මේ හැම දෙයක්ම කරන්නේ 'පාර්ට් ටයිම්' ජොබ් එකක් විදිහට
නිමාවූ 2017 වසරේ ‘විවාහක ශ්‍රී ලංකා රූ රැජින’ කිරුළ දිනාගත් ශෙනාලි පෙරේරා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙලෙස ඇරඹුවෙමු. වර්තමානය වන විට ප්රවෘත්ති නිවේදිකාවක ලෙසද කටයුතු කරන ශෙනාල් දකුණු අප්‍රිකාවේ පැවති ‘විවාහක ලෝක රූපරාජිනිය’ තරගාවලිය සඳහාද පසුගිය දෙසැම්බරයේදී එක් විය.
මෙවර ‘විවාහක ශ්‍රී ලංකා රූ රැජින’ ඔබයි?
ඔව්, මේක මගේ පළමු රූපරාජිනී තරගයයි. ගොඩක් ආසාවෙන් තමයි ජැනට් එකට ඉදිරිපත් වුණේ. පළමු තරගයෙන්ම විවාහක රූපරාජිනිය ලෙස තේරෙයි කියලා නම් හිතුවේ නැහැ. ‘මිස් බොඩි බියුටි’ සහ ‘මිස් ෆොටෝ ජෙනික්’ කියන අවස්ථා දෙකත් සමගින් මම මෙහි ජයග්‍රහිකාව බවට පත් වුණා.
මේ තරගයට සහභාගි වෙන්න ඔබ හිතුවේ?
ඇත්තටම මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා ‘මිස් ශ්‍රී ලංකා’ තරගයකට සහභාගි වෙන්න. විශේෂයෙන් ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න. නමුත් මට ඒකට මගේ විවාහයත් සමග හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මගේ සැමියා සහ ගෙදර අයගේ මගපෙන්වීම යටතේ තමයි මේකට සහභාගි වෙන්නේ.
ඔබ ‘ලෝක විවාහක රූරාජිනි’ තරගයටත් ඔබ ඉදිරිපත් වුණා?
ඔව්, රෝසි සේනානායක මහත්මිය හා නර්මදා යපා අබේරත්න සහභාගි වුණාට පස්සේ තමයි ලංකාවෙන් තරගකාරියක් මෙහෙම ‘ලෝක විවාහක රූරාජිනී’ තරගයට ඉදිරිපත් වුණේ. තරගය තිබුණේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ. රටවල් 38ක් නියෝජනය කරමින් මේ තරගාවලියට තරගකාරියන් සහභාගි වුණා. මෙහි තරගකාරියන් 15 දෙනෙකු ‘බෙස්ට් ප්රසනල්ටි’ කියලා තෝර ගන්නවා. ඉන් කෙනෙක් වෙන්න මට පුළුවන්කම ලැබුණා.
ශෙනාලි කියන්නේ නිරූපිකාවක්ද?
නැහැ. නමුත්, මම ඉඳලා හිටලා නිරූපණ කටයුතු කරනවා. විශේෂයෙන්ම මනාලියන් දැක්ම සඳහා ඉදිරිපත් වෙනවා. ඒ වගේම මනාලියන්ගේ ඇඳුම් විලාසිතාවලින් පෙනී ඉන්න පෝටෝ ෂූට් වගේ දේවල්වලටත් මම පෙනී ඉන්නවා.
ඔබ ප්රවෘත්ති නිවේදිකාවක විදිහටත් දැන් කටයුතු කරනවා නේද?
ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක විදිහටත් මම දැන් වැඩ කරනවා. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම දායක වෙලා තියෙනවා. රඟපාන්න නම් ආරාධනා කිහිපයක් ආවා. නමුත්, ඒවාට සම්බන්ධ වෙනවද නැද්ද කියලා තවම තීරණයක් නැහැ.
නිරූපණයට ද? නිවේදනයට ද? ඔබ වඩාත් කැමති?
දෙකටම. නමුත්, ලොකුවට ඒ වෘත්තින් දෙකම මම කරන්නේ නැහැ. ෆාට් ටයිම් ජොබ් විදිහට තමයි මේ හැම වැඩක්ම කරන්නේ. මම දැන් මවක්. ඉතින් පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුවලට තමයි මම මුල්තැන දෙන්නේ. නිරූපණ වැඩ ඉතින් තියෙන කාලය අනුව මම තෝරගෙන කරනවා.
උදවු කළ පිරිසකුත් ඇති?
ඔව් විශේෂයෙන් මගේ සැමියා මට මේ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා. එතකොට අම්මා තාත්තා ඇතුළු ගෙදර හැම දෙනාම උදවු කරනවා. මගේ යාළුවෝ, මට මේ ක්ෂේත්රයට එන්න අත දුන් වාසනා දන්තනාරායන මිස්, රසික සර්, දේදුණු මිස්, සමන්ත ගුණසේකර සර්, ජොනී ගුණසේකර, ශනික, මලීෂා, ඇතුළු මට උදවු කරපු හැමදෙනාටම මම ස්තුති කරනවා.
බුද්ධික සේනාධීර