යන්තම් නෝන්ඩි නොවී මම නටාගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-18-ent-128

හිමාලි... කොහොමද ජීවිතේ මේ දවස්වල වැඩ වැඩියි වගේ...?

ජීවිතේ හොඳයි... සතුටින් ගතකරනවා. මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක ෂූටිං තියෙනවා. ඒ දේවල්වලට යනවා. ඊට අමතරව මගේ චූටි දුවගේ වැඩකටයුතුත් එක්ක සුපුරුදු පරිදි දවස ගතකරනවා. ඒ දවස් හරි සුන්දරයි.

 

කියමුකෝ... ඉතින් කොහොමද දැන් චූටි දුව...?

2017-10-18-ent-130අම්මෝ... එයා හරිම හරි දඟ සුරතල් පැංචියෙක්. දුවගේ නම සෙනල්‍යා. දැන් එයාට වයස අවුරුදු හතරයි. එයා දැන් නර්සරි යනවා. නර්සරි ගිහින් ආවට පස්සේ ඉතින් අපේ දවස ගෙවෙන්නේ දුවගේ හුරතල්, දඟකාර වැඩත් එක්ක තමයි. හරියට පිරිමි දරුවන් වගේ දඟකාරකම් කරනවා.

 

දුව දන්නවානේ අම්මා රඟපානවා කියලා... කොහොමද ඒ ගැන දුවගේ තියෙන කැමැත්ත...?

ඔව්... එයා දන්නවා මම ටී.වී. එකේ ඉන්නවා එහෙම කියලා. නර්සරි ගිහින් ආවාමත් එයා සමහරදාට කියනවා “අම්මා ගැන යාළුවෝ ඇහුවා... අම්මා ගැන ටීචර්ලා ඇහුවා.* කියලත්. මම ටී.වී. එකේ අඬනවා දකිද්දී සමහරදාට මෙයත් අඬනවා. සමහරදාට ගෙදර ඉද්දී මෙයත් එක්ක ටී.වී. බලද්දී මම රඟපාද්දී අඬනවා දැක්කොත් මට තුරුල්වෙලා “අම්මා අඬන්න එපා... අම්මි ඇඬුවාහම මට දුකයි... අම්මිට ඇයි එයා බැන්නේ...* වගේ කතා කියනවා. ඉතින් හරිම පව් එයා.

 

ඉස්සර හිමාලි ආසාවෙන් හිටියේ නිළියක් වෙන්නද..?

අනේ නෑ... හිතේ කොතනකවත් ඒ කාලේ නිළියක් වෙන හීනයක්නම් තිබුණේ නෑ... මට ඕන වුණේ ගුරුවරියක් වෙන්නයි. ඒකට එක හේතුවක් තමයි මම හරි ආසාවෙන් හිටියේ හරි ලස්සනට, පිළිවෙළට සාරි අඳින්න. ඉතින් කාලයක් මම ගෙවල් ළඟ ළමයි කීපදෙනෙක්ට ටියුෂන් ක්ලාස් පවා කළා.

 

හිමාලි ඉගෙනගත්තු පාසැල ගැන කිව්වොත්...?

මුලින්ම මම ඉගෙනගන්නේ ශාන්ත අන්තෝනි විදුහලේ. ඊට පස්සේ මම නුගේගොඩ අනුලා බාලිකාවට ගියා. ඉස්කෝලේදී මම හරිම හරි නිහඬ චරිතයක්. කතාබහ හරිම අඩුයි. ඉස්කෝලේ යන කාලේදී එහෙම ප්‍රසිද්ධ චරිතයක් නෙමේ. හැබැයි අනුලාවේ ඉදිද්දී නිවේදන කටයුතුවලට ටික ටික හුරුවුණා. ඒවාට සම්බන්ධ වුණා. තිබුණු සබකෝලය ටිකින් ටික අයින් වුණා. ඉතින් ඒ කාලෙදි ගුවන්විදුලියේ ළමා පිටියේ නිවේදන කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා.

 

ඊට පස්සේ හිමාලිට අර පුංචි කාලේ දැකපු හීනය හැබෑ කරගන්න නේද...?

ඔය කියන්නේ සාරි ඇඳගෙන රස්සාවක් කරන්න දැකපු හීනයද...? ඔව්නේ... මම ඒ හීනය හැබෑ කරගත්තා. ඊට පස්සේ මම හරිම ආසාවෙන් හිටියේ සාරි ඇඳලා නිවේදිකාවක් වෙන්න. අන්තිමට මම ඒ හීනයත් හැබෑ කරගත්තා. කොහොමටත් බටහිර පන්නයට ඇඳලා නිවේදන කරනවාට වඩා මම හරිම ආසාවෙන් හිටියේ සාරි ඇඳලා නිවේදනය කරන්න. ඉතින් ජාතික රෑපවාහිනිය ඔස්සේ විකාශනය වුණු නුගසෙවණ වැඩසටහනින් ඒ අවස්ථාවක් උදාවුණා.

 

එතකොට නිවේදිකාවක් වෙලා හිටපු හිමාලි රංගන ශිල්පිනියක් වුණේ කොහොමද...?

ජාතික රෑපවාහිනියේ නුග සෙවණ නිවේදනය කරමින් ඉන්න කාලේදී මාව දැකපු නාලන් මෙන්ඩිස් මහතා මට ඔහු අධ්‍යක්ෂණය කළ “මම නෙවෙයි මං* කියන ටෙලිනාට්‍යයට කතා කළා. මුලින් ඒකට යන්න බයවුණත් නාලන් මෙන්ඩිස් මහතා වැනි අධ්‍යක්ෂකවරයෙකු යටතේ නිර්මාණයක් කරන්න තිබුණු ආසාව නිසාම මම ඒක බාරගත්තා. ඒ වෙනුවෙන් ඒ නිර්මාණයේ හිටපු හැමෝම මට උදව් කළා. හිතුවාටත් වඩා බොහෝදෙනෙක් ඒ ගැන කතා කළා. අන්තිමට නිවේදිකාවටත් වඩා රංගන ශිල්පිනිය මා තුළින් ඉස්මතු වුණා.

 

දැන් ඉතින් තරුණ පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේද...?

ආ... මම? ආ... ඔය කියන්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය ගැනනේ. ඔව්... අනේ... හැබැයි ටෙලිනාට්‍යයට මට කතා කරද්දී මම කිව්වේ ක්‍රිකට් ගහන පුතෙක්ගේ චරිතයක් කියලා... මාත් හිතුවේ මේ පොඩි වයසේ ක්‍රිකට් ගහන ළමයෙක් කියලයි. බැලින්නම් මේ මගේ උසට ඉන්න තරුණ පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. හැබැයි... දැන් නම් මම ඒකේ රඟපාන්නේ හරිම ආසාවෙන්.

 

ඔහොම හිටියට හිමාලි පහුගිය කාලේ හොඳ නැටිලි ටිකක් නැටුවා...?

අනේ... එහෙම කියනකොට බයත් හිතෙනවා නේද...? ඔය කියන්නේ හිරු මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහන ගැනනේ. මෙහෙමයි... කොහොමටත් මම හැමතිස්සේම අභියෝගවලට කැමති කෙනෙක්. ඉතින් මේ වැඩසටහනට කතා කරද්දී මම හිතුවේ මේකෙන් මාව නෝන්ඩි වේවිද කියලයි. අපේ ප්‍රධාන පුහුණුකරු වුණේ සංඛනේ. ඉතින්... ඔහු අපිට හොඳට පුහුණුවීම් කටයුතු කළා. ඒ වෙනුවෙන් අපි බොහෝ මහන්සි වුණා. නර්තනය කළා. අන්තිමේදී ඒ තරගාවලියෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණයත් කළා.

 

මොනවද ඊළඟට තිබෙන බලාපොරොත්තු...?

මම පොතක් ලියන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඉතින් චුට්ටක් ඒ ගැන හිතන්න ඕනේ. ඉතින් පොඩි විවේකයක් සොයාගෙන මගේ හිතේ තියෙන ඒ හීනයටත් මම කාලයක් හොයාගන්නවා. ඊට අමතරව හොඳ නිර්මාණවලට දායක වෙලා කාටවත් කරදරයක් නැතුව මේ යන සුපුරුදු ගමන යන්නත් ආසයි.

 

Text -Jayamali / Pic- Sumudu

 

 2017-10-18-ent-129