මේක මගේ ජීවිතේ මම ගත්තු හොඳම තිරණයක්
සිරස ‘ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගයේ අවසන් තරගකාරියන් අතරට එක්වු චතු රාජපක්ෂ සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස අපි ආරම්භ කළේමු. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක්ද වන චතු ටෙලි නාට්‍යය කිහිපයක් සඳහාද රංගනයෙන් දායක වී ඇත.
සිරස ‘ෆිල්ම් ස්ටාර්’ අවසන් තරගකාරියන් අතරට ඔබ ආවා?
ඔව් අවසන් පස් දෙනා අතරට මම ආවා. ඒක මම ලැබු ලොකුම ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. මොකද, මේ තරගයට අති විශාල පිරිසක් සහභාගි වෙලා හිටියා. ඉතින් ඔවුන් අතරින් අවසන් කිහිප දෙනා අතරට එකතු වෙන්න ලැබීම ලොකු දෙයක්. මේ තරගයේ ‘බේස්ට් ස්ක්‍රින්’ කිරුළ ලැබුණේ මට.
‘ෆිල්ම් ස්ටාර්’ එකෙන් පස්සේ?
ටෙලි නාට්‍යය හා චිත්‍රපට කිහිපයකටම ආරධනා ලැබිලා තියෙනවා. ඒවා තවමත් තියෙන්නේ සාකච්ඡා මට්ටමින්. ‘ෆිල්ම් ස්ටාර්’ උණුසුම යන්නත් කළින් තව වැඩකට යොමු වෙන්න මම හිතුවේ නැහැ. ටික දවසක් නිදහසේ ඉඳලා හොඳ නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි අදහස් කරමින් ඉන්නේ
මේ වගේ රියලටි වැඩසටහනකට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
‘ෆිල්ම් ස්ටාර්’ රියලටි වැඩසටහන මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කළා කිව්වොත් නිවැරදියි. මගේ සියලු දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් මේ හරහා ලැබුණා මට. ඒ නිසා ‘ෆිල්ම් ස්ටාර්’ එකට සම්බන්ධ වුණ එක ගැන මට පසුතැවීමක් නැහැ. ඒක මම ගත්තු හොඳ තිරණයක් කියලයි මට හිතෙන්නේ.
සිරස නාලිකාව තුළින් ඔබලාට මොන වගේ සහයෝගයක් ඉදිරියේදී ලබා දෙයිද?
නිශ්චිතවම කියන්න බැහැ. නමුත්, මම දන්න විදිහට විදිහට සිරස රූපවාහිනි නාලිකාව අපිට හොඳ තැනක් හදලා දෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මොකද, සිරස නාලිකාව කරපු අනෙකුත් රියලටි තරගවලදී එහි ජයග්රහකයන්ට ක්ෂේත්රය තුළ ලොකු තැනක් හදලා දුන්නා. මම හිතනවා ඔවුන්ගේ හොද කලා නිර්මාණවලට අපිවත් සම්බන්ධ කරගනියි කියලා.
ඔබ මේ තරගයට එන්න කළිනුත් විවිධ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවා?
ඔව්, සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘රතුපිච්ච’ නාට්‍යයේ මම රඟපෑවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම වල හා ගීත රූප රචනා බොහෝමයකට පෙනි ඉඳලා තියෙනවා. ගොඩක් වෙලාවට නිරූපණ කටයුතුත් එක් තමා කාලය ගෙව්වේ මම.
බුද්ධික සේනාධීර