මුල්තැන නිවේදනයට රඟපෑමට දෙවැනි තැන
මේ සුන්දර චතු රාජපක්ෂ ගැන වැඩිදෙනා කතා කරන්න පටන් ගත්තෙ සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි වැඩසටහන එක්කයි. එහි දෙවැනි ස්ථානය දිනාගත්ත චතු හොඳම රුවැත්තිය ලෙසත්, හොඳම නිළියගේ චරිත වෙනුවෙන් දෙවතාවකදීත් සම්මාන ලබාගත්තාය. අද වන විට රංගන ශිල්පිනියක ලෙසත් සිරස නිවේදිකාවක ලෙසත් කටයුතු කරන චතු සඳැල්ල කතාබහ සුන්දර කළේ මේ විදියටයි.
චතූ ක්ෂේත්රයට ආවේ?
මුලින්ම රඟපෑමේ ක්ෂේත්රයට ආවේ වී. සිවදාසන් සර්ගෙ පාටක් නැති ආදරයක් චිත්‍රපටයෙන්. එහි ප්‍රධාන චරිතයේ යෙහෙළිය ලෙස රඟපෑමට ලැබුණා. ඒ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.
මුලින්ම කලා ක්ෂේත්රයට ආවේ ඒ චිත්රපටයෙන්ද?
මුලින්ම මම රැකියාව කළේ හේලීස් සමාගමේ. හිසතෙල් ගෑමේ උත්සවයක් වතාවක අපේ සමාගම නුවරඑළියේදී සංවිධානය කරලා තිබුණා. එදා අනුර ජයසේකර මහත්මයා මාව දැකලා රඟපාන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ විදියට තමයි වී. සිවදාසන් මහතාගේ පාටක් නැති ආදරයක් චිත්‍රපටයට දායක වුණේ.
ඉගෙනීම් කළේ මොන වගේ අරමුණක් ඇතිවද?
මගේ ලොකුම අරමුණ වුණේ නර්තන ගුරුවරියක වීමටයි. ඒත් ඒ අරමුණ ඉෂ්ට වුණේ නැහැ.
කලා අංශයට එන්න හිතුවෙ?
පුංචි කාලයේ ඉඳලාම නැටුමට, රඟපෑමට ආසා කළා. පොඩි පොඩි දක්ෂතා පෙන්නුවා. ඒත් හරියටම යා යුතු මග ගැන දැනගෙන හිටියෙ නැහැ.
වැඩිදෙනෙක් චතු හඳුනා ගත්තෙ?
සිරස ෆිල්ම් ස්ටාර් ඇවිත් නිව්ස් කියන චතු කියලයි.
නිව්ස් කියන්න ලැබුණාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?
මුලින්ම ලොකු බයක් තිබුණෙ. ඒත් තිර පුහුණුවේදී මම පළමු අවස්ථාවේදීම හොඳට කළා. ඒ නිසා ටිකක් බය අඩුවෙලා තිබුණෙ. ආගන්තුක නිසා බෑ බෑ කිය කිය ගිය මට තිර පුහුණුවේදී හරියට කරන්න ලැබුණු නිසා බය නැතුව ගියා.
අද මුල්තැන දී තිබෙන්නෙ මොන අංශයටද?
රඟපෑම, නිවේදනය අංශ දෙකම බැලන්ස්ව කරන්නයි මට ඕනෑ.
ටෙලිනාට්‍ය ක්ෂේත්රයට ආවේ කොහොමද?
මුලින්ම රඟපෑවේ ආදරය ගින්දරක් නාට්‍යයේ ගිවන්තගෙ පෙම්වතිය ලෙසයි. ඒකෙ රඟපෑවේ මගේ නමින්ම චතු කියන චරිතයයි. ඊට පස්සෙ ‘කොළඹ අපි ආවා’ නාට්‍යයේ නිවේදිකාවකගේ චරිතය රඟපෑවා. ඊළඟට රතු පිච්ච නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා.
මේ දිනවල ඔබගේ රඟපෑම් දැකගන්න ලැබෙන්නෙ?
‘ඉරුදේව’ නාට්‍යයේ ප්‍රමිතා ලෙසයි.
මේ විදියට රඟපෑමට ආවේ නැත්නම්?
කලින් වගේම හේලීස් ආයතනයේ රූපලාවන්‍ය උපදේශිකාවක ලෙස දිගටම ඉඳීවි.
රූපලාවන්‍ය ගැනත් දැනීමක් තියෙනවා වගේ?
ඔව් තියෙනවා.
රඟපෑම, රූපලාවන්‍ය, නර්තනය, නිවේදනය මේ අතරින් වඩාත්ම ආසා කරන්නෙ?
පුංචි කාලයේදී හීනය වුණේ හොඳම නිළියක වීමටයි. ඒත් දැන් නිළියකට වඩා ප්රවෘත්ති නිවේදිකාවක ලෙස සමාජ පිළිගැනීමක් තියෙන්නෙ. නිවේදිකාවක වීමට දක්ෂතාවය, රූපය විතරක් තිබුණාට මදි. වාසනාවත් තිබෙන්න ඕනෑය කියලයි මම හිතන්නෙ.
කොහොම වුණත් ඉදිරියට රඟපාන චරිත ගැන කිව්වොත්?
‘අභී’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපානවා.
මේ ඔක්කෝම දේ කරන්න ‘චතුට’ වෙලාවක් තියෙනවද?
වෙලාව අපි හදාගන්න ඕනෑ. ඔක්කෝටම වඩා මම මුල්තැන දීලා තියෙන්නෙ නිවේදනයටයි. සතියේ ඒ දින දෙක හැර රඟපෑමට දින වෙන්කර ගන්නවා. ඊට අමතරව ප්රවෘත්ති කියන දිනවලදී වෙන වැඩ දාගන්නෙ නැහැ. රඟපෑමේදී දින ලබාදීමේදී අධ්යක්ෂවරු මට ලොකු සහයෝගයක් දෙන්නෙ. ඒ ගැන ගෞරවයෙන් සිහිපත් කරන්නම වෙනවා.
චතු කිව්වාම කොහොම කෙනෙක්ද?
හැමෝම දිහා සුබවාදීව බලන කෙනෙක්. ඒ වගේම ඉක්මනට කේන්ති යන කෙනෙක්. ඒ වෙලාවට අනෙක් පාර්ශවය ඉවසුවේ නැත්නම්, ලොකු ප්‍රශ්නයක් තමයි ඉතින්. කොහොම වුණත් මම හරි නිහතමානී චරිතයක්.
පවුලේ විස්තර ගැන කිව්වොත්?
අම්මයි, තාත්තයි, අක්කයි, මමයි, නංගියි, මල්ලියි.
චතුට ආදරය දැනෙන්නෙ කොහොමද?
සුන්දර දෙයක්. ආදරය විඳලා තියෙනවා. දෙන්නට දෙන්නා තේරුම් ගත්තොත්, ආදරය සදාකල් පවතීවි.
හිත ගිය ආදරේ ගැනත් කියමු?
ජීවිතයට ආව ගිය අය හිටියා, ඒත් දැන් නැහැ. යෝජනා නම් ගොඩාක් එනවා. ඒත් මම හිතන පතන කෙනෙක් වෙන්න එපායැ.
මොන විදියෙ කෙනෙක්ද පතන්නෙ?
මගේ වෘත්තිය වගේම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මගේ පවුලේ අයට ආදරය කරන, විශේෂයෙන්ම මගේ අම්මාට තාත්තාට ගොඩාක් ගරු කරමින් අපේ පවුලට හිතවත් කෙනෙක්.
එයා රඟපාන්න එපා කියලා තහංචි දැම්මොත්?
සාධාරණ තහංචියක් නම් කමක් නැහැ, ඒත් ඒක අසාධාරණ නම් ඒක අනුමත කරන්නෙ නැහැ.
චතුගෙ හොඳම ගුණාංගය?
නිහතමානීකම.
නරකම පුරුද්ද?
කේන්ති යාම.
ජීවිතය ගැන හිතෙන්නෙ කොහොමද?
ගිය ආත්මවල කරපු පව් පින් ඉවර කරලා යන්න ආව ගමනක්.
නිතරම කතාවට දක්ෂලූ නේද?
ඉස්සර සමහර අය හිතුවෙ මම මහා ආඩම්බර චරිතයක් කියලයි. ඒත් කතාවට වැටුණාම මාව නවත්තන්න බැරි කෙනෙක්. මම ආවේ නැති දවසට අනේ ඔයා නැතුව පාළුයි කියලා තමයි මගේ යාළුවෝ කියන්නෙ.
චතූට තව මොනවද කියන්න තියෙන්නෙ?
එදා ෆිල්ම් ස්ටාර් එකට මාව යොමු කළේ ෂෙනාල් මද්දුමගේ අයියා. එයා තමයි මට ඒ මාර්ගය ගැන කිව්වෙ. ඉරුෂ ද සිල්වා මාව ෆිල්ම් ස්ටාර් එකට ගත්තෙ ඉන්පසුවයි. ඒ අතීතය මතක් කිරීම මගේ යුතුකමක්.
හැඩගැන්වීම්: Dandy Salon (පිළියන්දල)
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ