රැල්ලට යන පිපාසයක් මට නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-12-29-ent-249

වසර කීපයකට පෙරදී ජාතික රූපවාහිනිය සහ රජරට සේවය එක්ව පැවැත්වූ දැයට කිරුළ ගී තරුව තරගයේදී ප‍්‍රථම ස්ථානය ලැබුණේ නිපුනි නයනතාරා වන මේ රුවැත්තිය හටය. එලෙසින් 2012 දී පමණ ගායන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ නිපුනි අද වනවිට එම අංශයේ විශාරදවරියක වන්නීය. සංගීත ක්ෂේතයේ සුභාවිත ගමනක යෙදීම අරමුණු කරගෙන ගමනක යන අතරේ, සංගීත දැනුම තවත් පිරිසකට බෙදා දෙන ඇඳුරුතුමියකද වන්නීය. මේ ඒ නිපුනි සදැල්ල සමඟ කතාබහකට එක් වූ අයුරුයි.

 

නිපුනි මේ දිනවල මොනවද කරන්නේ?

2017-12-29-ent-248සෞන්දර්ය සරසවියේ විශේෂවේදී උපාධිය හදාරා දැන් සංගීත ගුරුවරියක ලෙස සේවය කරන අතරේ, සංගීත ක්ෂේත‍්‍රයේ නියැලී සිටිනවා.

 

මොනවද ඔබ ගායනා කළ ගීත?

වැඩි හරියක්ම තියෙන්නේ ”සුභාවිත” අංශයේ ගීතයි. ආදරය නිබ්බුත පදයකි, දෙවොන්දරා සං, මගේ සොහොනට ඇතුළු ගීත බොහොමයක් ගයා තිබෙනවා.

 

අද හෙටම අලූත් වැඩක් කරන්න හදනවා කියන්නෙ?

”මම ඇත්තමයි හිතුවා” නමින් මියුසික් වීඩියෝවක් ඉදිරිපත් කළා එය හෙට නිකුත් වෙනවා. ඒක ඇත්තටම වෙනස් නිර්මාණයක්.

 

මොකක්ද වෙනස?

මෙච්චර කාලයක් මම ගායනා කළේ රාගධාරි සංගීතයට සමීපවයි. නමුත් මෙම ගීතය ඊට වඩා හරි වෙනස් ස්වර පරාසය වුණත් උච්ච ස්වරයෙන් ගයන ගීතයක්.

 

නිපුනි සංගීත ප‍්‍රසංගවලට යන්නේ නැද්ද?

වැඩි හරියක්ම සහභාගී වන්නේ පටිගත කිරීම වෙනුවෙනුයි. ටෙලිනාට්‍ය කීපයකටම ගායනයෙන් දායක වුණා. ජාතික රූපවාහිනිය විකාශය කළ ”ඉර අවරට” ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගැයුවේ මමයි. ඊටත් අමතරව චිත‍්‍රපට ගීත දෙකක් ගැයීමට ආරාධනා ලැබුණා. එය අනුරුද්ධ ජයසිංහ මහතාගේ චිත‍්‍රපටයක්. එම ගීත දෙක අතරින් කසුන් කල්හාර එක්ක යුග ගීතයක් ගැයීමටත් අවස්ථාව ලැබී තිබෙනවා.

 

ඔබගෙ අරමුණ ගායනයෙන් පමණක් ඉදිරියට යාමද?

සංගීතය පිළිබඳව උපාධියක් හදාරා ඊට අමතරව තමයි විශාරද අංශය හැදෑරුවෙ. ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරන අතරේ මා උගත් දැනුම තව පිරිසකට බෙදාදීම තමයි අරමුණ.

මේ වනවිට මා විසින්ම සංගීතය අධ්‍යක්‍ෂණය කරමින්, රචනා කරමින් තනු නිර්මාණය කළ ගීතයක් තියෙනවා ”මගේ හිත හොරා ගත්” කියන ගීතය.

 

කවුද ඔබගෙ හිත හොරා ගත්තෙ?

මගේ සිත සොරා ගත්ත කෙනෙක් සිටිනවා.

 

ඔහු ගායනා ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

නැහැ. ඒත් එයා ගීතවලට ගොඩක්ම ආදරය කරන කෙනෙක්. විශේෂයෙන්ම මටත් මගේ ගීත රීද්මයටත් ආදරය කරන කෙනෙක්.

 

නිපුනිගේ පවුලේ විස්තර කිව්වොත්?

අම්මා, අප්පච්චි, සහ නංගියි, මල්ලියි.

 

ප‍්‍රසංග වේදිකාවේ මොන වගේ දෙයක් කිරීමද අරමුණ?

ගායන ක්ෂේත‍්‍රයට මම අවතීර්ණ වුණේ රඹුකන සිද්ධාර්ථ හිමිගෙ මඟ පෙන්වීමෙන්. ඒ නිසා ඒ ආ ගමන මම අර්ථාන්විත කළ යුතුය කියලා විශ්වාස කළා. හොඳ පද රචනා තෝරා ගනිමින් තමයි මේ ගමන ආවේ. ඒ නිසා සුභාවිත ගීතයට ලැඳි නිර්මාණ කිරීම තමයි මගේ ප‍්‍රයත්නය.

 

ගීතය යනු කුමක්ද? කියා ඔබගෙන් ඇසුවොත්?

මම හිතන විදියට නම්, යහපත් පද රචනයක්, ඒ වගේම හොඳ සංගීතය වගේම හොඳ කටහඬකින් එය ශ‍්‍රවණය කරන කෙනාගෙ වින්දනය සඳහා රසඥතාවයක් ගෙන දිය හැකිනම් එය පවතින ගීතයක් වේවි.

 

කෙසේ වෙතත්, අපේ ගායන ක්ෂේත‍්‍රයට විවිධ ස්වභාවයන් සමඟ ගායක - ගායිකාවන් පැමිණෙනවා. ඒත් පවතින්නෙ බොහොම ටික දෙනයි. අදටත් කතාවන්නේ නන්දා, ලතා, සුජාතා, ඇන්ජලින්, නීලා, ඔය වගේ අතළොස්සක් ගැනයි. ඒ විදියට ලංකාවේ ලකුණක් වෙන්න නම්?

ප‍්‍රධානවම හොඳ කටහඬක් සහ දක්‍ෂතාවයක් තියෙන්නම ඕනෑ. සංගීතය ගැන අවබෝධය වගේම හොඳ ගීත නිර්මාණය විය යුතුයි. වත්මනෙහි ඉතා දක්‍ෂ ශිල්පිණියන් සිටිනවා. හරිම ලස්සන ගීත නිර්මාණය වනවා. නමුත් ඒ ගීත මිනිසුන් අතරට ගෙන යාමේ අවස්ථා අඩු වී තිබෙනවා. ඒ වගේම මාධ්‍යයන් පුළුල් වෙලා. දැන් මගේ ගීත ගනිමු මට වැඩි හරියක්ම සිටින්නේ යූ ටියුබ් හරහා සහ ෆේස්බුක් හරහා ගී වින්දනය කරන පේ‍්‍රක්‍ෂක පිරිසක්. ඉතින් හැමෝටම අන්තර්ජාල පහසුකම නැහැ. ඒක මට විතරක් නෙවෙයි අතිදක්‍ෂ ශිල්පිණියන් සිටිනවා හරිම ලස්සන ගීත තියෙනවා ඒත් මිනිස්සු අතරට යන ප‍්‍රවණතාවය අඩුයි.

 

ඔබ හිතන විදියට අද ලෝකයේ පවතින්නෙ සුභාවිත කියන ගීතයම නෙවෙයි නේද?

එවැනි ප‍්‍රශ්නයකුත් තිබෙන බව ඇත්ත. ඒ නිසා තමයි අද වැඩි හරියක්ම රූප රචනා සහිත ගීතමය වීඩියොත් නිර්මාණය වන්නෙ. ඉදිරියේදී ඒ වෙනස හඳුනාගෙන යමක් කරාවි. හැබැයි මට රැුල්ලට යාමේ පිපාසයක් නැහැ. විඳින්නට හැකි ගීතයක් මොන විදියකින් හෝ විරිතකට ගායක කරවීම වෙතින් වින්දනයක් ගෙන දිය හැකි නම්, මිනිසුන් එය වින්දනය කරාවි.

 

මුලින්ම ඔබ ක්ෂේත‍්‍රයට ආවේ රඟපෑම වෙතින් නේද?

ප‍්‍රියා රණසිංහ මහත්මිය අධ්‍යක්‍ෂණය කළ ඉර අවර ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතයකින් තමයි කරළියට ආවේ. ‘දීපා’ නමැති චරිතය කළේ මමයි. ඊට පසුවත් රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ඒ අංශයෙන් මට ඉදිරියට යාමට වඩා ගායනයෙහි ඉදිරියට යාම තමයි අරමුණ.

 

පසුතලය සහ මල් සැරසිලි නිර්මාණය - Lassana Flora (Wijerama, Colombo - 07)

හැඩගැන්වීම - දීපිකා ගුණසේකර

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-12-29-ent-247