මේ අවුරුද්දේ නම් රංගනයට ගොඩක් ආරාධනා ලැබුණා
සෙව්වන්දි කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. සෙව්වන්දිගේ වැඩිමහල් සහෝදරියත් බාල සහෝදරියත් දෙදෙනාම නිරූපණ ශිල්පිනියන්. ඒ වගේම ගොඩක් අය මේ තුන් දෙනාව හඳුන්වන්නේ 'ත්‍රී සිස්ටර්ස්' කියලා. නිරූපණයෙන් ක්ෂේත්රයේ රැඳී සිටින්න බලාපොරොත්තුවෙන් ඉන්න සෙව්වන්දිව සාරවිට කතාබහකට අපි එකතු කරගන්න හිතුවා.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම සෙව්වන්දි හිටිබණ්ඩාර. මගේ ගම මහනුවර. ඒත් දැන් නම් ඉන්නේ රාජගිරියේ. මම නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ කරනවා. ඒ වගේම සංගීතය පැත්තෙනුත් අධ්‍යාපනය හදාරනවා.
ඔබේ පවුල් පසුබිම කලාවට සම්බන්ධයිද?
මගේ අක්කයි, නංගි දෙන්නම නිරූපණ ක්ෂේත්රයේ නිරත වනවා. අක්කා නිවේදිකාවක් ලෙසත් වැඩ කටයුතු කරනවා. අක්කා තමයි මුලින්ම ක්ෂේත්රයට එකතු වෙන්නේ. ඊටපස්සේ නංගි. අන්තිමට තමයි මම ෆීල්ඩ් එකට එන්නේ.
ක්ෂේත්රයට සම්බන්ධ වෙලා කොච්චර කල්ද?
දැන් අවුරුදු තුනක් විතර.
දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මුලින්ම එන්නේ බ්‍රයිඩ්ල් මොඩ්ලර් කෙනෙක් විදිහටයි. ඊටපස්සේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණා. මම වැඩියෙන්ම කරන්නේ සංගීතය පැත්ත තමයි.
සංගීතය පැත්තත් කතා කරමුද?
ඔව්. මම විශාරද විභාගයට සූදානම් වෙමින් ඉන්නේ. මගේම කියලා ගීත නිර්මාණ නම් තවම කරලා නැහැ. ඒත් අක්කයි, මමයි, නංගී එකතු වෙලා කවර් නිර්මාණ කරනවා.
පහුගිය කාලේ ඔයාලගේ කවර් එකක් අතිශයින් ජනප්‍රිය වුණා නේද?
ඔව්. ඔබ ඇපල් මලක් වාගේ ගීතය අපි කවර වර්ෂන් එකක් කළා. ඒක ගොඩක් වයිරල් වුණා. ඉතා කෙටි කාලයකින් මිලියනයක් ඒ ගීතය බලලා තිබුණා. ඒ ගැන පත්තරයක ආර්ටිකල් එකක් පවා ගියා.
අක්කයි නංගී දෙන්නම ෆීල්ඩ් එක නියෝජන කිරීම ගැන මොකද හිතෙන්නේ?
මායි නංගි දෙන්නම ෆීල්ඩ් එකට එන්නේ අක්කා නිසයි. ෆීල්ඩ් එකේ කොහොමද ඉන්නේ, තැනකට ගිහින් හැසිරෙන්නේ කොහොමද කියලා හැමදේම ඉගෙනගත්තේ අක්කාගෙන්. අක්කගෙනුයි නංගිගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මයි, තාත්තයි, අක්කයි, නංගි, අයියයි ලොකු සහයෝගයක් ලබා දෙනවා. තාත්තා නම් මේ දවස්වල ටිකක් අසනීපයෙන් ඉන්නේ. ඒත් එයාගේ වචනෙන් හරි ආශිර්වාදයක් ලැබෙනවා.
පවුලේ ගැහැණු ළමයි තුන්දෙනෙක්ම නිරූපණයට ආපු එකට ගෙදරින් ගැටළුවක් වුණේ නැද්ද?
නැහැ. අපි බ්‍රයිඩල් මොඩ්ලින් පැත්තෙන් තමයි ක්ෂේත්රයට ආවේ. ඒ පැත්තෙන් ආවාම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තුන් දෙනාම එකම තැනක ඉන්න එක ගැන අම්මයි තාත්තයි ගොඩක් සතුටුයි. අක්කා ෆීල්ඩ් එක ගැන දන්න නිසා හැමතිස්සෙම අපේ පිටිපස්සෙන් එයා ඉන්නවා. අක්කාට විරුද්ධව ගිහින් කරපු වැඩ එකක්වත් සාර්ථක වෙලා නැහැ. ඉතින් ඒ නිසා හැමදේම අපි අක්කාට කියනවා.
රංගනයට ආරාධනා ලැබුණොත්?
මේ අවුරුද්දේ නම් රංගනයට ගොඩක් ආරාධනා ලැබුණා. ඉදිරියේදී ඒවායෙන් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මට රඟපාන්න පුළුවන් කියලා හිතෙනවා. බලමු ඉස්සරහට.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මගේ සංගීතය පැත්තේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ වගේම මගේ අනෙක් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. ළඟදී මමයි නංගී ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ වැඩ එක්කම නිරූපණ ක්ෂේත්රයේ වැඩත් කරන්න බලාපොරොත්තු වෙනවා.
උදව් කරපු අය කවුද?
මුලින්ම මතක් කරන්න ඕනේ අක්කයි එයාගේ හස්බන්ඩ්වයි. එතකොට මගේ අම්මයි අප්පච්චියි,නංගියි ඇතුළු පවුලේ හැමෝම මට ගොඩක් උදව් කළා. පවුලේ අයව තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ.
කැළුම් දේවින්ද