මේ යන රැල්ල අපිට එකපාර වෙනස් කරන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-04-ent-109

‘සඳ රැල්ල’ හා ‘දුර යායේ’ ගීත හරහා ජනප්‍රිය වූ තනුජා ගේහාගොඩ මෑත කාලයේ තරුණ පරපුර අතර ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනියකි. දැනට ගීත කිහිපයක්ම ගායනා කර ඇති ඇය ඉදිරි කාලයේදී ගීත බොහෝමයක් සිය ආදරණිය රසික, රසිකාවියන්ට තිළිණ කිරිමට සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ඇය සමග කළ කතාබහයි.

 

තනුජා මෑතකදී අලුත් නිර්මාණයක් කළා නේද?2019-02-04-ent-111

ඔව්, ‘මැෂප්’ ගීතයක් කළා. ‘යු ටියුබ්’ ප්‍රචාරක වැඩ කිහිපයක් කළා. මේ දිනවල ‘මැෂප්’ ගිතයට මියුසික් විඩියෝ එකක් කරන්න සූදානමින් ඉන්නවා.

 

දැනට කරලා තියෙන ගී නිර්මාණ කොපමණද?

හයක් විතර කරලා තියෙනවා. ඒ අතරින් ‘සඳ රැල්ල’ හා ‘දුර යායේ’ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ‘මැෂප්’ ගීතයට පස්සේ තවත් ගීත කිහිපයක් මගේ එන්න තියෙනවා.

 

වැඩිපුර නිර්මාණ කරන්නේ නැත්තේ ඇයි?

මට බලෙන් මිනිස්සුන්ගේ මතකයේ රැඳිලා ඉන්න ගායිකාවක් වෙන්න අවශ්‍ය නැහැ. එක ළඟ ගොඩක් නිර්මාණ කරලා බලෙන් මිනිස්සුන්ට ඒ ගීත අහන්න දෙන්න මම කැමති නැහැ. හොඳ ගුණාත්මක නිර්මාණයක් එක්ක හැමදාටම ශ්‍රාවකයන්ගේ මතකයේ රැඳෙන ආදරණිය ගායිකාවක් වෙන්න තමයි මම කැමති.

 

ගායිකාවක් විදිහට අද ඉන්න තැන මොකද හිතෙන්නේ?

මුලින්ම කියන්න ඕනා මම ගොඩක් ලොකු ගායිකාවක් නොවෙයි. ඒ වගේම වේගයෙන් ගමනක් යනවට වඩා අර්ථවත්ව මේ යන ගමන ගැන මට ගොඩක් සතුටුයි.

 

ඉදිරි නිර්මාණ මොන වගේ වෙයිද?

එකිනෙකට වෙනස් නිර්මාණ කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. මේ දිනවල අලුතෙන් කරන නිර්මාණ ගැන ගොඩක් අධ්‍යයනය කරමින් ඉන්නවා.

 

හැම නිර්මාණයකටම රූප රචනාවක් කරන්නද අදහස?

අද තියෙන තත්ත්වයත් එක්ක හැම දෙනාම ගීත රූප රචනාවක් කරන්න අවශ්‍යයි කියන තැන ඉන්නවා. ගීත රූප රචනාවක් නැත්නම් ජනප්‍රිය වෙන්නේ නැ කියන තැනත් සමහරු ඉන්නවා. එක පැත්තකින් මේ යන රැල්ලත් එක්ක ඒක ඇත්ත. නමුත්, අපිට ඇහුණ හා දැනටත් ඇහෙන අපි හැමදාම හිත්වල තියෙන අපේ ගායික, ගායිකාවන්ගේ ගීත ජනප්‍රිය වුණේ ගීත රූප රචනා කරලා නෙමෙයි. මේ හැම දේම රැදිලා තියෙන්නේ හැකියාව සහ වාසනාව මත. මේ යන රැල්ල අපිට එකපාර වෙනස් කරන්න අමාරුයි.

 

ඔබ නිර්මාණවලට උදව් කරන පිරිසක් ඉන්නවා?

මගේ පවුලේ සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා මේ අවස්ථාවේදී. මොකද, ඔවුන්ගෙන් ලැබෙන සහය නැත්නම් මට මේ තරම් දුරක් ගායිකාවක් විදිහට එන්න බැහැ. ඊට අමතරව තවත් ලොකු පිරිසක් මට උදව් කරලා තියෙනවා. නම් වශයෙන් කියනවාට වඩා පොදුවේ මට වචනයකින් හරි උදව් කරපු හැම කෙනාවම මේ වෙලාවේදී මතක් කරනවා.

 

 2019-02-04-ent-110