මේ හැමදේටම මම ගොඩක් ආදරෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-894

හඬකැවීම් ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත‍්‍රට පැමිණ මේ වන විට රංගනය, ගායනය, නිවේදනය ආදී ක්ෂේත‍්‍ර‍්‍ර ගණනාවකම පෙළහැර පාමින් ඉදිරියට යන කලාකාරිනියක් මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා. ඇය නමින් පූර්ණිමා විදේශිකා. මේ කතාබහ ඇය සමග.

 

පූර්ණිමා මුලින්ම කලා ක්ෂේත‍්‍රයට එන්නේ කොහොමද?

මම මුලින්ම ක්ෂේත‍්‍රයට එන්නෙ මුතුහර වැඩසටහන හරහා. ඒ වෙද්දි මට අවුරුදු 13 ක් වගේ ඇති. මුලින්ම ළමා නිවේදිකාවක් විදියට සම්බන්ධ වුණේ. ඉන්පසුව තරුණ අවධියට ආවම හඬකැවීම් ශිල්පිනියක් විදිහට තමයි මුලින්ම ක්ෂේත‍්‍රයට එකතු වුණේ. සිරස නාළිකාවේ විකාශය වුණු පේ‍්‍රම දඩයම හරහා තමයි මුලින්ම එකතු වුණේ. ඒ හරහා තමයි මගේ ජීවිතේට නැවතත් වටිනාකමක් ලැබුණෙ.2019-09-17-ent-892

 

පේ‍්‍රම දඩයමේ ඔබ ශිවන්යාට හඬකැව්වේ ඒ එහි ප‍්‍රධාන චරිතය. ඔබේ පළමු හඬකැවීම, ඉතින් එවැනි චරිතයකට හඬදෙන්න බයක් හිතුණේ නැද්ද?

ඇත්තටම මම හඬකැවීම් කියන දේ වචනෙවත් හරියට දැනගෙන හිටියෙ නෑ. පුංචි කලෙ අපි රූපවාහිනියෙ චංගුමී, දිරිය දියණි වගේ නාට්‍ය බැලූවා. පාසල් කාලේ ඒවාට අපි වහ වැටිලා හිටියෙ. මට මතකයි අපි පාසල් ගිහින් ගෙදර දුවගෙන එන්නෙ මේ කතා බලන්න. ඒ කාලෙදි අපිට දැනෙන්නෙ නෑ මේ කතා මිනිස්සු හඬකවලා කියලා. එච්චරටම ඒ චරිත දැනිලා තිබුණේ. ඉතින් මට ශිවන්යා චරිතයට කතා කළාම මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. නමුත් කටහඬ පරීක්ෂණයට කතා කළා. මම ඒ වෙනුවෙන් සම්බන්ධ වුණාම මට ඒ රූපය සහ තොල් හසුරුවන විදියටත් ඒ හැඟීම් නිරූපණයටත් මගේ කටහඬ සෙට් වුණා. මුල් කාලෙදි නම් ගොඩක් අමාරු වුණා ඇත්තටම. මම අඬන තත්ත්වෙට පත්වෙලා හිටියේ. එක කොටසක් හඬකවනවා කියන්නෙත් ලොකු අමාරු වැඩක්. නමුත් ටිකින් ටික හරි ගියා ඒ නාට්‍යය බොහෝ දෙනෙක් අතරට ගියා. ඉන්පසුව තමයි හඬකැවීම් ශිල්පිනියක් විදියට මාව මිනිස්සු අතරට ගියේ. ඒක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ.

 

එතැනින් පසුව ඔබේ හඬකැවීම් කටයුතු?

ඇත්තටම ඉන්පසුව මට නිර්මාණ කිහිපයකම හඬකෑවීම් කරන්න අවස්ථාව ලැබුණා. රූපවාහිනියේ හඬකැවීම් කරන්න ලැබෙනවා කියන්නේ දුර්ලභ අවස්ථාවක්. නමුත් මට රූපවාහිනියේ ‘‘කිරිල්ලියෝ්’’ කියන කතාවෙ ‘‘ඇන්ඩි’’ නම් ප‍්‍රධාන චරිතයටම හඬකැවීම් කරන්න අවස්ථාව ලැබුණා. ඒකත් වෙනම අත්දැකීමක්. ඒ වගේම දෙරණ නාළිකාවේ, හිරු නාළිකාවේ විකාශය වන නාට්‍යවලත් කාටුන්වලටත් හඬකැවීම් කටයුතු මේ වේද්දි කරගෙන යනවා.

 

පූර්ණිමා රංගන ක්ෂේත‍්‍රයටත් මෑතකදි අවතීර්ණ වුණා නේද?

ඔව්. මම රාවණා ටෙලිනාට්‍යයේ චරිතයක් කළා. ඒ දුනු විදින චරිතයක්. මම විශ්වවිද්‍යාලයේ ටයිකොන්ඩො කළා ටික කාලයක්. එහි ඡුායාරූප ටිකක් දැකලා තමයි මට කතා කළේ. ඇත්තටම ඒ චරිතය මට ත‍්‍රාසජනක අත්දැකීමක් වුණා. මොකද ගස් උඩ නගින්න එහෙම තිබුණා. ඉතින් අත් පා තුවාල වෙලා, වැටිලා ගොඩක් ප‍්‍රශ්න වුණා මේ චරිතය කරද්දි. මම පාසලේ ගොඩක් ක‍්‍රීඩා එහෙම කරලා තියනවා. ඒ නිසා මේ දේවල් ලොකු ප‍්‍රශ්නයක් වුණේ නෑ.

 

ඉතිහාසගත චරිතයකට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මොකද ලංකාවේ එවැනි චරිත කෙරෙන්නේ නැහැ. හරි අඩුවෙන් කෙරෙන්නේ. ඉතින් ඇත්තටම එවැනි චරිතයකට සම්බන්ධ වෙන්නට ලැබීම ලොකු අවස්ථාවක්.

 

ත‍්‍රාසජනක චරිතයක් කරන්න ගත්තේ පූර්ණිමා පාසලේ දැක්වු ක‍්‍රීඩා කුසලතාවත් ප‍්‍රයෝජනයට අරගෙනද?

ඔව්. ඇත්තටම මම පාසලේ ක‍්‍රීඩා ගොඩක් කළා. ඒ වගෙන් ජයග‍්‍රහණ ලබාගත්තා ජාත්‍යන්තර මට්ටමෙන් පවා. ජිම්නාස්ටික් තමයි විශේෂයෙන් කළේ. ඒ තුළින් මුළු දිවයිනෙන්ම විශිෂ්ඨ ජයග‍්‍රහණ 3 ක් ලබාගත්තා. ඒවත් ඇත්තටම රංගනයට එකතු කරගන්න මට අවස්ථාව ලැබුුණා. ඉදිරියේදීත් රාවණා දෙවැනි කොටසත් එක්ක මට එකතුවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

 

මීට පෙර ඔබ රංගනයේ යෙදිලා නැද්ද?

මීට පෙර කෙටි චිත‍්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. පාසල් කාලේ වේදිකා නාට්‍යක් කළා සොක‍්‍රටීස් කියලා. ජයලත් මනෝරත්න සර් තමයි එහි ප‍්‍රධානව හිටියේ. මම ඒ නාට්‍යයේ පොඩිම කෙනා විදියට ඒ කාලෙදි ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා වේදිකා නාට්‍යක. ඒ තමයි මගේ මුල්ම අත්දැකීම එතැනින් පසුවත් පොඩි පොඩි වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා.

 

පූර්ණිමාට ගීත ගායනා කරන්නත් පුළුවන්ද?

ඔව්. ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා. වෙළෙඳ දැන්වීමකටත් මම ගීතයක් ගායනා කළා මෑතකදී. ඒ වගේම මගේම ගීතයක් ගායනා කළා ‘‘නුඹයි සරා ස්වප්නේ’’ නමින්. ඒ වෙනුවෙන් රූප රචනයක් මේ වෙද්දි සූදානම් කරගෙන යනවා. බොහොම ඉක්මනට එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

රංගනය, නිවේදනය, හඬකැවීම්, ගායනය ආදී සියල්ලටම දක්ෂතා දක්වන ඔබේ තව තියෙන දක්ෂතා මොනවද?

මේ හැමදේටම මම ගොඩක් ආදරෙයි. නමුත් ඊටත් වඩා මම මුල්තැන දේන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. මම තවම ඉගෙන ගන්නවා. මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂ උපාධියක් කරන්නේ. විශ්වවිද්‍යාලයේ තෙවන වසරෙ ඉගෙන ගන්නේ. ඒ අතරෙ තමයි කලා කටයුතු කරගෙන යන්නේ.

 

ධනු විජේරත්න

ඡායාරූප: යොහාන් සූරියආරච්චි

 

2019-09-17-ent-891  2019-09-17-ent-893