රඟපාන්න ආශාවක් තිබුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-01-ent-02

2008 දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි වේදිකාවෙන් ජනප‍්‍රියම පුංචි නර්තන ශිල්පිණිය ලෙස පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් හර්ෂි අංජුමාලා මේ වනවිට පුංචි තිරයේ පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශනය වන සිඳු, කණාමැදිරියෝ යන ටෙලිනාට්‍යයන් ද්විත්වයෙන්ම පේ‍්‍රක්ෂකයා අතරට එන ඇයව සැඳැල්ල කතාබහ තුලින් මෙවර මුණගැහෙන්න හිතුවා.

 

කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ ‘විහංසා’ කියන්නේ අංජුමාලාව ප‍්‍රධාන චරිතයකින් දකින්න ලැබෙන පළමු අවස්ථාව. මොකද ඒ ගැන හිතෙන්නේ?2018-10-01-ent-03

ගොඩක් සතුටුයි. ඇත්තටම මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ සිඳු ටෙලිනාට්‍යයේ ‘ගයනි’ගෙ චරිතය. සිඳු ටෙලිනාට්‍යයේ රඟපාන අතරතුර තමයි හිතුවෙත් නැති අවස්ථාවක කණාමැදිරියෝ ටෙලිනාට්‍යයට මට කතා කළේ. ඒ ප‍්‍රධාන චරිතයක් ලැබේවි කියලා හිතුණේ නැහැ. පිටපත ලැබුණට පස්සෙත් මේක මට කරගන්න පුළුවන් වේවිද කියලා පොඩි බයකුත් දැණුනා. එරන්ද අයියා, ලහිරු අයියා මේ දෙන්නව ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනව. ඒ දෙන්න තමයි මට මේ අවස්ථාව අරගෙන දුන්නේ. ඒ වගේම දෙරණ නාළිකාවේ ලක්සිරි සර් ඇතුළු සියලූම දෙනා ගෞරවයෙන් මතක් කරනවා. ඒ අය නැත්නම් අද අංජුමාලා කියලා කෙනෙක් පුංචිතිරයේ නැහැ.

 

අංජුමාලාට නර්තනය පැත්තකින් තියලා රඟපාන්න එන්න හිතුණේ ඇයි?

රඟපාන්න මට අවස්ථාව ලැබුණේ හිතුවෙවත් නැති වෙලාවක. අවුරුදු 11දී දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ ජනප‍්‍රියම තරුව වෙන්න ලැබුණම මට ගොඩක් මාධ්‍යයන් සමඟ වැඩකරන්න ලැබුණා. ඒත් මගේ අධ්‍යාපනයට බාධාවක් වේවි කියලා උසස් පෙළ කරන තෙක්ම මට කලාකටයුතුවලට සම්බන්ධ වෙන්න අම්මා අවසර දුන්නෙ නැහැ. නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න මිසක් රඟපාන්න එන්න ආසාවක්වත් කැමැත්තකවත් මට තිබුණේ නැහැ. දෙරණේ ලක්සිරි සර් මට සිඳු එකට කතා කරාට පස්සේ තමයි රඟපෑම ගැන කැමැත්තක් ඇති වුණේ.

 

‘විහංසා’ චරිතය ගැන කතා කළොත්?

විහංසා කියන්නේ ගොඩක් වෙලාවට කපටි, සමහර වෙලාවට ලොකු ආදරයක් පෙන්වගෙන ඉන්න චරිතයක්. ඒ වගේම තාත්තාගේ සෙනෙහස අහිමි වෙලා අම්මාගේ ආදරයත් එක්ක ජීවත් වෙන බොහොම දැඩි කෙනෙක් විදිහට තමයි විහංසාගේ චරිතය ගලාගෙන යන්නේ.

 

ඔබ සමඟ රංගනයෙන් දායකවන සමකාලීන යොවුන් නිළියන් අතරේ අංජුමාලාට තරගයක් දෙන්න කෙනෙක් ඉන්නවාද?

මම කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. මට මේ ක්ෂේත‍්‍රය ඇතුළේ දැන් තියෙන එකම අභියෝගය විහංසා කියන ප‍්‍රධාන චරිතය. මට ඕන තවත් කෙනෙක් එක්ක තරග කරනවට වැඩිය මේ ලැබුණු ප‍්‍රධාන චරිතයෙන් උපරිම දෙයක් කරලා පේ‍්‍රක්ෂක සම්මානය දිනාගන්න එක විතරයි. මට මනීෂා එක්කවත්, නයනාතාරා එක්කවත් තරග කරන්න ඕන, එයාලා ඉන්න තැන්වලට මම යන්න ඕන කියලා කවදාවත් මම හිතලා නැහැ. මම සතුටු වෙන්නේ මම කරන දේවල්වලින් විතරයි.

මම මහ ලොකු නිර්මාණ ගොඩක නොසිටියත් මට හොඳ ප‍්‍රධාන චරිතයට අවස්ථාව ලැබුණා. ඒක මට ගොඩක් වටිනවා. අනිත් අයට අරවා ලැබුණා මේවා ලැබුණා කියලා දුක් වේවි ඉන්නේ නැහැ මම තනියම මගේ ගමන යනවා.

 

පසුගිය දිනවල පැවැත්වුණු සම්මාන උළෙලේ අංජුමාලාට ලැබිය යුතු අවස්ථාවක් වෙනත් අයකුට ගියා කියලා හිතනවද?

අපෝ නැහැ. මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ. බොරු කියන්න ඕන නැහැනේ අනේ මාවත් අවසන් දස දෙනා අතර හෝ නිර්දේශ වුණා නම් කියලා හිතිලා තියෙනවා. මගේ පළමු ටෙලිනාට්‍ය සිඳු ටෙලිනාට්‍යයේ ගයනි කියන්නේ සුළු චරිතයක්. ඒත් පේ‍්‍රක්ෂක ආදරය මට උපරිමෙන්ම ලැබෙනවා. මාව සම්මාන උළෙලකට නිර්දේශ නොවුණේ මම ප‍්‍රධාන චරිතයක් නොකරපු නිසා වෙන්න ඇති. මම නොලැබුණු දේවල් ගැන දුක්වෙන්නේ නැහැ.

 

ඒ කියන්නේ දැන් අංජුමාලා සම්මාන සිහිනය අතෑරලද?

නැහැ. මම මේ ගමන තවම පටන් ගත්තා පමණයි. කණාමැදිරියේ ටෙලිනාට්‍යයේ විහංසට ඒ අවස්ථාව හිමිවේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මනීෂා, නයනතාරා, කාවින්ද්‍යා, මගේ ක්ෂේත‍්‍රයේ ඉන්න හොඳම යාළුවෝ. ඒ අය මට වඩා අඩියක් හරි ඉදිරියට යනවට මම හදවතින්ම සතුටු වෙනවා. ඒ අය මට කලින් ක්ෂේත‍්‍රයට ආපු අය. මේ ක්ෂේත‍්‍රයේ ගොඩක් අය අතර එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැ. කුහකකම් ඊර්ෂාව පිරිලා. ඒත් මනීෂා, කාවින්ද්‍යා අපි හරිම එකමුතුයි.

 

ඉදිරියේදී අලූත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?

ඔව්. දැනට වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම හඬකැවීම්වලට දායක වෙනවා. ලොකු කාලයක් වෙන්කරන්නේ කණාමැදිරියෝ ටෙලිනාට්‍ය සහ සිඳු ටෙලිනාට්‍ය එක්ක. නිර්මාණවලට ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් දායක වෙද්දී හොඳ තේරාබේරා ගැනීමක් කරනවා.

 

නදීශා අතුකෝරළ

හැඩගැන්වීම: ඉයන් සංජීව (සැලොන් සිත්රූ)

ඡායාරූප: චමත් වින්දුල

 

2018-10-01-ent-01