රඟපාන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-05-ent-87

නිවේදිකාවක් ලෙස අවුරුදු 04ක කාලයක් නිවේදනය ක්ෂේත්‍රය තුළ සිටින ඇය සින්දුජා ශ්‍රී භාග්‍යා ය. ඇය ITN නාලිකාවේ වැඩසටහන් කිහිපයක් නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලබයි. මේ ඇයගේ කටයුතු පිළිබඳව අපත් සමග මෙලෙස කතා කරනු ලැබුවා.

 

ඔබ කවුද? මොකද කරන්නේ?

2017-06-05-ent-89මම සින්දුජා ශ්‍රී භාග්‍යා. දැනට ITN නාලිකාවේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙස වැඩකටයුතු කරනවා. ඊට අමතරව ටෙලිකොම් ආයතනයේ Tele Communication උපාධිය හදාරනවා. ඒ වගේම නිරූපණ කටයුතුත් කරනවා.

 

ඉගෙනීම සහ නිවේදනය අතර ගැලපීමක් නෑ නේද?

නිවේදන කටයුතු කළාට මම වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳවත් ඉගෙනගෙන තියෙන්නේ. වැඩසටහන් නිෂ්පාදකවරියක් වෙන්නත් අදහසක් තියෙනවා. මම උසස්පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. විශ්ව විද්‍යාල ප්‍ර‘වේශයට අවස්ථාවක් ලැබුනේ නෑ. පසුව ITN අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වුනා. එහිදී තමයි නිවේදනකටයුතුවලට අවස්ථාව හිමිවුනේ. පසුව ඒ පැත්තට යොමු වුනා. ඒකයි නොගැලපීමක් වගේ පෙන්නේ.

 

රංගනයටත් යොමුවෙලාද ඉන්නේ?

ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වුනාට රඟපානවාට ගෙදරින් එච්චර කැමති නැහැ. රඟපානවා කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ. පිටපලාත්වලට යන්න තියෙනවා, ඒ කැපවීම කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා රඟපාන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ.

 

ඔබේ නිවේදනකටයුතු පිළිබඳවත් කියමු නේද?

ITN නාලිකාවේ "ITN MUSIC.COM", "bollywood Hit mix", "අරුත්බර ජීවිතය", "සූරිය විමන" කියන වැඩසටහන් කළා. ඒ වගේම දැනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

 

මේ වැඩසටහන් සඳහා අවස්ථාව ලැබුනේ කොහොමද?

2013 දී මම ITN අවුරුදු කුමරියට හිටියා. එතනදී තිබුණ සම්මුඛ පරීක්ෂණයකදී මාව විතරයි නිවේදන කටයුතු සඳහා තේරුනේ. 2013 තමයි නිවේදන කටයුතු ආරම්භ වෙන්නේ. දැනට අවුරුදු 4ක් පමණ වෙනවා.

 

ඒ කාලය තුළ ලබපු අත්දැකීම් මොනවගේද?

ITN එක කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. රජයේ නාලිකාවක්, ගොඩක් පරණ අය ඉන්න තැනක්, ප්‍රවීණ අය ඉන්න තැනක්, ඒ නිසා ඒ අය එක්ක ගැටෙද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ආරක්ෂාව අතිනුත් ITN එක කියන්නේ ගොඩක් හොඳ තැනක්. මට හම්බවෙලා තියෙන හැමෝම අඩුපාඩු හදාගන්න ගොඩක් උදව් කරලා තියෙනවා. මට හම්බුන නිෂ්පාදකවරුත් එහෙමයි.

 

ආරක්ෂාව හොඳයි කියලා ඔබ කියනවා, ඉන් අදහස් කළේ මොකක්ද?

මෙහෙමයි, මේ ක්ෂේත්‍රය පිළිබඳව ගොඩක් අය නරක විදියට බලනවා. එහෙම නරක දේවලුත් ඇති. ඒක අපි තෝරලා බේරලා කරන්න ඕන. ආයතනයක් විදියට ගත්තාම ITN එක කියන්නේ ගොඩක් ළමයින් (සේවකයින්) පිළිබඳව හොයලා බලන තැනක්.

 

නිවේදනයට එක්වෙන්න ඉගෙනගත් දේවල් හේතුවුනාද?

මුලින්ම නම් තිබුනේ ටැලන්ට් එක විතරයි. ඉස්කෝලෙදි, දහම් පාසලේදී නිවේදන කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මම ජාතික රූපවාහිනියේ හඬකැවීම් කටයුතු කරලා (ඩබින්) තියෙනවා. ඒ අත්දැකීම් තමයි මුලින්ම තිබුනේ. නිවේදන කටයුතුවලට එකතුවුනාට පස්සේ ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේ (SLTTI) TV Production සහ Announcing කියන පාඨමාලා දෙක කළා. ඊට අමතරව වැඩකටයුතු කරන ගමන් නිෂ්පාදකවරුන්ගෙන්, ප්‍රවීණයන්ගෙන් ඉගෙනගත් දේවලුත් තියෙනවා. ඉදිරියේදී තවත් ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා.

 

පවුලේ අයගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරය මොනවගේද?

දැනට මම මේ කරන වැඩකොටසට නම් ගෙදරින් අකමැත්තක් නැහැ. රඟපානවාට තමයි ටිකක් අකමැති. මේ වැඩකටයුතුවලට නම් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම විතරයි අපේ පවුලේ ඉන්නේ. අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

අද කාලේ නිරූපණය, නිවේදනය කියන දේවල්වලට බොහෝ පිරිස් පැමිණෙනවා. එහෙම වෙනකොට ක්ෂේත්‍රය තුළ තියෙන පැවැත්ම මොනවගේද?

මේ වගේ දේවල් කොච්චර කළත්, වෘත්තීය ලෙස තෝරාගන්න හොඳ නෑ. රැකියාවක් කරන්න ඕන. ඒ අතරතුර තමන්ගේ හැකියාවෙන් ප්‍ර‘යෝජනයක් ගන්න මේ වගේ දේවල් කළාට කමක් නෑ. නිවේදනය කියන්නේ වයසට යනකම් කරන්න පුළුවන් දෙයක්. නමුත් නිරූපනය කියන්නේ වයසට යනකම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපේ ලස්සන තියෙනකම් විතරයි කරන්න පුළුවන්.

 

වෘත්තීයක් ලෙස කරන්න හොඳ නෑ කියන්නේ, මෙය මත්තේ යැපෙන්න පුළුවන් කාලය අඩු නිසාද?

ඒක එක එක්කෙනාගේ පැවැත්ම තමයි. නිවේදිකාවක් ලෙස ඇවිල්ලා නිෂ්පාදකවරු වෙලා, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරු වෙලා ඉන්න අය සමහරු අපි දකිනවා. එහෙම අය ගොඩක් ඉන්නවා. ITN එකේ වුනත් එහෙම අය ඉන්නවා. කෙනෙක්ට බලාපොරොත්තුවක් තියෙනවානම් ඒ මාර්ගය ඔස්සේ යන එක හොඳයි. මම කියන්නේ ඒ ගැන ඉගෙන ගෙන. එහෙම නැතිව මගේ අදහස නම් නිවේදන වෘත්තීය අමතර දෙයක් විදියට තියාගෙන මම ඉගෙන ගන්න පැත්තෙන් රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තුව. හැමෝටම එහෙම වෙන්න ඕන කියලා මම කියන්නේ නෑ. මේ ක්ෂේත්‍ර‘යේ ඉදිරියට යන්න කෙනෙක්ට බලපොරොත්තුවක් තියෙනවානම් යන්න පුළුවන්.

 

ඔබ කාලයකදී මේ කටයුතුවලින් ඉවත් වෙනවා කියලා තීරණය කරලා තියෙනවාද?

නෑ, එහෙම ඉවත්වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම හිතන්නේ ඉවත්වෙන්න තරම් කරන්න අමාරු නෑ. නිවේදනය කියන්නේ අපට ලැබෙන කාලවේලාවත් එක්ක බැලන්ස් කරගෙන කරන්න පුළුවන් දෙයක්. දැනට ක්ෂේත්‍ර‘යේ ඉන්න නිවේදකයන්, ප්‍රවෘත්ති නිවේදනය කරන අයත් ඇවිත් තමන්ගේ කටයුත්ත කරලා රැකියාවට යන අය ඉන්නවා. එහෙම ඉවත් වෙන්න කියලා අදහසක් නෑ. පුළුවන්තාක්කල් මේ ක්ෂේත්‍ර‘යේ ඉන්නවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම තවම නිවේදනයෙන් පුංචි තැනක ඉන්නේ. ඉදිරියට ඒ හැකියාව දියුණුකරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන එක තමයි බලාපොරොත්තුව.

 

මතක් කළ යුතු අතහිතදුන් පිරිසක් ඉන්නවාද?

මගේ අම්මා තාත්තා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. මාව මුලින්ම ITN එකේ වැඩසටහනකට ගත්තේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා චන්ද්‍රිමා ප්‍රේමරත්න අක්කා. "සූරිය විමන" සජීව වැඩසටහනට බය නැතිව මාව ඉදිරිපත් කළේ එයා ඒවගේම ITN කාර්ය මණ්ඩලය මතක් කළ යුතුයි. ඊට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්යමණ්ඩලයෙන් සමහයෝගයක් ලැබිලා තියෙනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-06-05-ent-81 2017-06-05-ent-90  2017-06-05-ent-88  2017-06-05-ent-86 2017-06-05-ent-85 2017-06-05-ent-84 2017-06-05-ent-83 2017-06-05-ent-82