රංගනය ඉගෙන ගෙන ඉවර කරන්න බැරි දෙයක්
හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ‘ශ්‍යාම් ටීචර්’ ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින නිලුෂි පවන්යා සමගින් මෙවර අපි කතාබහ කළෙමු. කලා ක්ෂේත්රයට නවකයෙකු වුවද, ඇය නිරූපණයට, නර්තනයට මෙන්ම නිවේදනයටද දක්ෂයෙකි.
නැහැ, මම මුලින්ම රඟපෑවේ චිත්‍රපටයක. ඒ එරංග සේනාරත්න මහත්මයාගේ ‘නිලු මං ආදරේයි’ කියන චිත්‍රපටයේ. එහි මම සුරේෂ් ගමගේ සමග ප්‍රධාන චරිතය නිරූපණය කළා. මේ චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වුණේ. මම හිතනවා බොහෝ දුරට මේ චිත්‍රපටය මේ වසර අගදි ප්‍රදර්ශනය වේවි කියලා.
මුලින්ම ටෙලි නාට්‍යයකට කියලා සම්බන්ධ වුණේ එතකොට?
එරංග සේනාරත්න මහත්මයාගේම ‘ඉලන්දාරියා’ කියලා ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒ ටෙලි නාට්‍යයත් තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සේ තමයි ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ‘වෙස්’ නාට්‍යය අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නායකගේ ‘හේලි’ ටෙලි නාට්‍යයට මෑතකදී මම එකතු වුණා. එහි ප්‍රධාන චරිතයට තමයි මම සිදු කරන්නේ.
‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ‘ශ්‍යාම් ටීචර්’ කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තමයි මම ගොඩක් ආසාවෙන් කරපු චරිතයක් ඒක. මගේ හිතේ තිබුණ හීනයක් තමයි ගුරුවරියක් වෙන එක. ඒක ටෙලි නාට්‍යය රංගනයකින් හෝ සිදුවුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. රංගනයට එන්න කලින් වසර දෙකක කාලයක් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට කටයුතු කළා. ඒ ලැබුණ අත්දැකීම් එක්ක මේ චරිතය කරන්න මට පහසුවක් වුණා කිව්වොත් හරි.
කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඒක අහම්බයකින් ලැබුණ දෙයක්. රඟපාන්න තුන් හිතකවත් අදහසක් තිබුණේ නැහැ. දවසක් මට හමු වෙනවා සනෝජා බිබිලේ රංගන ශිල්පිනියව. ඇය තමයි මට යෝජනා කරන්නේ රංගනයට සම්බන්ධ වෙන්න කියලා. ඇය මාව මුණගස්සනවා එරංග සේනාරත්න නමැති අධ්යක්ෂවරයාට. ඊට පස්සේ තමයි ඔහුගේ ‘නිලු මං ආදරේයි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ.
ඔබට රඟපාන්න පුළුවන්ද?
පාසල් යන කාලේ ඉඳලා මම නර්තනයට ගොඩක් දක්ෂයි. ඊට පස්සේ විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබාගත්තාට පස්සේ නිරූපණය පැත්තට යොමු වුණා. නර්තනය, නිරූපණය කියන දේ ගොඩක් වැදගත් රඟපාන්න. නමුත්, මම රංගනය ගැන ඉගෙන ගත්තා. ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන්. ඊට අමතරව අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ කලායතනයට සම්බන්ධ වෙලා රංගනය ගැන ඉගෙන ගත්තා. මගේ රංගන හැකියාවන් දියුණ කරගන්න ප්‍රින්සි ෆර්නැන්ඩෝ ප්‍රවීණ රංගනවේදියාගෙන් ගොඩක් උදව් ලැබුණා. රංගනය කියන දේ පුළුල් දෙයක්. එය අද ඉගෙන ගෙන හෙට ඉවර කරන්න බැරි දෙයක්. හැමදාම රංගනය කියන දේ තුළ ඉගෙන ගන්න දේවල් තියෙනවා.
ඔබ නිවේදිකාවක් විදිහටත් අපි කාලයක් දුටුවා?
ඔව්, 206 වසරේ ඉඳලා 2018 මැදවන තෙක් මම ‘සියත’ ටීවි නාළිකාවේ ‘මියුසික් එක්ස්ප්‍රස්’ වැඩසටහන ඉදිරිපත් කළා. ඊට අමතරව තවත් නාළිකා කිහිපයකම මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කළා.
නවකයෙක් නිසා ක්ෂේත්රය ගැන බයක්, චකිතයක් තිබුණේ නැද්ද?
මම නිතරම හරිදේ කරන්න උත්සාහ කරන කෙනෙක් නිසා ක්ෂේත්රය ගැන තිබුණ මත ගැන මට බයක් තිබුණේ නැහැ. ගොඩක් අය කෙටි ක්‍රමවලින් ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා මම දකිනවා. නමුත්, ඔවුන් මේ ක්ෂේත්රය තුළ දීර්ඝ කාලීනව පැවැත්මක් නැහැ. මම මගේ ගමන හෙමින් යනවා. ඉක්මන් ගමන කෙටියි කියලා බොහෝ දෙනෙක් කියනවනේ. අනික ලැබෙන චරිත වුණත් මම භාරගන්නේ තෝරා බේරාගෙන.
සිනමාවටදඝ ටෙලි නාට්‍යවලටද? වඩා කැමති
සිනමාවට. නමුත්, ටෙලි නාට්‍යවලට කැමැත්තක් නැහැ කියන්නත් බැහැ. ඒ පැත්තටත් කැමැතියි. හැබැයි සිනමාවට වැඩිපුර දායක වෙන්න කැමතියි. මුලින්ම මම රඟපෑවෙත් සිනමා නිර්මාණයක. ඒ ලැබුණ අත්දැකිමුත් එක්ක සිනමාවට වැඩිපුර දායක වෙන්න මම තීරණය කළා. බොහෝ දුරට මාව ඉදිරියේදි සිනමාව තුළින් වැඩිපුර දකින්න ලැබේවි.
කලාව පැත්තට යොමු වුණාට පවුලේ අයගෙන් තහනමක් නැද්ද?
මුලින් නම් තිබුණා. තාත්තා, මගේ සහෝදරයා එක එක නීති දැම්මා. නමුත්, අම්මා තමයි හැමදේකටම මගේ පිටිපස්සෙන් හිටියේ. ඇත්තටම ඇය වගේ කෙනෙක් මගේ අම්මා වුණ එක මගේම වාසනාවක්. ඇයගේ ආශිර්වාදය නිතරම වගේ ලැබුණා. අ.පො.ස. උසස් පෙළ කළාට පස්සේ මම කලාව පැත්තට යොමු වෙනවා කියලා තීරණය කළා. මගේ අම්මා තමයි මාව ධෛර්මත් කළේ. අදටත් ඇය තමයි මගේ තනියට මේ හැමදේකටම මා සමග එන්නේ.