මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා කියන එක ආශිර්වාදයක්
පුංචි තිරය තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්, බොහෝ දෙනාගේ ආදරය ලබන ඇය නමින් අනුරාධා එදිරිසිංහ වන්නීය. මේ දිනවල අලුත් කාර්යයක් සඳහා ඇය සූදානමින් සිටියි. එම තොරතුරු සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග ඇය මෙලෙස එක්විය.
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල ලොකු දෙයක් සඳහා සූදානම් වෙනවා. ‘රාවණ සීසන් 02’ සඳහා සූදානම් වෙනවා. එහි රූගත කිරීම් පටන් ගත්තේ 2019 ඔක්තෝම්බර්. මාර්තු වෙද්දී විකාශය කරන්න තමයි වැඩකටයුතු සූදානම් කර ගෙන යන්නේ. ඊට අමතරව අලුත් වැඩ 04ක් සඳහා දායක වුණා. ඒවා ඉදිරියේදී එයි.
‘රාවණ’ දෙවැන්නක් නිර්මාණය වීම පිළිබඳව ඔබට හැඟෙන දේ මොකක්ද?
රාවණ සීසන් දෙකක් එන්න ඕනේ මම හිතන විදිහට. අනිත් කතාවලට වැඩිය හාත්පසින්ම වෙනස් වෙයි. සීසන් 01 ඉවර වෙන්නේ අවුරුදු 08ක ළමයෙක්ගෙ කාලවකවානුවකින්. දෙවැන්නක් ආවා කියලා පළවෙනි කතාවට කිසිම හානියක් නැහැ. පරම්පරාවේ පරතයක් පෙන්වන්න තමයි නතර කළේ.
දායක වූ නිර්මාණ ඔස්සේ කලා ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඔව් ඇත්තෙන්ම. ‘රාවණ’ ටෙලි නාට්‍යය නිසා චරිතවලට සාධාරණයක් කළා කියලා ලොකු හැඟීමක් දැනුණා. ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න නාට්‍යයක් තමයි ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘වරමද්ද’. කවුරුත් හිතනවාට වඩා වෙනස් නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්න නාට්‍යයක්. ඇත්තටම ඒක ආපුවහම දැකගන්න පුළුවන් වෙයි. තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියන දේ තීරණය වෙන්නේ ලැබෙන ප්‍රතිචාර මතයි. ‘රාවණ එක’ සඳහා නම් ලැබෙන ප්‍රතිචාර කියන්න අඩුවක් නැහැ. කොහේ ගියත් කිසි අඩුවක් නැහැ. වචනයෙන් කියන්න බැරි පුදුම ආදරයක්, ගරුත්වයක් ලැබෙනවා. හිතාගන්න බැරිතරම් තෘප්තියක් ලැබෙනවා. ප්‍රතිචාර ලැබෙනවා.
කලාව නිසා ලැබුණ දේවල් ගැන මොකද හිතෙන නිසා?
මිනිස්සුන්ගේ ආදරය, කරුණාව ගෞරවය ලැබෙනවා කියන එක ආශිර්වාදයක්. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. කොහේහරි ගියත් මිනිස්සු ඇවිල්ලා කතා කරන එකේ අත්දැකීමේ වචන නැහැ. මම හිතන්නේ කෙනෙක්ගේ ජීවිතයේ ලැබෙන්න තියෙන වටිනම දේ ඒක කියලා. ඒ ලැබිච්ච දේවල් ගැන කියන්න බැරි තරම් ලොකු සතුටක් තියෙනවා.
සම්මානයක් සඳහා හීනයක් නැද්ද?
ඇත්තෙන්ම මම ක්ෂේත්රයට තාම අලුත් කෙනෙක්. අලුත් කෙනෙක් විදිහට සම්මානයකට හීන දකිනවා කියනවාට වඩා මම කලාව වෙනුවෙන් වැඩ කරන්න ඕනා. මේ ඒ මොහොත කියලයි මම හිතන්නේ.
ක්ෂේත්රය තුළ අභියෝග, තරග නැද්ද?
මෑත කාලයේදී ක්ෂේත්රයට එකතු වුණ නංගිලා, මල්ලිලා එක්ක පවා මම වැඩ කරනවා. සමහර වෙලාවට කතාව දුවන්නේ මේ ක්ෂේත්රයට අලුතින් එකතු වුණ නංගී හෝ මල්ලි නිසා වෙන්න පුළුවන්. ඒ අයත් එක්ක එතකොට අපි චරිත කරන්නේ. අලුත් ළමයෙක් මේකේ ප්‍රධාන චරිතය කරනවා කියලා මම ඒක නොකර ඉන්නේ නැහැ. මට ලැබෙන චරිතවලින් මට දෙයක් කරන්න තියෙනවා නම් ඒකට මම මගේ උපරිම දායකත්වයක් දෙනවා. එහෙම මම හිතන නිසා කිසිම තැනක තරඟකාරිත්වයක් සහ අභියෝගයක් හැදිලා නැහැ.
රිදී තිරයට එන්න අදහසක් නැද්ද?
තාම නම් මම චිත්‍රපටයක් සඳහා නම් දායක වෙලා නැහැ. තවම මම කරගෙන යන්නේ ටෙලිනාට්‍ය පමණයි. දැනට වැඩක් සැලසුම් කරගෙන යනවා ඉදිරියේදී බලමු.
ප්‍රවීණ අය ගැන ඔබට දැනෙන දේ?
අපිට මේ ක්ෂේත්රය ගැන හොයන්න ඉගෙනගන්න අවශ්‍යතාවක් ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. මට ප්‍රවීණයන් හම්බවෙන විනාඩියේ වෙලාවට හරි මම හදන්නේ දෙයක් ඉගෙන ගන්න. ඒ දේ ගැන ගොඩක් අය දන්නවා. මගේ ප්‍රශ්න ටික අහලා මම ඉගෙන ගන්නවා කියන දේ මාත් එක්ක වැඩකරපු අය දන්නවා. ඒ නිසා ඔවුන්ගේ තියෙන අත්දැකීම් එක්ක ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන්න පුළුවන් කියලා මම හිතනවා.
ජීවිතේට ලොකු බලාපොරොත්තු නැද්ද?
ලොකු බලාපොරොත්තුවක් නැහැ. එහෙම බලාපොරොත්තු තියාගෙන ජීවත් වුණා නම් මේ වෙද්දී මම ගොඩක් දුකින් ඉඳියි. මොකද මගේ ජීවිතේ මේ වෙද්දී මගේ තාත්තා නැති නිසා. ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. සතුටින් මාත් එක්ක ඉන්න අය එක්ක ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
Dilan Chryshantha