය වූවකි. එහි ඇය රඟපෑවේ දේවි ධර්මා චරිතයයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

  2017-07-12-ent-102 2017-07-12-ent-101