මේ ක්ෂේත්‍ර වෘත්තියක් විදිහට කරන්න බැහැ
බොහෝ දෙනෙකු ෂනාලි වීරසිංහ හඳුනන්නේ නිරූපිකාවක් විදිහට. නමුත්, වර්තමානයේ ඇය රංගනයට යොමුව සිටියි. සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ "සල් සපුනා" ටෙලි නාට්‍යයේ "ආලියා" චරිතය ඇයගේ පළමු රංගනය වේ. මෙවර "සාරවිට" වෙබ් අඩවිය තුළ දිග හැරෙන්නේ ෂනාලි සමගින් අප කළ කතා බහයි.
ක්ෂේත්රයට ඔබගේ පැමිණිම සිදුවන්නේ අහම්බෙන්ද?
නැහැ, නිරූපණයට මගේ ලොකු කැමැත්තක් තිබුණා මට තෙරේන කාලේ ඉඳලා. ඒ හින්දාම තමයි මම රොසැන් ඩයස් මහත්මිය ගාව නිරූපණය පිළිබඳව හැදෑරිමක් කළේ. ඊට පස්සේ තමයි නිරූපණයට සම්බන්ධ වුණේ. පස්සේ මට අවස්ථාව ලැබුණා රූපවාහිනි නාලිකා කිහිපයක නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන්න. මෑතකදී තමයි මට රංගනයට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ %සල් සපුනා^ කියන ටෙලි නාට්‍යයට. නිරූපණය, නිවේදන හා රංගනය කියන ක්ෂේත්‍ර තුනක මම දැනට කටයුතු කරලා තියෙනවා. නමුත්, මගේ වැඩිපුර කැමැත්ත අදටත් තියෙන්නේ නිරූපණයට.
නිරූපිකාවක් වුණ ඔබ රංගන ශිල්පිනියක් විදිහට පරිවර්තනය වුණේ කොහොමද?
රංගන ශිල්පිනියක් විදිහට මාව මුලින්ම දැක්කේ "සල් සපුනා" ටෙලි නාට්‍යයේ "ආලියා" විදිහට. ඒ අවස්ථාව ලැබුණේ අහම්බෙන් තමයි මට ලැබුණේ. ඇත්තටම මම හිතනවා මම රංගන ශිල්පිනියක් විදිහට ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද, මම දායක වුණ පළමු ටෙලි නාට්‍යයේම මම රංගනයෙන් දායක වුණේ ප්‍රධාන චරිතයකට. නිරූපිකාවක් වෙන්න වගේම පොඩි කාලේ මගේ හිනයක් තිබුණා නිළියක් වෙන්නත්. මට රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි අවශ්‍ය වුණේ ජනප්‍රිය වෙන්නයි. මම හිතනවා අද මම යම් පිරිසක් අතර රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වෙලා තියෙනවා කියලා.
"සල් සපුනා" ටෙලි නාට්‍යයෙන් පසුව අපි ඔබ රංගන ක්ෂේත්රය තුළ දුටුවේ නැහැ. ඒ ඇයි?
මම රැකියාවක නිරත වෙන ගමන් තමයි රංගන කටයුතුවලට දායක වෙන්නේ. "සල් සපුනා" ටෙලි නාට්‍යයෙන් පස්සේ මම මෑතකදී තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. "ආලියා" චරිතය තුළින් මම ප්‍රේක්ෂකයන්ට සමිප වුණා වගේම දැනට මම දායක වෙලා ඉන්න ටෙලි නාට්‍යය ඉදිරිපත් කරන චරිතය හරහාත් ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගන්න පුළුවන් වේවි කියලා. බොහෝ විට මේ කරපු නිර්මාණයෙන් පස්සේ මාව යළිත් වරක් රංගන ක්ෂේත්රය තුළ දකින්නට නොලැබේවි.
වෘත්තියක් විදිහට මේ ක්ෂේත්රවල රැඳිලා ඉන්න අදහසක් නැද්ද?
රංගනයත්, නිරූපනයත්, නිවේදනයත් වෘත්තියක් විදිහට කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අද තියෙන සමාජ වතාවරණයත් එක්ක මේ ක්ෂේත්‍ර වෘත්තියක් විදිහට කරන්න අමාරුයි. මොකද, අලුත් අලුත් මුහුණ එනවා මේ ක්ෂේත්රවලට. ඒ එන අලුත් අය ප්‍රසිද්ධ වෙන්න බලාගෙන ඔවුන්ගේ දායකත්වය නොමිලේ නිර්මාණවලට ලබා දෙනවා. නමුත්, මට එහෙම නොමිලේ මගේ දායකත්වය දෙන්න බැහැ. මොකද, මුදල් මත අද බොහෝ දේවල් රැඳිලා තියෙන්නේ. මුදල් නැතිව අපිට මුකුත් කරන්න බැහැ. කලාව විකුණනවා කියන අදහස නෙමෙයි මම මේ කියන්නේ. අපි අපිට වටිනාකමක් දෙන්න ඕනි. කිසිම දෙයක් නොමිලේ කරන කොට ඇත්තටම ඒක කිසි අගයක් නැහැ.
නිරූපිකාවක් විදිහට ඔබ ආ ගමන් මඟ තුළ අමතක නොවන සිදුවිම් තියෙනවාද?
ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන සිදුවිම තමා මට පැජන්ට් කිහිපයකටම ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. 2014 වසරේ %ෆැෂන් එෂියා එවොඩ්ස්^ අවසන් තිදෙනා අතරට පැමිණියා. ඒ වසරේම තිබුණ %ටොප් මොඩල් ඔෆ් වර්ල්ඩ්^ තරගයේ අවසන් 12 දෙනා අතරට ආවා. 2015 වසරේ තිබුණ %මිස් ශ්‍රී ලංකා හා මිස් අර්ත්^ තරගයේ අවසන් පස් දෙනා අතරට තේරුණා. 2016 වසරේ %මිස් ශ්‍රී ලංකා හා මිස් ග්ලොබල් ක්වීන්^ ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොරියාවේ පැවැති තරගාවලියට සහභාගි වුණා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්