ලංකාවෙ ආදරය අද ටිකක් වෙනස්
‘‘අපි ආයෙත් නැවත ඉපදුනා වගේ කියලයි මට නම් දැනෙන්නේ. කොරෝනාවලින් පසුව ජීවිතයට ටික ටික මාත් හුරු වෙමින් සිටින්නේ. මගේ ජීවිතේ ගලා යන්නේ ඉතින් ඔය විදියට තමයි.’’ මේ දිනවල විකාශය කෙරෙන සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, සහ කැලෑහඳ සමග හමුවන උදයන්ති කුලතුංග කාලයකට පසුව සඳැල්ල සමග කතාබහකට එක් වුණේ ඒ විදියටයි. ඇයගේ රංගන හා සැබෑ ජිවිතයේ තවත් තොරතුරු අපට කියන්නේ මොන විදියටද බලමු.
ඉතින් ඉතින් උදයන්ති, පසුගිය දිනවල ගෙදරට වෙලා මොනවද කළේ?
කොරෝනා කාලයේ අම්මත් එක්ක ගෙදරටම වෙලා හිටියා. ගෙදර අම්මයි මමයි විතරමයි. ඒ නිසා මට හරි සතුටුයි. මොකද අම්මා එක්ක වැඩිපුර කාලයක් ඉන්න ලැබුණ එකට මම ආසයි. විවේකයෙන් ගෙදර සිටියදී ෆිල්ම්ස් කීපයක් බැලුවා. කොළරා සමයේ ආදරයක් ඉංග්‍රීසි චිත්‍රපටය වගේම තවත් චිත්‍රපට කීපයක් මගේ සිත් ගත් චිත්‍රපට වුණා. ඒවායේ රඟපාන නළු නිළියන්ගේ රංගනයන් ගැනත් අධ්‍යයනය කරන්න පුළුවන් වුණා. උයන පිහන ඒවා නම් කළේ අම්මා විතරයි. උයන පිහන වැඩවලට මම ටිකක් විතර කම්මැලියි.
උදයන්ති රඟපෑම විතරද කරන්නේ?
මූලිකවම රඟපෑම විතරයි. රඟපෑම හැර වෙනත් ව්‍යාපාර නැහැ. ව්‍යාපාර කරන්න ආසත් නැහැ. රඟපෑමට සහ කලාවට සම්බන්ධ වූ දේ වලට විතරයි කැමති. අවුරුදු දහයක් පහළොවක් තිස්සේ මම දන්නෙත් මේ කලාව විතරනෙ. අනාගතේ යමක් කළත්, මේ කලා අංශයට සම්බන්ධ දෙයක් විතරක් කරාවි.
කැලෑහඳේ ඩේසි ගැන කතා කරමු?
ඩේසි කියන්නේ ජෝන් ජයපාල විවාහ කරගත්ත කාන්තාව. කැලෑ හඳ කියන්නේ නව කතාවක්. ඒ වගේම එය චිත්‍රපටයක් ලෙස එකල අතිශය ජනප්‍රියත්වයට පත්වූවක්. ඉතින් ඒ වගේ ප්‍රේක්ෂකයින් දන්නා කියන නිර්මාණයක රඟපෑම ආවාට ගියාට කළ හැකි දෙයක් නෙවෙයි. ප්‍රේක්ෂකයින් දන්නා නිසා හරි පරිස්සමට කළ යුතු දෙයක්. රට ගෙදර මහත්තයා එය ටෙලි නිර්මාණයක් ලෙස ඉතා සංයමයකින් මෙහෙයවන බව කියන්න පුළුවනි.
උදයන්ති මේ දක්වා රඟපෑ නාට්‍ය ගැන ආවර්ජනයක් කළොත් ?
මෙතෙක් රඟපෑ නාට්‍ය අතරින්, නාමල් ජයසිංහ පසුගිය වසරේ කළ, මෑතකදී විකාශය වූ “සහෝදරයා” නාට්‍යයේ රඟපෑමට හොඳම සහාය නිළිය සම්මානයක් මට ලැබුණා. ප්‍රේක්ෂකයින් වෙතින් ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර අදටත් හොඳයි. කොහොම වුණත් මේ වගේ හොඳ ටෙලි නාට්‍ය බිහිවන්නේ කලාතුරකින්. ජනප්‍රිය රැල්ලේ ඒවා වටා බොහෝ දෙනා ගොනුවුණාම, හොඳ ඒවා නැරඹීමේ අවස්ථාව මඟ හැරෙනවා. ඒ හැරත් අද බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ පාට පාට ලස්සන රූප රාමු පෙළක් නරඹන්න මිසක්, මනස පිනවා ගන්න නෙවෙයි.
උදයන්තිගෙ රසිකත්වය තියෙන්නේ කොතැනද?
අද මම ලබා තිබෙන අත්දැකීම් එක්ක ඇස විතරක් නෙවෙයි, මනසට යමක් ලැබෙන නිර්මාණයක් නරඹන්න ආසයි. එයින් මම අදහස් කරන්නේ ජනප්‍රිය රැල්ලේ ඒවා හොඳ නැහැ කියන එක නෙවෙයි. හැබැයි මම පාට පාට රූප රාමු පෙළක් විතරක් නරඹන්න කැමැති නැහැ.
අද චරිත රඟපාන්නෙත් තෝරා බේරාගෙනද?
පසුගිය වසරේ ටිකක් විතර ඒ විදියට නැඹුරු වෙලා හිටියෙ. හැබැයි දිගටම එහෙම කරන්න ගියොත්, ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. මොකද ඒ විදියට තෝරා බේරාගෙන රඟපාන්න ගිය අයට අද ගෙදරටම වෙලා ඉන්න වෙලා. ඒ වගේම සමහර අය නාට්‍යවලට ගන්නෙත් නිතර දකින අයවයි. කොච්චර දක්ෂයින් සිටියත්, දැන් මුදල පසු පසම යන නිසා බජට් කර ගන්න ඕනෑ නිසාත්, අඩුවට රඟපාන ආටිස්ට්ලා ගන්න පුළුවනි. කොයි හැටි වෙතත් මම නම් ආසා, ප්‍රවීණයින් සහ දක්ෂයින් වැඩිපුර සිටින නිර්මාණවලට දායකවෙන්නයි. එයින් අපට ලැබෙන අත්දැකීම් බොහොමයි. හොඳට වියදම් දරලා අපූරු නිර්මාණ කරන දක්ෂයින් සිටිනවා. ඒත් අපේ රටේ නිර්මාණවලට සහ ආටිස්ට්ලාට ගෙවන ගාස්තු මීට වඩා වැඩි වෙනවා නම් හොඳයි. අතීතයේ තරමටවත් අද ගෙවන්නේ නැහැ. ලංකාවට කලාව ඕනෑ නැහැ කියලා වගකිවයුත්තන් හිතනවා ඇති. කලාකරුවන් දිහා හැරිලාවත් බලන්නේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති. කලාව එක්ක මිනිසුන්ගේ මනසත් දියුණුකරවන නිර්මාණවලට හොඳ තැනැක් ලබා දෙන්න ඕනෑ. හැබැයි දැන් කලාව වෙනුවෙන් බොහෝ සංගම් තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක කොරෝනාවලින් පස්සේ වෙච්ච හොඳ දෙයක්.
උදයන්ති තවම තනිකඩයිනේ?
ඔව්නෙ.
හිතෙන්නේ නැද්ද විවාහයක් කරගන්න?
තනිකමට පාළුවකට කෙනෙක්. හොයා ගන්නවාට වඩා මට මේ දැන් ගෙවන ජීවිතය හොඳයි. තනිකමක් දැනෙන්නේ නැහැ. හරි නිදහස් හැබැයි වෙලාවකට ඉතින් විවාහයක් කර ගන්න හිතිලත් තියෙනවා. එක එක කාලයට මනසට එන සිතිවිලිනෙ. කාලයක් යද්දි ආයෙත් ඒ සිතිවිල්ල නැතුව යනවා. ප්‍රේමවන්තයකු හමුවුණාම ආදරය නොකර ඉඳලත් නැහැ. ආදරය නැතුව බැහැනෙ. අඩු තරමින් කෑවද බිව්වද කියලවත් අහන්න තරමට ආදරයක් තියෙන්න එපායැ. හැබැයි ඉතින් ගැළපෙන්නේ නැත්නම් ඒ දීගේ හරියන්නෙත් නැහැනෙ. තනිකඩ ජීවිතේ ගෙනියන්න පුළුවන් කමක් එක අතකට වටින දෙයක්. වෙලාවකට මාත් පිරිමි කෙනෙක් වගේ කියලයි මට දැනෙන්නේ. මොකද වගකීම් දරාගන්න පුළුවනි. අපේ රටේ හැටියට ආදරය කරන්න ගත්තාම හරියට හොයනවා බලනවා. ඒකෙ හැටි ඉතින් එහෙමයි. කොහොම වුණත් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ දිනවල නැහැ. මෑතකදීත් එකක් තිබුණා. ඒක නැතුව ගියා. ලංකාවේ ආදරයේ රටාවන් අද ටිකක් වෙනස්.
කැලෑහඳ ගැන හිතන්නේ කොහොමද?
ඩේසි ලෙස කැලෑහඳේ වීණා ජයකොඩි ප්‍රවීණ ශිල්පිනිය එක්ක රඟපාන්න ලැබීමම පිනක්. මගේ සැමියා ලෙස රඟපාන අරවින්ද දොඹගහවත්ත මල්ලිත් හරි හොඳ කෙනෙක්. ඒ වගේ නව පරපුරේ දක්ෂ අය වගේම තරුකා, ඇතුළු ප්‍රවීණ ඒ පිරිසත් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්. රට ගෙදර මහත්තයාගේ නිර්මාණයක රඟන ප්‍රථම අවස්ථාව කැලෑහඳයි. මම මේ නාට්‍යයේ ඩේසිගේ චරිතයට සම්බන්ධවෙන්නේ කොටස් ගණනාවක් ගිය පසුවයි. මුල සිටම මට එහි රඟපාන්න තිබුණා නම් හරි හොඳයි. එච්චරට මම එම නාට්‍ය කණ්ඩායමට කැමැතියි. ඉතා විදයමක් දරලා ආටිස්ට්ලාට හොඳ නිදහසක් දීලා කරන හොඳ නිර්මාණයක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ