මේක තරුණියකට වැඩ කරන්න පුළුවන් හොඳම ක්ෂේත්‍රයක්
වෙළෙඳ දැන්වීම් වල හා ගීත රූප රචනාවල නිතර දකින මිතු තෙන්නකෝන් සමගින් මෙවර අපි කතා බහා කළේමු. මේ වනවිට විවිධ කලා නිර්මාණ රැසකටම සිය දායකත්වය සපයා ඇති මිතු ඉදිරියේදී ඒ හරහා ප්‍රේක්ෂක ඔබට දැකබලා ගත හැකි වේ.
ඔබව අපි ඉදිරියේදී දකින්න ලැබෙන අලුත් නිර්මාණ මොනවද?
කරපු වැඩ කිහිපයක්ම එන්න තියෙනවා. පසුගිය කාලේ එක දිගට විවිධ කලා නිර්මාණවලට සම්බන්ධ වුණා. මේ දිනවල ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී එළි දක්වන්න නියමිත වෙලා තියෙනවා.
ක්ෂේත්‍රයට ආපු හැටි මතක් කළොත්?
2016 වසරේ තමයි නිරූපණය ක්ෂේත්‍රයට මම එන්නේ. නික් ජයමාන්න සර්ගේ නිරූපණ ඇකඩමියට සම්බන්ධ වෙලා මුලින්ම නිරූපණය ගැන හැදෑරුවා. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මුල් කාලයේ ගොඩක්ම කළේ මනාලියක් ලෙස සම්බන්ධ වෙලා කරන වැඩවලට. ක්ෂේත්‍රය තුළ යම් පිරිසක් අඳුන ගැනීමත් සමග ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
ක්ෂේත්‍රයට ඇවිල්ලත් දැන් කාලයක් වෙනවා නේද?
ඔව්, මම නිරූපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නම් තාම වැඩි කාලයක් නැහැ. කොටින්ම කිව්වොත් වැඩවලට දායක වෙලා තියෙන්නෙත් ගොඩක් අඩුවෙන්. ඒකට හේතුව තමයි මම නිරූපණ වැඩ භාර ගන්නේ ගොඩක් හිතලා මතලා තෝරා බේරා ගෙන.
කෙටි ක්‍රමවලින් බොහෝ දෙනෙක් ඉක්මණට ජනප්‍රිය වෙන්න හදනවා. ඔබත් එහෙමද?
නැහැ. මම එදත්, අදත් මගේ ගමන බොහෝම හෙමින්. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඉතින් මට අවශ්‍ය නැහැ. එහෙම වෙන්න. මගේ ගමන අදටත් බොහෝම හෙමින් සිද්ධ වෙන්නේ.
නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොයි වගේද?
මට නම් හොඳ පිළිගැනීමක් තියෙනවා. නමුත්, මම දන්නේ නැහැ නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න හැමෝටම ඒ පිළිගැනීම තියෙනවාද කියලා. හොඳ දෙයක් කළොත් හොඳ පිළිගැනීමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ.
මේක වෘත්තියක් විදිහට කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්ද?
තරුණියකට වැඩ කරන්න පුළුවන් හොඳම ක්ෂේත්‍රයක් විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රය මා දකින්නේ. නමුත්, ක්ෂේත්‍රය තුළ සිදුවෙන සිදුවිම් එක්ක ගොඩ දෙනෙක්ට මේ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ කලකිරිමක්.
ක්ෂේත්‍රය තුළ දිගටම රැදෙන්නද අදහස?
ක්ෂේත්‍රය තුළ දිගටම රැදෙන්නවාද නැද්ද කියලා කාලය තිරණය කරයි. දැනට නම් මගේ කැමැත්ත නිරූපිකාවක් විදිහට වැඩ කරන්න. ක්ෂේත්‍රයට ඇවිල්ලා වසර දෙකක කාලයක් වුණත් මම කරලා තියෙන වැඩ ගත්තොත් බොහෝම සුලු ප්‍රමාණයයි. මගේ දායකත්වය මම ලබා දෙන්නේ හොඳ නිර්මාණවලට විතරයි..
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්