මාලිංග ක්‍රීඩා කරපු තරග බොහෝමයක් මගේ මතකයේ තියෙනවා
මේ දිනවල විකාශය වෙන ‘අඩෝ’ හා ‘ලන්සුපතියෝ’ ටෙලි නාට්‍යය හරහා දකින ආලෝකා ධනන්ජනි වර්තමානයේ සිටින දක්ෂ, යොවුන් රංගන ශිල්පිනියකි. විකාශය නිමාව දුටු සිරස රූපවාහිනි නාළිකාවේ ‘සක්කරං’ ටෙලි නාට්‍යයේ දුටු ආලෝකා ඒ හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමටද සමත් වූවාය.
අලෝකා ක්‍රිකට් වලට කැමතිද?
ලොකුවට ක්‍රිකට් ක්‍රීඩාව ගැන නම් මට දැනුමක් නැහැ. නමුත්, ගෙදර කට්ටිය ක්‍රිකට් තරග නරඹන අවස්ථාවලදී මමත් ඒ අය සමග එකතු වෙලා ක්‍රිකට් තරග නරඹනවා. පොඩි කාළේ ඉඳලා ඒ පුරුද්ද නම් තාම තියෙනවා. මෑතකදී නම් කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා හිටිය නිසා ක්‍රිකට් තරග නරඹන්න නම් බැරිවුණා.
මෑතකදී නරඹපු ක්‍රිකට් තරගයක් මතකයේ තියෙනවාද?
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පාකිස්තානයේ පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් නැරඹුවා. හැම තරගයක්ම නරඹන්නට නොහැකි වුණත් මම අන්තර්ජාලය හරහා එම තරගවල විශේෂ අවස්ථා නැරඹුවා.
අලෝකා කැමති ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවාද?
ලංකාවේ නම් මම ලසිත් මාලිංගට තමයි කැමති. ඔහුට කැමති වෙන්න හේතුව තමයි ඔහුගේ ආක්රමණශිලි පන්දු යැවීම. ඔහුගේ අවසන් එක්දින තරගය, නවසීලන්තය සමග පැවැති අන්තිම විස්සයි 20 තරගයේදී පිට පිට ලබාගත් කඩුලු හතර වගේම. මෙවර ‘අයි.පී.එල්’ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔහු යැවූ අවසන් පන්දුවාරය මගේ මතකයේ තියනවා අදටත්.
මාලිංග කියන්නේ ලංකාවේ ක්‍රීඩකයෙක් නේ. විදෙස් රටක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔබ කැමති නැද්ද?
ඉන්දියාවේ විරාත් කෝලිට මම කැමතියි. ඔහුට කැමති වෙන්න හේතුව තමයි මම ආසම නිළිය තමයි අනුෂ්කා ෂර්මා කියන්නේ. කෝලි විවාහ වෙලා ඉන්නේ අනුෂ්කත් එක්ක නිසා තමයි මම කෝලිට කැමති කිව්වොත් හරි.
වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉන්න තැන ගැන අලෝකාගේ අදහස මොකක්ද?
වර්තමාන කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙකු ඉන්නවා. නමුත්, කණ්ඩායමක් විදිහට හැම වෙලාවෙම දක්ෂතා අතර ඉන්න නැති එක ගැටලුවක්. කොහොම වුණත් ගෙවුණු 90 හා 2010 යන වසර 20ක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබුණා. ඒත්, අද එහෙම ලොකුවට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලංකාවේ තුළ පවා කතා වෙන්නේ නැහැ. මගේ නම් ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම 96, 2014 වගේම නැවතත් ලෝක කුසලානයක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට හිමිකර දෙයි කියලා.
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආදර යෝජනාවක් ආවොත් අලෝකා භාරගන්නවාද?
මෙහෙමයි. මම ගොඩක් කැමතියි මගේම ක්ෂේත්රයේ වැඩ කරන කෙනෙකුට. බොහෝ විට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තියෙන කාර්යබහුලත්වයත් එක්ක එහෙම ආදර සම්බන්ධයක් සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එහෙම ආදර යෝජනාවක් ආවොත් සලකලා බලන්න තමයි වෙන්නේ.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්