මාව වට්ටන්න ටිකක් අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190301Volga(1)

වර්තමානයේ සිටින ජනප්‍රියතම නිළියන් අතරේ දස්කම් පාමින්, සම්මාන සඳහා පාත්‍ර වූ නිළියක් ලෙස ‘වොල්ගා කල්පනී’ හැඳින්විය හැකිය. පසුගිය දිනවල ඇය පිළිබඳව විවිධ කට කතා සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය. මේ කාරණා සහ ඇයගේ වෘත්තියමය ජීවිතය පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ තරු කතාබහට ඇය මෙලෙස එක්විය.

මේ දවස්වල වැඩ කටයුතු මොනවාද?

මේ දවස්වල අලුතෙන්ම, සෑහෙන කාලෙකට පස්සේ මගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරයා ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තා. ඊට අමතරව ජනක චමින්ද මහත්මයාගේ 'අපේ ආදරේ' කියන ටෙලි නාට්‍යයේ වැඩ.

දායක වෙලා තිබුණු නිර්මාණ කටයුතු අවසන්ද?

සුදත් දේවප්‍රිය මහත්මයාගේ ලස්සන වැඩක් ඉවර කළා. හැබැයි රොෂාන් කුරුප්පු මහත්මයාගේ 'නිරාවරණ' කියන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ආපසු ලබන මාසයේ පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි අනික් වැඩ කටයුතු ටික කෙරෙන්නේ.

පසුගිය වසරේ දායක වුණු නිර්මාණවල සාර්ථකත්වය කොහොමද?

මම හැමදාම කියනවා, මොකක්දෝ වාසනාවකට හැමදාම ලැබෙන්නේ ටිකක් විශේෂ නිර්මාණ. නිකන් ආවා ගියා කියන නිර්මාණ නෙමෙයි. ඉතින් ගිය අවුරුද්දේ විශේෂ වැඩවලට සහ විශේෂ අධ්‍යක්ෂකවරු සමග වැඩ කරන්න අවස්ථාව මට හම්බ වුණා. හැරිලා බලනකොට සෑහෙන්න වාසනාවන්ත අවුරුද්දක්. විශේෂයෙන්ම සම්මානයත් ලැබුණු නිසා විශේෂ අවුරුද්දක්.

20190301Volga(4)

සම්මානයක් ලැබුණේ කී වෙනි වතාවටද?

සම්මානයක් ලැබෙන්නේ මට දෙවැනි වතාවට. පළවෙනි වතාවට ප්‍රධාන චරිතයක් කරපු ටෙලි නාට්‍යයටම මට සම්මානයක් ලැබෙනවා. ඊට පස්සේ අවුරුද්දේ මම නැගී එන නිළියට නිර්දේශ වෙනවා. ගිය අවුරුද්දේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා සහ ලක්ෂ්මන් කුමාර මහත්මයා අධ්‍යක්ෂණය කළ ^එක ගෙයි මිනිස්සු^ කියන ටෙලි නාට්‍යයට නැගී එන නිළිය සම්මානය මට හම්බ වෙනවා.

සම්මාන එක්ක රංගන දිවියේ සාර්ථකත්වය කොහොමද?

මම හැමදාම කියන්නේ ක්ෂේත්‍රයට සෑහෙන්න ආධුනිකයි. සම්මානයක් ලැබෙන එකෙන් ටිකක් දැනෙන්නේ, අමුතු ආශාවක් එනවා. ඉතින් ඒ ආසාව වැඩිවුණා සහ වගකීමක් ඔළුවට වැටුණා වගේ තමයි මට දැනෙන්නේ. මම කියන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කරන්න ඕනා කියන එක නෙමෙයි. සම්මානයක් ලැබුණාම මොකක්දෝ හැඟීමක් දැනෙනවා.

රංගනයට ඇවිත් දැන් කොච්චර කල්ද?

වෘත්තීය වශයෙන් රංගන කටයුතු කරන්න පටන් අරගෙන දැනට අවුරුදු 05ක් වෙනවා.

ඔබේ රංගන දිවියේ සාර්ථකම තැන කොතැනද?

මගේ රංගන ජීවිතයේ සාර්ථකම තැන තමයි මම ප්‍රධාන චරිතයක් කරපු පළවෙනි ටෙලි නාට්‍යය. ඒ දයාරත්න අල්විස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු %කොළඹ අහස^. ඒ ටෙලි නාට්‍යය තමයි මගේ රංගන දිවියේ ආරම්භය වෙන්නේ. ඒක ගොඩක් දෙනෙක් කතා කරපු නාට්‍යයක්. නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මගේ දුරකථන අංකය හොයාගෙන කතා කළා. එතුමිය දන්නේ නැහැ මම කවුද කියලවත්. ඉතින් ඒ වගේ සෑහෙන්න ඇගයීමකට පාත්‍ර වුණා ඒ ටෙලි නාට්‍යය තුළින්.

20190301Volga(9)

ආපු ගමන් මග දිහා හැරිලා බලද්දී දැනෙන දේ මොකක්ද?

සෑහෙන්නම සතුටුයි. දවසින් දවස මේ කලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ආසාව වැඩිවෙනවා. මම සෑහෙන්න මහන්සි වෙලා ආපු ගමනක්. කලාවට මම ඉතාමත් ආදරය කරනවා. ඉතින් සතුටක් තියෙනවා සහ ගොඩක් දුර යන්න තියෙනවා කියලා තමයි දැනේනේ.

වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ අභියෝග සහ තරඟකාරීත්වයක් නැද්ද?

ගොඩක් අය කියන දෙයක් තමයි ඉස්සරට වැඩිය දැන් කට්ටිය වැඩියි කියන එක. කොච්චර කට්ටිය හිටියත් තමන් කරන දේ හරියට කරගෙන තමන් කරන රස්සාවට ආදරය කරගෙන ජීවත් වෙනවා නම් මම විශ්වාස කරනවා ඒ කෙනාව ඒ දෙයින්ම රකිනවා කියලා. අද නිරූපිකාවන් හිතන් ඉන්නවා එයාලා රංගන ශිල්පීන් කියලා. ලංකාවේ මිනිස්සු ගොඩක් ඕපදූප කතා කරනවානේ. කොටට ඇඳගෙන ඇඟ පොඩ්ඩක් එළියේ දාගත්තාම මිනිස්සු හිතනවා &ආ… මෙයා නිළිය* කියලා. ඒක නෙමෙයි රංගන ශිල්පිනිය කියන්නේ. රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් මහන්සි වෙන්න ඕනා. උදාහරණයක් විදිහට ස්වර්ණා මල්ලවාරච්චි, මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා වගේ අය කොච්චර මේ දෙයට මහන්සි වුණාද?. කවදාවත් ඒ මිනිස්සු ගොසිප් එකක් ගහලා, ඇඟ පොඩ්ඩක් පෙන්නගෙන ජනප්‍රිය වුණු මිනිස්සු නෙමෙයි. ඉතින් මෑත කාලේ මේක අපේ අය පටලවගෙන ඉන්නවා. ඇඟ පෙන්වපු පළියට නිළියක් වෙන්නේ නැහැ. ඒක වැරැදි කාරණාවක්. නමුත් මෑත කාලයේ ශලනි තාරකා, තිසුරි යුවනිකා, දිනක්ෂි වගේ කිහිපදෙනෙක් ඉන්නවා ක්ෂේත්‍රයේ ලස්සනට නම තියාගෙන, වැඩ කරගෙන ජීවත් වෙන කට්ටිය ඉන්නවා. මම හිතනවා තරගකාරිත්වයකුත් තියෙනවා, අභියෝගයකුත් තියෙනවා. හැබැයි තමන් කරන දේ හරියට කරගෙන, තමන් කරන රස්සාවට ආදරය කරගෙන ඉදිරියට යනවා නම් මම හිතනවා පැවැත්මක් තියෙනවා කියලා.

ගොසිප් සහ ඕපදූප කියන දේවල් ඔබට වැඩි වශයෙන් නිර්මාණ වන්නේ ඇයි?

අනේ මන්දා. මගේ වෙලාව වෙන්න ඇති මටම මේ දේවල් වෙන්න. මම නම් ඕපදූප කතා කරනවා හරි අඩුයි. මේ දේවල් වෙන්න මම ජනප්‍රිය ඇති. එහෙම නැත්නම් මගේ සාර්ථකත්වය දරා ගන්න බැරි පිරිසක් ඇති. එහෙම අය ගොසිප් ගහනවා ඇති. මට විශේෂයෙන් කියන්න ඕනේ ඒ දේවල් නිසා මට කිසිදු හානියක් වුණේ නැහැ. එදා හිටපු රසික රසිකාවියෝ ඒ විදිහටම ඉන්නවා. හැමදෙනාම මට අදටත් ආදරය කරනවා.

එවැනි සිදුවීම් නිසා කළකිරීමක්, දුකක් ඇතිවෙන්නේ නැද්ද?

මාව වට්ටන්න ටිකක් අමාරුයි. ඒක මට  ආදරය කරන පිරිස, මගේ වටේ ළඟම ඉන්න පිරිස දන්නවා. මම ලේසියෙන් වැටෙන්නේ නැහැ. මම කරපු දේ සහ මම කරන දේ මම අවංකවම කරා. ඒ නිසා ජීවිතේ වැටෙන්නේ නැහැ. හැබැයි, සමහර තැන්වලදී හිතිලා තියෙනවා මම මෙච්චර මිනිස්සුන්ට හොඳ කරලා ඇයි මිනිස්සු මටම මෙහෙම කරන්නේ කියලා එකක් හිතිලා තියෙනවා. මොකද මම සාමාන්‍ය මනුස්සයෙක් නිසා, මම රහත් වෙලා නැති නිසා මට එහෙම හිතිලා තියෙනවා. හැබැයි එහෙම හිතෙන හැම වෙලාවකම මම බෝධියක් ගාවට ගිහිල්ලා බෝධිය දිහා බලාගෙන, එහෙම නැත්නම් පල්ලියට ගිහිල්ලා ජේසු දිහා බලාගෙන පොඩ්ඩක් අඬලා එනවා.

ඔබ ලොකු අධිෂ්ඨානයකින්ද ජීවත් වෙන්නේ?

ඔව්. මම පොඩි කාලේ ඉඳන්ම ලොකු අධිෂ්ඨානයකින් ජීවත් වෙන එක්කෙනෙක්. මම පොඩි කාලේ රූපවාහිනියේ වසන්ත මහත්මයා සහ ප්‍රතිභා කියන අයියා හරහා රූපවාහිනියට ගිහින් කැමරාව දැක්ක මොහොතේ ඉඳන්, ඒ 'අතුරු මිතුරු' වැඩසටහනේ සිංදු කියද්දී මම දෙපැත්තට වැනිච්ච එක්කෙනෙක්. එතකොට අපිට වැඩි ලොකු අයියලා අක්කලා හිටියා. ඒ අය සිංදු කියනවා ඉදිරිපත් කරනවා. ඉතින් එදා මම හිතා ගත්තා මහන්සි වෙලා කොහොමහරි මේ ගමන එනවා කියලා. කොහොමත් මම අධිෂ්ඨානයෙන් වැඩ කරන කෙනෙක්. මම වැඩක් පටන් ගත්තොත් ඉවර කරලා තමයි බලන්නේ. මම ගෙයක් හදනවා කිව්වොත් හදනවාමයි. බොහොම අවංකව ඒ වැඩේ කරනවා. පොඩි කාලේ මම අම්මයි තාත්තටයි කියනවා, මම පංතියේ පළවෙනියා විතරයි වෙන්නේ කියලා. ඉතින් හැමදාම පන්තියේ පළවෙනියම තමයි. ඒ මගේ හැටි.

ඉදිරි කටයුතු ගැන කතා කළොත්?

සනත් ගුණතිලක මහත්මයා එක්ක පොඩි සාකච්ඡා මට්ටම වැඩක් තියෙනවා. තව අලුත් චිත්‍රපටයක් වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙනවා. ඊට අමතරව ඉවෙන්ට් ප්ලෑනින් කියන පැත්තට ඇවිල්ලා %හාර්ට් බ්ලැක්^ කියලා එකෝස්ටික් බෑන්ඩ් එකක් සම්බන්ධ වෙලා ඉන්නවා. තව ඒ වැඩ කටයුතු ඉස්සරහට වැඩි වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු තමයි ඉදිරියට වෙන්නේ.

රසිකයන්ට සහ ඔබ වෙනුවෙන් ගොසිප් නිර්මාණය කරන පුද්ගලයන්ට මොනවද කියන්නේ?

මම වෙනුවෙන් ගොසිප් නිර්මාණ කරන අයට කියන්නේ ගොඩක් ස්තූතියි. කරන්න වැඩක් තියෙන්නත් ඕනේ. සමහර රසික රසිකාවියෝ පුරුදු වෙලා තියෙනවා ගොසිප් හරහා මිනිස්සු මනින්න. නමුත් මම කියන්නේ වෛද්‍යවරයාට, නීතිඥවරයාට, ගුරුවරයාට, ඉංජිනේරුවරයාට වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා. ඉතින් ඒ පෞද්ගලික ජීවිත ඇතුළේ හැඟීම්, දැනීම් තියෙන බොහෝම සාමාන්‍ය මිනිස්සු. ආදරය කරන, ඒ දේවල් ගොඩක් දැනෙන මිනිස්සු. රසික රසිකාවියන්ට කියන්නේ පහුගිය කාලේ හිටියා වගේම දිගටම මාත් එක්ක ඉන්න. විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ මෑත කාලයේ අමල් පෙරේරා, නදීමාල්, රයන්  පිළිබඳව ලොකු කතාවක් තිබ්බා. මම රසික රසිකාවියන්ට කියන්නේ කිසිම දෙයක් නොදැන, ඔප්පු නොවී, කිසිම තීරණයකට එන්න එපා. අපිට ආදරය කරන්න, අපේ නිර්මාණවලට ආදරය කරන්න. එතැනින් එහාට පෞද්ගලික ජීවිතයේ මෙයා කවුද කියන එක අනවශ්‍ය ලෙස හොයන්න එපා කියලා මම ඉල්ලනවා. 

Dilan Chryshantha

20190301Volga(2) 20190301Volga(3) 20190301Volga(5) 20190301Volga(6) 20190301Volga(7) 20190301Volga(8) 20190301Volga(10)