‘මුතුකුඩ’ මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම ප්‍රේක්ෂක ඔබ දකින තිළිණි පෙරේරා අද ‘සාරවිට’ තරු කතාබහට අප සමගින් මෙලෙස සම්බන්ධ වුණේමු. නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණය වූවද තිළිණි වර්තමානය වනවිට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ රංගන කටයුතුවලටය. ඇය ඉදිරියේදී සිනමා නිර්මාණ හරහාද ප්‍රේක්ෂක ඔබවට දැගත හැකිය.

 

රංගන ශිල්පිනියක් ලෙස තරමක් කාර්ය බහුලයි නේද?2019-03-11-ent-04

‘ඉරුදේවි’, ‘සිද්ධාර්ත් ගෞතම’ හා ‘තෝඩු’ ටෙලි නාට්‍යය දැනට විකාශය වෙනවා. මාර්තු 13 වැනිදා සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන ‘ඉත්තෝ’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. මේ දිනවල මේ හැම ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් සඳහා දායක වෙනවා. ඒ නිසා තරමක් කාර්ය බහුලයි.

 

තිළිණි ඇයි මේ රජකතාවලට කොටු වෙලා?

දෙරණ රූපවාහිනියේ විකාශය වුණ ‘මුතුකුඩ ‘ ටෙලි නාට්‍යයෙන් පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා ‍ඵෛතිහාසික කතා ඇතුළත් ටෙලි නාට්‍යයවලට. මම හිතන්නේ මගේ පෙනුමට තමයි මේ චරිත ලැබුණේ. නමුත්, මෑත කාලයේ දී මම වර්තමානයට ගැළපෙන කතා ඇතුළත් ටෙලි නාට්‍යය කිහිපයකටත් සම්බන්ධ වුණා.

 

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඔබ පෙම්වතියට රඟපෑවා. නමුත්, දැන් ඔබ වෙනත් චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා?

ක්ෂේත්‍රයට මුලින්ම ආවේ පෙම්වතියගේ යාළුවාට රඟපාලා. ඊට පස්සේ තමයි පෙම්වතියගේ චරිතය රඟපෑවේ. ඉදිරියට එන්න තියෙන ටෙලි නාට්‍යය කිහිපයකම මම පෙම්වතිය ලෙස ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. ඉදිරියේ දී නැවතත් ප්‍රේක්ෂකයන්ට මාව පෙම්වතියගේ චරිතයෙන් යළිත් දැකබලා ගන්න පුළුවන් වේවි.

 

ඔබ ටෙලි නාට්‍යයවලට පමණක් සීමා වෙලාද ඉන්නේ?

ආරාධනා නම් ලැබෙනවා. මේ වසරේ දී මා රංගනයෙන් දායක වුණ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ වගේම තව චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනත් ලැබිලා තියෙනවා. ඒ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයකුත් තිබුණා. නමුත්, මට ඒ නිර්මාණය තුළ කරන්න තිබුණ චරිතය මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අකමැත්තෙන් වුණත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න මට සිද්ධ වුණා. ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මට අත්හරින්න සිදු වුණා. නමුත්, හොඳ නිර්මාණයක්, හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ සිනමා නිර්මාණය භාර ගන්නවා. මොකද, ටෙලි නාට්‍යයවලට වගේම චිත්‍රපටවලටත් මගේ තියෙන්නේ ලොකු කැමැත්තක්.

 

‘මුතුකුඩ’ නිසා ඔබ බොහෝ සෙයින් ජනප්‍රිය වුණා නේද?

ඔව්, මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය තමයි ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයේ ‘මුතුකුඩ මැණිකේ’ කියන චරිතය. ඒ චරිතය තුළින් මම ප්‍රේක්ෂක අවධානය වැඩිපුර දිනාගත්තා. ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යය මගේ 12 වැනි ටෙලි නාට්‍යය වගේ මට මතක. ඊට කලින් ‘ආදර දූසක්’ ටෙලි නාට්‍යයේ ‘නිරංජලා ටීචර්’ කියන චරිතයත් තාම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියෙනවා. ඊට අමතරව ‘සල්සපුනා’ ටෙලි නාට්‍යයේ ‘මාෂා’ කියන චරිතයත් යම් පිරිසක් අතර කතාබහට ලක්වුණා.

 

මේ දිනවල ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳද?

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය සියල්ලම මෑතක දී විකාශය වුණ ඒවා. ඒ නිසා මම රංගනයෙන් දායක වෙන චරිතවල දිග පළලවත් තවමත් ප්‍රේක්ෂකයන්ට දැනිලා නැහැ. නමුත්, මම හිතනවා මාර්තු 12 වැනිදා විකාශය වෙන ‘ඉත්තෝ’ කියන ටෙලි නාට්‍යයේ ‘පාරමී’ කියන චරිතය ප්‍රේක්ෂකයන් වැඩිපුර කතා කරයි කියලා. මොකද, ඒක වෙනස්ම චරිතයක් නිසා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2019-03-11-ent-01 2019-03-11-ent-02 2019-03-11-ent-03