ලංකාවට නම් නිරුවත් සහ අඩනිරුවත් නිර්මාණ සුදුසු නැහැ
නවක නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන සමාධි වන්දනා මෙවර සාරවිට කතාබහට එකතු කරගන්න අප හිතුවා. ඇය මේ වනවිට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. තවමත් නිරූපණය සහ රංගනය හදාරන සමාධි සාරවිටට එකතු වුණේ මේ විදිහට.
මම සමාධි වන්දනා. මගේ පදිංචිය අවිස්සාවේල්ලේ. නිරූපණය සහ රංගනය හදාරන ගමන් ඒ ක්ෂේත්රවල නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා.
කොහොමද කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
මම මුලින්ම සම්බන්ධ වෙන්නේ රංගන කටයුතුවලට. මම සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ගීතා කාන්ති ජයකොඩි, අනුර වරාගොඩ, විජේරත්න වරකාගොඩ යන ශිල්පීන් එකතු වෙලා කරපු පාඨමාලාවකට සම්බන්ධ වුණා. රංගනයට එකතු වෙන්නේ "හතර හිනා" කියලා ටෙලි චිත්‍රපටයකින්. නිරූපණයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ මගේ සහෝදරයෙක් වන සංජය සේනාරත්න හරහා. එයා මොඩ්ලින් ක්ලාස් කරන කෙනෙක්.
මේ වනවිට රංගනයෙන් දායක වී තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා තිබෙනවා. ශ්‍රී පාලි හෙට්ටිආරච්චිගේ "කෝකිල වංශය" කියලා චිත්‍රපටයකට. ඊටපස්සේ මොහාන් සර්ගේ "ශ්‍රී වික්‍රම" චිත්‍රපටයට සම්බන්ධ වුණා. එතකොට ළඟදි තිරගත වෙන්න තිබෙනවා "රෂ්" චිත්‍රපටය. "ගින්දරී - 3" චිත්‍රපටයේ රූ ගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. ඒ චිත්‍රපටයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට සකූගේ කතාව සහ රාජ යෝගය කියන ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා.
නිරූපණය පැත්තෙන් දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. එතකොට පේපර් කවර් සහ මැගසින් කිහිපයකට දායක වෙලා තිබෙනවා.
නිරූපණය හදාරන්නේ නැතුව ශිල්පිනියකට අනාගතයක් හදාගන්න බැරිද?
මේ ක්ෂේත්රයේ ඉන්න නම් හැමදේ ගැනම දැනුමක් තියෙන්න ඕනේ. රූපය විතරක්ම නෙවෙයි. ක්ෂේත්රය ගැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. නිරූපණය කියන්නේ හදාරන්න ඕනේම දෙයක්. හදාරන්නේ නැතුව මේ ක්ෂේත්රයෙන් ලොකු ගමනක් යන්න බැහැ. කිසිම දෙයක් හැදෑරීමක් නැතුව කරලා වැඩක් නැහැ.
නිරූපණ හෝ රංගන ශිල්පිනියන් පිළිබඳව අද මිනිස්සු කතා වෙන්නේ වැරදි විදිහට. එහෙම වෙන්න හේතුව මොකද්ද?
ඇත්තටම ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. අළුතින් ෆීල්ඩ් එකට එන ගොඩක් අයට ඕනේ ඉක්මනටම ෆේමස් වෙන්නයි. ඉතින් එයාලා ඒක නිසා වැරදි දේවල්වලටත් පෙළඹෙනවා. කිහිප දෙනෙක් කරන දේවල් නිසා තමයි මේ ක්ෂේත්රයටම ඒ කැත නම වැටෙන්නේ. ක්ෂේත්රය ගැන හදාරලා එන අයට වුණත් තැනක් නැත්තේ අළුතින් ඇවිත් ක්ෂේත්රය විනාශ කරන අය නිසා තමයි. ඉතින් එතකොට මිනිස්සු හැමෝවම මනින්නේ එකම මිනුමෙන්.
ලංකාවේ නිරූපිකාවන්ට නිරුවත් හෝ අඩනිරුවත් නිර්මාණ සුදුසුද?
ලංකාවට නම් නිරුවත් සහ අඩනිරුවත් නිර්මාණ සුදුසු නැහැ. ලංකාවේ නිරූපණ ක්ෂේත්රයට තැනක් නැහැ. නිරූපණ ක්ෂේත්රයේ ඉහළින්ම ඉන්න කෙනෙක් නම් ඒ දේවල් කරාට කමක් නැහැ. අළුතින් එන කෙනෙක් නිරුවත් හෝ අඩනිරුවත් නිර්මාණවලට සම්බන්ධ වෙනවා කියන්නේ එයාලට කතා හැදෙනවා වැඩියි. ලංකාව ඇතුළේ රංගන ශිල්පිනියකට සහ නිරූපණ ශිල්පිනියකට තැනක් නැහැ. එයාලගේ අගයක් දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ දේවල්වලට දායක වුණාම එයාලට ප්‍රශ්න එනවා වැඩියි.
කලා කටුයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් නම් අම්මාගෙන් තමයි සහයෝගය වැඩියෙන්ම ලැබෙන්නේ. එතකොට ආච්චි, සීයා, අයියා එයාලගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
හොඳ හැදෑරීමකින් ඉස්සරහට ඇවිත් චරිතාංග නිළියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කාගෙන්වත් කතාවක් අහන්නේ නැතුව, හැමෝගේම අතරේ හොඳ නමක් දිනාගෙන, හැමෝටම මතක තියෙන දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔබට උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම ස්තූති කරන්න ඕනී ටෙලිපති ක්‍රියේෂන්ස් පාසලේ ආචාර්ය සතිස්චන්ද්‍ර එදිරිසිංහ අනුර වරාගොඩ,විජේරත්න වරකාගොඩ,රොෂාන් සර් ඇතුළු ගුරුවරුන්ට. ඊට අමතරව ධනුෂ්ක ජයවර්ධන අයියා,රොහාන් විජේතුංග අයියා, ගිහාන් අයියා, සන්දීප වීරසිංහ, චතුරංග සමරවික්‍රම, ශ්‍රීපාලි හෙට්ටිආරච්චි, කසුන් තරින්ද, ලහිරු අයියාවත් මතක් කරනවා. එතකොට ඇපෙක්ස් මොඩ්ලින් ඇකඩමියේ සංජය සේනාරත්න, ලංකා යූත් අනුර අයියා, ඉමේෂ් නුවන්දක ,එරංග,ස්ටුඩියෝ Uk ,මහින්ද අංකල්,සුගත් ජානක අයියා, නිසල්, ගිතෙන්ද්ර අයියා ඇතුලු නම් නොකියූ හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා.
කැළුම් දේවින්ද