රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-181

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා. ඇය මේ වනවිට ජාතික රූපාවාහිනියේ වැඩසටහන් කිහිපයකම නිවේදිකාවක ලෙස සේවය කරනු ලබනවා. ඊට අමතරව පූර්ණි ජාතික රූපවාහිනියේ විකාශය වන ක්‍රයිම් සීන් ටෙලි නාට්‍යයටද රංගනයෙන් දායක වෙනවා. ඉතින් පූර්ණි සාරවිට කතාබහට සම්බන්ධ වුණේ මේ විදිහට.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-01-09-ent-183

මගේ නම පූර්ණි ශෙහාරා පතිරාජ. වයස අවුරුදු 23යි. මම දැනට රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක වගේම රූපවාහිනී අලෙවිකරන අංශයේ නිලධාරිනියක විදිහටත් සේවය කරනවා.

 

ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් මොනවාද?

මම දැන් අවුරුදු හයක පමණ කාලයක ඉඳලා නිවේදන කටයුතු කරනවා. “සිත්ගත් ගී” වැඩසටහන සහ “BUSINESS BRIEF” කියලා ව්‍යාපාරික පුවත් පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කරනවා.

 

කොහොමද මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?

පාසල් යන කාලේ ඉඳලාම තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මම පාසල් ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. මම පාසලේ මාධ්‍ය ඒකකයේ සභාපති විදිහට වැඩ කළා. පාසලේ තිබුණු හැම වැඩසටහනක්ම කළේ මමයි. එතනදි රූපවාහිනියේ කෙනෙක් මාව දැකලා මට කතා කරා රූපවාහිනියට ඇවිත් වැඩ කරමු කියලා. එහෙම තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.

 

පූර්ණි මොකද්ද මුලින්ම ඉදිරිපත් කළ වැඩසටහන?

'වාසුලිය' කියන වැඩසටහන තමයි මම මුලින්ම ඉදිරිපත් කළේ. ඊට අමතරව ඒ ඒ කාලෙට තිබුණු විශේෂ වැඩසටහන් ඉදිරිපත් කළා. සිත්ගත් ගී සහ BUSINESS BRIEF තමයි දිගටම කරගෙන ආවේ.

 

මේ අවුරුදු හයට ලැබුණු අත්දැකීම් ගැන කියමු?

අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා. වැරදුණු වෙලාවට උදව් කරලා තියෙනවා. දැන් මාධ්‍ය ක්ෂේත්‍රයේ තරගකාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ දේවල්වලටත් මුහුණදීගෙන වැඩ කරගෙන යනවා. පෙනුම සහ දක්ෂතාව තිබෙනවා නම් මාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳ තැනකට යන්න පුළුවන්.

 

රංගනයට ආරාධනා ලැබී නැද්ද?

මම 2015 “ඉඩදෙන්න” කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළා. උදාර පල්ලියගුරු අයියාගේ “ක්‍රයිම් සීන්” කියන නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒකේ මම රංගනයෙන් දායක වෙන්නේ රහස් පරීක්ෂිකාවකගේ චරිතයකට. මේ දිනවල රූපවාහිනියේ ක්‍රයිම් සීන් විකාශය වනවා. ඊට අමතරව මට තව ටෙලිනාට්‍ය දෙකකට සහ චිත්‍රපටයකට ආරාධනා ලැබී තියෙනවා.

 

ඔබට ක්ෂේත්‍රය තුළදී අභියෝග මතුවෙලා නැද්ද?

අභියෝග ඇවිල්ලා තිබෙනවා. මම මුල ඉඳලාම ඉදිරිපත් කළේ නිදහස් ආකාරයේ වැඩසටහන්. නමුත් මට BUSINESS BRIEF වැඩසටහනේදී ඒ විදිහට වැඩසටහන කරන්න බැහැ. ඒක ප්‍රවෘත්ති කියන ආකාරයේ වැඩසටහනක්. එතැනදි මට ඒක ලොකු අභියෝගයක් වුණා. නමුත් මට ගොඩක් දෙනෙක් ඒකට උදව් කළා. දැන් ඒකත් සාමාන්‍ය විදිහට කරගෙන යනවා. දැන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

නවක නිවේදිකාවන්ට ප්‍රවීණයන්ගෙන් සහාය කෙබඳුද?

ඔව් අනිවාර්යෙන්ම. අපි දන්නේ නැති දෙයක් ඇහුවොත් ප්‍රවීණ අය අපිට උදව් කරනවා. රූපවාහිනිය ඇතුළේ ඉන්න අය හොඳයි.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්ෂේත්‍රයෙන් ලංකාව ඇතුළේ හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී තව තවත් අලුත් දේවල්වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමිතියෙන් උසස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ ගමනට උදව් කළ පිරිස ගැන කිව්වොත්?

විශේෂයෙන් මගේ අම්මාව මතක් කරන්න ඕනේ. ඇය හැමවෙලාවෙම මගේ පස්සෙන් ඉන්නවා. ඒ වගේම මගේ පවුලේ අය මට ගොඩාක් උදව් කරනවා. එයාලට ස්තූතියි කරන්න ඕනේ. එතකොට මට මේ තැනට එන්න උදව් කරපු ක්ෂේත්‍රයේ හැමෝටමත් මම ස්තුති කරනවා.

 

කැලුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-01-09-ent-180  2019-01-09-ent-182