'මුතුකුඩ' ටෙලියේ විතරයි මේ දවස්වල මාව දකින්න පුළුවන්
‘දෙරණ’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ටිකිරි රත්නායකගේ ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයේ ‘මුතුකුඩ මැණිකේ’ ලෙස මේ වනවිට ඔබේ ආදරය දිනා සිටින තිළිණි පෙරේරා මෙවර තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක වන තිළිණි, වර්තමානය වනවිට රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්රය වැඩිපුර දකින්නට ලැබේ. ඇයගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට දැක් වූයේ මෙවැන්නකි.
‘මුතුකුඩු මැණිකේ’ කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන ටෙලි චරිතයක්?
ඔව්, ලැබෙන ප්‍රතිචාර මත මටත් එහෙම හිතෙනවා. දැනට මම ටෙලි නාට්‍යය නවයක විතර රඟපාලා තියෙනවා. නමුත්, ‘මුතුකුඩ මැණිකේ’ කියන්නේ මම රංගනයෙන් දායක වුණ පළමු ප්‍රධාන ටෙලි චරිතය. මේ අවස්ථාව මට ලැබුණේ අහම්බෙන්. සෑම් පෙරේරා තමයි ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ටිකිරි රත්නායක මහත්මයාට මාව අඳුන්වලා දුන්නේ. මේ ටෙලි චරිතය මට ලැබුණේ ඊට පසුදා රූපගත කිරීම් කටයුතු කරන්න යොදාගෙන තිබුණ වටපිටාවක. තිර පරීක්ෂණයට දායක වෙලා මාව මේ චරිතයට තෝරා ගත්තා කිව්වහම මම ගොඩක් සතුටු වුණා.
තිළිණි කරපු ගොඩක් චරිත නාගරික පැත්තට බරවුණ ඒවා. නමුත්, ‘මුතුකුඩ’ කියන්නේ ඓතිහාසික කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ ටෙලි නිර්මාණයක්?
ඔව්, එය මට ලොකු අභියෝගයක් වුණා. මොකද, ඇඳුම් පැලඳුම් වගේම තිර පිටපතේ තිබුණ දෙබස්වල පවා ලොකු වෙනසක් තිබුණා. තිර පරීක්ෂණයට දායක වෙලා මට කරන්න ලැබුණු මුල්ම දෙබස තමයි ‘මීගස්කුඹුරේ’ කියන වචනය. මේ වචනය මට කිහිප වරක් කියන්න වුණා. ඒත්, ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම ලොකු සහයක් මට ලබාදුන්නා. ඒ හැමෝටම මේ වෙලාවේ ස්තුති කරන්න ඕන. ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් කියන්නේ තිළිණිට ගොඩක්ම ගැළපෙන්නේ ‘මුතුකුඩ මැණිකේ’ වගේ චරිත කියලා.
‘මුතුකුඩ’ ටෙලියේ විතරද මේ දවස්වල වැඩ කරන්නේ?
‘මුතුකුඩ’ ටෙලියේ විතරයි මේ දවස්වල මාව දකින්න පුළුවන්. නමුත්, මම කරපු ටෙලි නිර්මාණ තුනක් ඉදිරියට එන්න තියෙනවා. දැනට ටෙලි නිර්මාණ දෙකක වැඩ මුළුමනින්ම අවසන්. එක ටෙලියක සංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. බොහෝ විට මේ ටෙලි නිර්මාණ තුන හරහාම මාව ලබන වසරේ දී දකින්නට පුළුවන් වේවි.
කරපු නිර්මාණ ගැන කතා කළොත්?
ඩැනී ඩබ්ලිව්.පතිරණ මහත්මයා නිර්මාණය කපු ‘ගිරි කුළේ දෝංකාරය’ කියන ටෙලියේ තමයි මුලින්ම වැඩ ඉවර වුණේ. මෙහි මා ‘චන්දිරා’ කියන ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සබීතා පෙරේරා මහත්මිය අවුරුදු 17දී රඟපෑ ‘චන්දිරා’ කියන චිත්‍රපටයේ කතාව තමයි ‘ගිරි කුළේ දෝංකාරය’ ටෙලි නාට්‍යය තුළ තියෙන්නේ. සමන් කුමාර ලියනගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘පාලී’ කියන ටෙලි නාට්‍යය එන්න තියෙනවා. ඒ ටෙලි නාට්‍යයේ මම කරන්නේ ‘දේවී’ කියන ප්‍රධාන චරිතය. ඊට අමතරව දැනට සංස්කරණ කටයුතු සිදු කෙරෙන ජෝශප් ජෙරම් මහත්මයාගේ ‘වියපතක සිහිනය’ කියන ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවා. එහි මම නිරූපණය කරන්නේ ‘නර්මදා’ කියන චරිතය. ‘ගිරි කුලේ දෝංකාරය’ වගේම ‘පාලී’ කියන ටෙලි නාට්‍යය ඓතිහාසික කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්.
‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා ඔබ රඟපෑ චරිත කිහිපයක්ම ජනප්‍රිය වුණා නේද?
ඔව්, නාලන් මෙන්ඩිස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘සල්සපුනා’ ටෙලි නාට්‍යයේ ‘මාෂා’ කියන චරිතය බොහෝ දෙනෙක් කතා කරපු චරිතයක්. මම ක්ෂේත්රයට ආවේ නිල්වලා ආයතනය විසින් නිර්මාණය කරපු ‘ආදර දෑසක්’ කියන ටෙලි නාට්‍යය හරහා. එහි මා රඟපෑවේ ‘නෙරංජනා ටීචර්’ කියන චරිතය. ඒ චරිතයත් බොහෝ දෙනෙක් කතා කළා.
සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත්, ඒවා මට ගැළපෙන චරිත නොවුණ හින්දා මම ඒ නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒත්, හොඳ නිර්මාණයකට කතා කළොත් අනිවාර්යයෙන්ම මම සම්බන්ධ වෙනවා. මොකද, රංගන ශිල්පිනියකගේ තවත් එක්තරා හීනයක් තමයි සිනමාවට දායක වෙන එක. පුංචි කාලේ ඉඳලා මම රංගනය පැත්තට යොමු වෙන්න හීන දැකපු කෙනෙක්. රංගනයට යොමු වෙන්න පුළුවන් පහසුම තැන තමයි නිරූපණ වෘත්තිය. ඒ හින්දම තමයි මම නිරූපණය පැත්ත තෝර ගත්තෙත්. අද වනවිට ඒ සියලු හීන මගේ සඵල වෙලා තියෙනවා.
නිළියක් විදිහට ඉදිරිය ගැන හිතනවා නම්?
ජනප්‍රිය නිළියක් වෙනවාට වඩා මම කැමතියි චරිතාංග නිළියක් වෙනවට. ඉතින් ඒ තැනට එන්න කැප වෙනවා මම. කොහොමත් මම ඉක්මන් ගමනක් මේ ක්ෂේත්‍ර තුළ ආවේ නැහැ. බොහෝම හෙමින් ගමනක් ආවේ. ඉතින් මේ තැනට යන්න මම තව ලොකු කාලයක් ගන්නවා. ඒ වගේම මම කැමතියි සම්මානනීය නිළියක් වෙන්නත්.