රංගනයට වඩා මම නිවේදනයට කැමතියි
අද "සාරවිට" තරු කතා බහ තුළින් ඔබ හමුවන්නේ අමාධි උපේක්ෂා දිනෙත්තිය. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වසර කිහිපයක් තිස්සේ කටයුතු කරන අමාධි මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවදින්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන "හිරු වියන" ගීතමය වැඩසටහන තුළිණි. මේ ඇය සිය කලා ජීවිතයට පැමිණි ආකාරය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අපට පැවසු දේ.
අමාධි ක්ෂේත්රයට එන්නේ?
මම නිවේදිකාවක් වුණේ පාසල් යන කාලේ. මම 5 වසරේ අධ්‍යාපනය ලබන කාලේ අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න. මම අවුරුදු 5ක කාලයක් පුරා ළමා නිවේදිකාවක් විදිහට ළමා ගුවන් විදුලියේ වැඩ කළා. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ ළමා පුවත් නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණා. දැන් සංගීත අංශයේ %හිරු වියන^ වැඩසටහන ඉදිරිපත් කරනවා.
පුංචි කාලේ ඉඳලා අමාධි නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ පාසල් යන අවදියෙත් අමාධිගේ හීනේ වෙලා තිබුණේ මේ පැත්තටද?
ඇත්තටම මේක මගේ හීනයක් කිව්වොත් නිවැරදියි. මගේ විතරක් නෙමෙයි මගේ අම්මාගෙත් හීනයක්. මන් පාසල් පළමු වැනි වසරට ඇතුලත් කරද්දි ඒ පිළිගැනීමේ උත්සවයේ ලොකු අක්කලා දෙනේනෙක් නිවේදන කටයුතු සිදු කළා. එදා ඉදන් තමයි මට ආස හිතුනේ මමත් මේ වගේ ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙනවා කවදාහරි කියලා. මම පාසලේ මාධ්‍යය ඒකකයේ සභාපතිත් වුණා. සමස්ථ ලංකා පාසල් නිවේදන අංශ තරග වලින් පළමු තැන ජයග්‍රහණය කළා. ඊට පස්සේ මගේ හීනේ හෙමින් හෙමින් සැබෑ වුණා. මම ගොඩක්ම සතුටු වුණා ජාතික රූපවාහිනියේ පළමු වරට සජිවිව වැඩසටහනක් ඉදිරිපත් කරන දවසේ.
දැනට අමාධි දායක වෙලා තියෙන වැඩසටහන් මොනවද?
කලින් මම ප්රවෘත්ති කිව්වා. ඊට පස්සේ සති අග ගී, ත්‍රී තාල් කියන සංගීත වැඩසටහන් කළා. දැන් කරන්නේ %හිරු වියන^ සංගීත වැඩසටහන.
වැඩසටහන් ඉදිරිපත් කරනවාට අමතරව තවත් අමතර කලා කටයුතු වලට දායක වෙලා ඉන්නවා?
මම දැනට ගොඩක් වෙළෙඳ දැන්විම් වල රඟපාලා තියෙනවා. ඉදිරියටත් මා රඟපෑ වෙළෙඳ දැන්විම් තියෙනවා විකාශය වෙන්න. ඊට අමතරව ගීත රූප රචනා වලටත් පෙනී ඉඳලා තියෙනවා. මෑතක ඉඳලා මට රඟපාන්නත් ආරාධනා ලැබුණා. ඒත්, මම හිතන්නේ මට රඟපානවාට වඩා හොඳට පුළුවන් නිවේදන කටයුතු. ඒ නිසා මම රංගනයට වඩා ඒ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
නිවේදනය පැත්තෙන් මොනවද ඉලක්ක?
මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාධ්‍යය සම්බන්ධව උපාධියක් හදාරනවා. එකෙන් ලබන දැනුමත් එක්ක මට ඕනා කරන්නේ සිංහල භාෂාව හරියටම හසුරවන දක්ෂ නිවේදිකාවක් වෙන්න. දැන් හැම නාලිකාවක ගොඩක් වැඩසටහන් ඉදිරිපත් කරන අය එනවා යනවා. නමුත්, වැඩසටහන් ඉදිරිපත් කළ පමණින් නිවේදකයෙක් හෝ නිවේදිකාවක් වෙන්න බැහැ. ඒකට මාධ්‍යය ගැන, භාෂාව හැසිරවීම ගැන දැනුමක් තියෙන්න අවශ්‍යයි.
නිවේදිකාවට අමතරව ඔබ රැකියාවක් නිතර වෙනවා?
ඔව්, දැනට මම නිවේදන කටයුතු වලට අමතරව ඇලරිස් පෞද්ගලික සමාගමේ වෙළෙඳ නාම විධායක විදිහට සේවය කරනවා.
උදව් කළ පිරිසකුත් ඇති?
මට ගොඩක් අය උදව් කළා. මුලින්ම මගේ අම්මා, තාත්තා දෙන්නා මගේ ළඟින් ඉඳගෙන ගොඩක් උදව් කළා. පාසල් යන කාලේ මගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනා සහ මගේ යහළුවෝ. විශේෂයෙන්ම මාව ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට මට මුලින්ම මට මාධ්‍යය දැනුම දුන්න SLBC එකේ ගාමිණි මිරින්නගේ සර් මතක් කරන්න ඕනා.
සටහන - බුද්ධික සේනාධීර / ඡායාරූප - ඉසුරු පෙරේරා