රඟපාන්න හිතුවෙම නෑ, සිංදු කිව්වාම ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2088

එදා සුපර් ස්ටාර් මුල්ම රැල්ලෙන් කරළියට ආ මේ හැඩකාර ගායන ශිල්පිනිය ගැන අද අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැති තරම්ය. ඇය නදිනි නිශංකා ප්‍රේමදාස. සුන්දර නදිනි අද සඳැල්ල කවරය හැඩ කරමින් කතාබහකට එක් වුණේ මේ විදියටයි.

2019-12-18-ent-2090

නදිනි මොකද මේ ‘හිත උමතු වෙලා වාගේ’ කියලා කියෙන්නේ?

“වසර කිහිපයකින් මම අලුත් ගීතයක් කළේ නැහැ. ඒ නිසා අලුත් ගීතයක් නිර්මාණය කළා. ඒකෙ නම ‘සිත උමතු වෙලා වාගේ’. රොක් ඇන්ඩ් රෝල් ශෛලියට නිර්මාණය කළ ගීතයක්. ඊට පෙර අන්තිමට මම කළේ ‘තව දුර නොයන්න’ සහ ‘දිළිසෙන දෙනෙත ඔබේ’ ගීතයි.”

 

නදිනිගේ ජීවිතේ අලුත් විස්තර මොනවා ද?

“දැන් මේ ගීතය රිලීස් කරන්න තමයි සූදානම් වන්නේ. මෙම පෙරබවාරිය අවසන් වීමට පෙර එය රිලීස් වෙනවා. මගේ සංගීත ජීවිතේ වැඩ හොඳින් කෙරෙනවා. සුපුරුදු විදියට ආයෙත් ඒ කටයුතු පටන් ගන්න අවකාශය ලැබුණා. පරණ විදියට ටී.වී. ප්‍රෝගෑම්වලට සහ ප්‍රසංගවලට දායක වෙනවා. පසුගිය දිනවල ඒ මොනවත් නොකළේ බබාලා දෙන්නගෙ වැඩ නිසයි. දැන් ඒ දෙන්නා තරමක් ලොකුයි. එයාලා දෙන්නා නිසා තමයි පසුගිය කාලයේදී ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා හිටියේ. රිලීස් වෙන්න තියෙන ගීතයේ රූප රචනයටත් දායක වුණා.”

 

දරු දෙදෙනකුගේ මවක් මෙච්චර හැඩකාර වුණේ කොහොම ද?

“කොහොමටත් මම නිතරම මගේ සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතපු කෙනෙක්. ව්‍යායාම් කිරීම ඉතාම කැප කිරීමෙන් කරන්න කෙනෙක්. පසුගිය කාලයේ බබාලගෙ කටයුතු එක්ක මම ගොඩක් මහත් වුණා. හැබැයි දෙවැනියා ඉපදිලා මාස හත අටක් යද්දි ව්‍යායාම් කළ නිසා පුරුදු රිද්මයට එන්න පුළුවන් වුණා.”

 

ලැබෙන ජනප්‍රියත්වය මොන වගේ ද?

“සිරස රියැලිටි තරගය එක්ක ඇවිත් දැන් වසර 12ක් විතර වෙනවා. එදා ඒ විදියට සුපර් ස්ටාර් එක්ක ඇවිත් හදාගත්ත දේ එක්ක හරි සතුටක් දැනෙන්නේ. ඒ සතුට නිහතමානීව බාරගන්නවා. ප්‍රේක්‍ෂකයන් එදා වගේම අදත් ඒ විදියටම ආදරේ වග පෙනෙනවා.”

 

අද රියැලිටි තරග තියෙන්නේ මොන වගේ තැනක ද?

“එදා එක තරගයක් විතරයි තිබුණේ. අද තරග බොහෝමයි. ඒ නිසා අද රියැලිටි කියන තරග සාමාන්‍යකරණය වෙලා. එදා එහෙම නැහැ. මම හිතන්නේ තරග මීට වඩා ටිකක් අඩු වුණා නම් මීට වඩා අගයක් සහ ප්‍රමිතියක් ඇති වේවි. කොයි දේත් ඕනෑවට වැඩිය ඕනෙම නැහැ කියලනෙ කියන්නේ.”

 

ඒ කාලයේ ඔබ එක්ක කරළියට ආ සුපර් ස්ටාර් කට්ටිය හමුවෙනවා ද?

“සංඛ දිනෙත් හමුවෙනවා. අනෙක් අය නම් හරිම කලාතුරකින්. සංඛ එක්ක මම යුග ගීතයක් ගැයුවා. 2009 දී අපි ප්‍රසංගයක් පවා කළා.”

 

නදිනිට රඟපාන්න ආසාවක් නැද්ද?

“මුලදි නම් දිගටම වගේ ආරාධනා ආවා. ඒත් කවදාවත් මම ඒ අංශය ගැන හිතුවෙ නැහැ. සිංදු කියලා හිටියොත් ඇති කියලා තමයි අදටත් හිතන්නේ.”

 

නදිනිගේ රසවින්දනය මොන වගේ ද?

“සෑම ශෛලියකම වගේ ගීත රසවිඳිනවා. සේනක බටගොඩ, රූකාන්ත ගුණතිලක, වික්ටර් රත්නායක ශූරීන් ඇතුළු බොහෝදෙනාගේ ගීත අහනවා. සුභාවිත සංගීතය වගේම නව ආරක ගීත පවා රසවිඳිනවා.”

 

ඉංග්‍රීසි ගීත ගායනයටත් ආසයි නේද?

“ඉංග්‍රීසි ගීත අහන හොඳ රසිකාවියක්. සිංහල ගීත ටිකක් විතර බටහිර තාලෙට ගැයුව නිසා සමහර අය හිතුවෙ මම ඉංග්‍රීසි ගීත විතරක් ගායනා කරනවා ඇති කියලයි.”

 

පැරැණි අයගේ ගීතත් ගයනවා නේද?

“රූපවාහිනී වැඩසටහන්වලදී, විශේෂ වූ ප්‍රසංගවලදී ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීත ගයන්න ආසයි. පැරැණි ගීත ගයන්න කියලා ඉල්ලීම් තියෙනවා. බලමු ඉදිරියට. ප්‍රවීණයන්ගේ අවසර සහ ආශිර්වාද එක්ක හැර විශේෂ අවස්ථාවක දී හැර වාණිජමය කටයුතු වෙනුවෙන් වෙනත් අයගේ ගීත ගයන්න යන්නේ නැහැ.”

 

නදිනිට අද ජීවිතය දැන්නේ කොහොම ද?

“බොහොම සතුටුයි, සතුටින් ගෙවනවා. සංගීත දිවිය වගේම පුද්ගලික ජීවිතයත් හරිම ආදරණීයව ගෙවෙනවා. රසික රසිකාවියන්ගේ ආදරයටත් ගොඩක් කැමැතියි. පුද්ගලිකව ගත්තොත් ජීවිතේ එහෙම ලොකු බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවත් වන කෙනෙක් නොවෙයි.”

 

හැබැයි නිතරම ඇවිදින්න ආස කෙනෙක්ලු නේද?

“ඒක නම් ඇත්ත. නිතරම ඇවිදින්න යන්න, පාටිවලට යාළුවෝ එක්ක යන්න එහෙම ආසයි. හැබැයි වැඩිපුරම කාලය ගෙවන්නේ ගෙදර බබාලා දෙන්නා සහ පවුලේ අය එක්කයි.”

 

ගෙදර ජීවිතේ කොහොම ද?

“හරිම සුන්දරයි. පුතාට වයස අවුරුදු 6යි. එයා ආර්යන් අබේසිංහ. දුවට අවුරුදු 3යි. එයාගේ නම ආරියානා අබේසිංහ. ඒ දෙන්නා වාගේම මගේ සැමියා ගැනත් කියන්න ඕනෑ. මගේ සැමියා මධුර අබේසිංහ. එයාට හොඳ අවබෝධයක් තියෙන්නේ. මට සෑම දෙයකටම ලබාදෙන සහයෝගය හරිම ඉහළයි.”

 

නදිනි මේ දක්වා ගීත කොපමණ සංඛ්‍යාවක් කරලා තියෙනවා ද?

“15ක් විතර කරලා තියෙනවා.”

 

එයින් වඩා ජනප්‍රිය වුණේ?

“සපු කුසුමේ, දිළිසෙන දෙනෙත ඔබේ, ශිහාන් එක්ක ගැයූ සිත ආදරේ සොයා, සංඛ දිනෙත් එක්ක ගැයූ සිතැත්තී, ඉරාජ් නිෂ්පාදනය කළ මදෙස බලන්නයි, ගජමන් නෝනා සහ ඊට අමතරව ඉංචි පිංචි කුමරා, ඔබටයි යෙහෙළියේ වැනි ගීත වඩාත් ජනප්‍රියයි.”

 

අද නිර්මාණය වන ගීත එතරම්ම ජනප්‍රිය නොවන්නේ ඇයි? විශේෂයෙන්ම රියැලිටි රැල්ලෙන් එන අලුත් ගීත?

“අද සෑම දෙයක්ම බහුල වෙලා, නාළිකා පවා බහුලයි. සෑම දෙයක්ම සුලබ වුණාම තත්ත්වය එහෙමයි. එකවර බොහෝ දේ අහන දකින නිසා මතකයේ රැඳෙන එකක් අවම වෙන්න පුළුවනි. නැත්නම් හොඳ ගීත නිර්මාණ නැතුවාම නොවෙයි.”

 

සටහන/ ඡායාරූප - සඳුන් ගමගේ

 

 2019-12-18-ent-2089