රටින් පිට ගියාම තමයි මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නේ
ටෙලි නාට්‍යය හා සිනමා නිළියක් ලෙස අප අතර බොහෝ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ලෙස ලෝචනා ඉමාෂි හැඳින්විය හැකිය. නිතරම අලුත් අලුත් විලාසිතා අත්හදා බලන ඇය ඇඳුම් විලාසිතාවලටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ ඇය සිය විලසිතා ගැන අප සමග කී කතාව.
විලාසිතාවලට ඔබගේ තියෙන කැමැත්ත කොයි වගේද?
විලාසිතාවලට කැමතියි. මොකද, මම සාමාන්‍යයෙන් වයසට ගියත් මට ගැළපෙන විලසිතා කරනවා. කොටට වුණත් මට ගැළපෙනවා කියලා හිතනවා නම් මම වයසට ගියත් කොටට අඳිනවා. ලෝකය අලුත් වෙන විදිහට විලාසිතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන ලෝකය සමග ඉදිරියට යන්න තමයි මමත් කැමති.
සාමාන්‍යයෙන් මාසයකට ඇඳුම් කොපමණ මිළඳි ගන්නවාද?
මම ඒක පාර ඇඳුම් මිළඳි ගන්න යන්නේ නැහැ. මම විදෙස්ගත වෙන නිසා ගොඩක් වෙලාවට නෙදර්ලන්තය, ඉතාලි වගේ යුරෝපිය රටවල්වලින් තමයි ඇදුම් ගන්නේ. ලංකාවේ නම් ගොඩක් වෙලාවට මට ඇඳුම් ගන්නේ නැහැ. අවශ්‍ය වුණොත් ඒ වෙලාවට ගැළපෙන විදිහට ඇඳුම් මම මට කිට්ටුවෙන් තියෙන ආයතනයකින් මිළඳි ගන්නවා.
විලාසිතා කරන්න වැඩියෙන්ම කැමති ඇඳුම් තියෙනවාද?
එහෙම එක ඇඳුමක් කියලා නැහැ. මට ගැළපෙන තැනට උචිත වෙන විදිහට තමයි මම ඇඳුම් අඳින්නේ. මම ඉතින් උස මහත කෙනෙක් නෙමෙයි නේ. සාමාන්‍යයෙන් ශෝට් ඇඳුම් අඳින්නත් මගේ අකමැත්ත නැහැ. ගොඩක් ඇඟ පේන ඇඳුම් නම් අඳින්නේ නැහැ මම. මට ගැළපෙනවා කියලා හිතෙන ඕනා ඇඳුමක් මම අඳිනවා.
ගන්න ඇඳුමක් කොච්චර කල් අඳිනවාද?
රූපවාහිනි වැඩසටහනකට හෝ උත්සවයකට ඇඳුමක් අඳිනවා නම් බොහෝ වෙලාවට මම ඒ දේට විතරයි ඒ ඇඳුම අඳින්නේ. සාමාන්‍ය ගමනකට මම ඒ ඇඳුම කාලයක් ගිහිල්ලා අඳිනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒ ඇඳුම ඒ වැඩේට විතරයි මම අඳින්නේ.
අඳින්න බැරි ඇඳුම් කාටද දෙන්නේ?
ගොඩක් වෙලාවට මගේ නංගි තමයි ගන්නේ. එහෙමත් නැත්නම් යාළුවෝ ගන්නවා. සමහර වෙලාවට මට අඳින්න පුළුවන් ඇඳුමත් ඒ අය අරගෙන ගිහින් අඳිනවා.
ඇඳුම් ගන්න විශේෂ තැන් තියෙනවාද?
ඇඳුම් ගන්න කියලා විශේෂත තැන් නැහැ. මම අර කළින් සඳහන් කළා වගේ රටින් පිට ගියාම තමයි මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නේ.
තනියමද? එහෙමත් නැත්නම් යාළුවොත් එක්කද වැඩිපුරම ඇඳුම් ගන්න යන්නේ?
ගොඩක් වෙලාවට යන්නේ යාළුවොත් එක්ක තමයි. හදිසියේම වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම තනියම ගිහින් මට අවශ්‍ය කරන ඇඳුම මම ගන්නවා. එහෙම නැත්නම් යාළුවෝ ටික එකතු කරගෙන තමයි මම ඇඳුම් ගන්න යන්නේ.
විලාසිතා කරද්දි සිමාවන් තියෙනවාද?
විලාසිත කරද්දි අනිවාර්යයෙන්ම සිමාවක් තියෙනවා මට. මොකද, මවක්, බිරිඳක් විදිහටත් වයසින් ටිකක් වැඩිපුර දැනුම් තේරුම් ඇති කෙනෙක් විදිහටත් විලාසිතාවක් කරද්දි මට ඒ දේ ගැළපෙනවාද කියලා මුලින්ම බලනවා.
බුද්ධික සේනාධීර