'යශෝධරා'වේ නන්දා කුමරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-09-ent-03

ප‍්‍රවේගය සිනමා නිර්මාණයෙන් උද්යෝගිමත් ගමනක් ඇරඹි උදාරි පෙරේරා ‘‘නෙලා’’ හරහා රංගනයේ ඵල නෙලා ගැනීමට උත්සුක වූවාය. ඉනික්බිතිව ‘‘සේයා’’ සමග සිනමාවේ සේයා මැවූ උදාරි මේ දිනවල සිනමා පේ‍්‍රක්ෂකයින් අතරට පැමිණ සිටින්නේ රංගනයේ අපූර්ත්වයක් රැුගෙනය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බිම්බා දේවි හෙවත් යශෝධරා චිත‍්‍රපටයේ නන්දා කුමරියගේ චරිතයට පණ පොවන්නී ඇයයි. යශෝධරාවන්ගේ හෙවනැල්ල මෙන් වූ යෙහෙළිය, සොයුරිය, ලබැඳිය වූ නන්දාගේ චරිතයට අපූරු ජීවයක් කවන උදාරි පෙරේරා යනු රංගනය විනෝදාංශයකට ගත් තැනැත්තියක නොවේ. ඇය ස්වකීය ජීවිතයේ මෙතෙක් ලද අත්දැකීම් සමග දැනුවත් ගමනක යෙදෙන ශිල්පිනියක බව පෙනී යයි.

මේ කතා බහ යශෝධරා හැඩ කරන නන්දා වූ උදාරි පෙරේරා සමගයි.

 

උදාරි, මේ දිනවල කොහොමද ලැබෙන ප‍්‍රතිචාර එහෙම?2018-05-09-ent-04

යශෝධරා චිත‍්‍රපටය තිරගතවීමට පටන් ගත්තෙ මේ අපේ‍්‍රල් 26 වැනිදා සිටයි. ඉතින් එදා සිට ලැබෙන ප‍්‍රතිචාර ඇත්තටම ඉහළයි. වෙසක් පොසොන් සමය දක්වාත්, ඉන් පසුවත් මේ යශෝධරා ගැන පේ‍්‍රක්ෂකයින් බොහෝ දේ කතා කරාවි. මේ දිනවල මටත් බොහෝ ප‍්‍රතිචාර ලැබෙන්නේ ඒ චිත‍්‍රපටය නිසයි. ඒ හැර මේ වසරේදී මා රඟපෑ චිත‍්‍රපට තුනක්ම තිරගත වීම ඇත්තටම ලොකු භාග්‍යයක්.

 

ඒ හැර ඔබ අතිශය කාර්යබහුලව සිටින්නේ කුමක් නිසාද?

අතිශය කාර්යබහුලව සිටින්නෙ රංගන කටයුතු නිසාම නොවෙයි. අනෙකුත් වෙළෙඳ ප‍්‍රචාරක කටයුතු වගේම විශේෂයෙන්ම ගෙදර වැඩ කටයුතු නිසා තමයි අතිශය කාර්යබහුල. පුතා දැන් මොන්ටිසෝරි යනවා. එයාගෙ කටයුතු එක්ක මවක ලෙස මගෙන් ඉටුවිය යුතු බොහෝ දේ තිබෙනවා. ඒ සියල්ල නිසා දවසේ කටයුතු හරිම කාර්යබහුලයි.

 

මීට පෙර ඔබ කටයුතු කළේ ගුවන් සේවිකාවක ලෙසයි. නමුත් දැන් රංගන ශිල්පිනියක්. රඟපෑමත් එක්ක කාර්යබහුල වූ මේ ජීවිතයට ද කැමති? එදා කළ ගුවන් සේවිකා රැකියාවටද?

ජීවිතයේ බොහෝ දේ කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ මොහොතේ කරන දේ එක්ක අපි බොහෝ විට හිතන්නෙ ඒ තමයි අපේ හොඳම කාලය කියලයි. මම බොහෝ විට කටයුතු කරන්නෙ එහෙමයි.

 

ඉදිරියේදී ජීවිතය හොඳම වෙන විදිය වෙනස් වේවිද?

ජීවිතය කියන්නේ හැමදාම ඉගෙන ගන්න, හැමදාම අත්දැකීම් ලබන දෙයක්. ඒ අත්දැකීම් එක්ක ප‍්‍රයෝජන ගනිමින් ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ. මගේ ජීවිතයේ දිනෙන් දින මම වාසනාවන්ත වුණා. දිනෙන් දින දියුණුවට පත් වුණා. ඉතින් තවත් දැනුම අරගෙන, අත්දැකීම් ලබාගෙන ජීවිතයට මුහුණ දේවි.

 

පුතා ඔබ රඟපානවාට කැමතිද?

එයා තවම පොඩියි. එතරම් තේරුමක් නැහැ. ඒත් එයා මාව රූපවාහිනියේ දකින්න ආසයි. එයාගේ ජීවිතයේ මම කැපී පෙනෙන චරිතයක්. මගේ වැඩ දිහා බලලා එයා හරියට සතුටු වන බව මට හැෙඟනවා.

 

යශෝධරා චිත‍්‍රපටය ගැන කතා කළොත් කොහොමද මේ චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ?

සුනිල් සර්ගෙ චිත‍්‍රපටයක රඟපෑමට මට තිබුණෙ ලොකු සිහිනයක්. එහි නළු නිළියන් තෝරා ගැනීමේ පෙරහුරුවට දායක වීමට මටත් අවස්ථාවක් ලැබුණා. ඇත්තටම පසුව මෙහි රඟපෑමට ලැබීම මගේ ජීවිතයේ සංධිස්ථානයක් බවට පත් වුණා.

 

මෙහි ඔබ රඟපාන්නේ ‘‘නන්දා’’ කුමරිය ලෙසයි. කොහොමද ඒ චරිතයට ප‍්‍රවේශ වුණේ?

මේ වගේ ඓතිහාසික කතා පුවත් රැුගත් චිත‍්‍රපටවල රඟපෑම එතරම් ලෙහෙසි නැහැ. අනෙක අපට හිතෙන විදියට අපේ හිතුමනාපයට රඟපාන්න බැහැ. ප‍්‍රධාන චරිතයට හානියක් නොවන විදියට සෙසු චරිත රඟපාන අය ඊට ලොකු තල්ලූවක් දිය යුතුයි. යශෝධරාවන්ට ළඟින්ම හිටපු කෙනා තමයි නන්දා කුමරිය. දුකේදී, සැපේදී, ස්වයංවරයේදී ඒ වගේම සිදුහත් හැරගිය මොහොතේදී පවා ඇය තනි නොකළ මිතුරිය ඇයයි. ඒ විදිය චරිතය වෙතින් ප‍්‍රකාශ කළ යුතුව තිබුණා.

 

සුනිල් සර් ඔබගෙ මේ චරිතය ගැන මොනවද කිව්වේ?

එයා බොහෝම සතුටු වුණා. මා ගැන විතරක් නෙවෙයි, මේ චිත‍්‍රපටයේ අනෙක් බොහෝ දෙනාගේ රඟපෑම් ගැන එතුමා පුදුම සතුටකින් සිටින වග මංගල දැක්ම දා එතුමගෙ මුහුණින් පෙනුණ දෙයක්.

 

යශෝධරා ලෙස රඟන පල්ලවි සහ ඔබ අතර වූ සිදුවීම් ගැන සිහිපත් කළොත්?

ඇත්තටම ඇය සුන්දර චරිතයක්. බොහෝ වචන කටපාඩම් කරලා එයාගේ ඇඳුම්වල පවා ලියාගෙන අලවාගෙන හිටියා. ඉතින් අපට හරිම හිනා. එයා ඒ තරමට කැප වුණා.

 

දැන් ඇය ලංකාවට ආවාම කොහොමද?

ස්තුතියි! ඒ වගේ වචන කතා කරනවා.

 

ඔබට එක් රාමුවක සිට ද රඟපෑම සඳහා චරිත තෝරා ගන්නෙ.

ඔව් කිව්වොත් නිවැරැදියි. ලෝකය දිහා විවෘත මනසකින් බලන කෙනෙක්. ඒත් මම ගතානුගතික ආසියාතික කාන්තාවක්. මා විසින්ම මට පනවා ගත් සීමාවක සිටයි මම රඟපාන්නේ.

 

අදට, මේ දක්වා උදාරි ජීවිතයේ ලබාගත් දැනුම එක්ක උදාරි ගැන කොහොමද හිතෙන්නේ?

මම සාමාන්‍ය කාන්තාවක්. පුතෙක් සිටින මවක්. ගෙවී ගිය ජීවිතයේ රටවල් පනහකට විතර සංචාරය කරන්න ලැබුණා. සමාජ විපර්යාසයන්, විවිධ සමාජ රටාවන්, විවිධ සංස්කෘතීන් දැකලා විඳලා තියෙනවා. නමුත් අපේ රටේ ජනතාවගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ වගේම පුතුන් ලබන්න තරම් වාසනාවන්ත මවක් වුණා. සියලූ අත්දැකීම් එක්ක මම මහ පොළොවේ පය ගහලා ජීවත් වන චරිතයක්. ලෝකයේ සංචාරය කරද්දී පැරිස් නගරයට, බර්ලින් නගරයට, රෝමයට, ෆ‍්‍රැන්ක්ෆර්ට් නගරයට ආසා වුණා. ඒත් මගේ ජීවිතයේ ගමනාන්තය මගේ ආදරණීය ලංකාවයි. මම මැරෙන්න ඕනෙ මගේ රටේදියි.

 

යශෝදරාවන්ට නන්ද කියූ දෙබස් අතරින් ඔබට හිතට තදින්ම කා වැදුණු අවස්ථාවක් ගැන සිිහිපත් කරමින් අපි මේ කතාබහ හමාර කරමු නේද?

”සාමාන්‍ය කාන්තාවෝ තමන්ගේ ස්වාමිපුරුෂයා ගැන හරිම ආත්මාර්ථකාමීයි. හැබැයි ඔබ එහෙම කෙනෙක් නෙවෙයි. ඔබ හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක්.”

 

හැඩගැන්වීම - හරූන් ෂයිඞීන්

ඇඳුම් නිර්මාණය - තිළිණ හෙට්ටිගේ

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2018-05-09-ent-01 2018-05-09-ent-02