මම හිතාගෙන හිටියේ නර්තන ශිල්පිනියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-80

කතක්, බැලේ නර්තන ශිල්පිනියක් වන අමා මෙවර සාරවිට කතාබහට කැඳවන්නට අප උත්සාහ කළේ ඇය ලංකාවේ නාමය ජාත්‍යයන්තරයට ගෙන යාමට උත්සාහ දරන ශිල්පිනියක් වන නිසායි. තවමත් නර්තනය අධ්‍යනය කරන අමා නර්තන කලාව පිළිබඳව දරන ආකල්පය මෙබඳුයි.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම අමා නෙත්මි. මගේ පදිංචිය කෑගල්ලේ. මම පාසැල් ගියේ කෑගල්ලේ ශාන්ත ජෝෂප් විද්‍යාලයට. උසස් පෙළ විභාගයෙන් පසුව ශිෂ්‍යත්වයකින් ඉන්දියාවට ගියා ඉගෙනගන්න. එහිදී බැලේ, කතක්, කන්ටෙම්පරි ඩාන්සින් ඇතුළු විෂයන් ඉගෙනගත්තා. දැන් ඒ සියල්ල ඉවර කරලා ආයෙත් භාත්ඛණ්ඩේ කතක් උපාධිය හදාරනවා.ENT-20200727-84

 

නර්තනය කියන්නේ පොඩිකාලේ තිබුණ හීනයක්ද?

මම පාසල් කාලේ ඉඳලාම හිතාගෙන හිටියේ නැටුම් ගුරුවරියකට වඩා නර්තන ශිල්පිනියක් වෙන්නයි.

 

නර්තන ශිල්පිනියක් වීමේ හීනයට ගෙදරින් ලැබුණු සහය මොනවගේද?

මගේ අප්පච්චි කලාවට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා ගෙදරින් සෑහෙන්න උදව්වක් වුණා. අප්පච්චි දැන් ජීවතුන් අතර නැහැ. ඒත් අප්පච්චි හැමතිස්සෙම කිව්වේ මට කැමති දේ කරන්න කියලා.

 

නර්තනය නිසා ලැබුණු දේවල් මොනවාද?

පාසැල් කාලේදි නර්තන තරඟවලින් ගොඩක් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඉන්දියාවේ ගියාට පස්සේ මට ගොඩක් අවස්ථා ලැබුණා මගේ හැකියාවන් පෙන්වන්න. ඉන්දියාවේ ආටිස්ට්ලාට තියෙන හොඳම වේදිකාව වන mumbai performing arts වේදිකාවේ ඩාන්ස් කරන්න අවස්ථාව ලැබුණා. දිල්ලි, කල්කටාවල තිබුණු ගොඩක් උත්සවවල වැඩකරන්න හැකිවුණා.

 

නර්තනය ජීවිතය වෙනස් කළාද?

ඔව්. මම ඉන්දියාවේ යන්න ගත්තු තීරණයේ ඉඳලාම ජීවිතේ වෙනස් වුණා. බැලේ ඉගෙනගන්න එක, කතකලී ඉගෙනගන්න එක මෙහෙ ඉඳලා කරන්න අමාරුයි. ඒ දේවල් හදාරන්න පුළුවන් වුණේ මම ඉන්දියාවේ ගිය නිසා. මම ඉන්දියාවේ යනවා කියලා තීරණය කරන්නේ ඉතා අමාරු අවස්ථාවකදී. මොකද ඒ අප්පච්චි මිය ගිය කාලයේදීමයි. ඉතින් නර්තනය මගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරලා තියෙනවා.

 

ඔබ මේ ක්ෂේත්‍රයේ දකින අඩුපාඩු මොනවාද?

ලංකාවේ බැලේ ඉගෙනගන්න තියෙන තැන් තියෙන්නේ දෙක තුනයි. අපි ශිෂ්‍යත්වයකින් හරි ගිහිල්ලා ඉගෙනගත්තා. ඒත් සමහරුන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. මෙහෙ ඉඳලා නැටුම් ඉගෙනගන්නවා නම් අවසානයේදී එයා නවතින්නේ නැටුම් ගුරුවරියක් වෙලා. එතනින් එහාට යන්න අවස්ථාවක් හදලා දෙන්නේ නැහැ. ලංකාවේ ෂෝ එකක් කරත් අපිට අනුග්‍රාහකයෝ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ලංකාවේ ඇතුළේ හැදෙන්න ඕනේ.

 

ඔබ ලබාගෙන තිබෙන දේවල් දිහා බැලුවාම ජීවිතේ තෘප්තිමත්ද?

ඇත්තටම ඉන්දියාවේ ඉගෙනගත්තු අවුරුදු හතර දිහා බැලුවාම නම් තෘප්තිමත් වෙනවා. මොකද එහෙට ගිහිල්ලා ඒ දේවල් හදාරද්දි තමයි තේරුණේ නර්තනය කියන්නේ මොනවගේ දෙයක්ද කියලත්. යන මාර්ගය හරි හඳුනාගත්තෙත් ඒ ලැබුණු අත්දැකීම්, දැනුමත් එක්කයි. ඒ නිසා යම්තාක් දුරකට තෘප්තිමත්.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ලොකුම හීනය හොඳ ඩාන්සර් කෙනෙක් වෙන්න. නැටුම් ගුරුවරිය කියන තැනින් එහාට ශිල්පියෝ යන්න ඕනේ. වෙඩින් ඩාන්සින්වලින් එහාට ශිල්පිනියෝ යන්න ඕනේ. ඒ තත්ත්වය ලංකාවේ තවම නැහැ. ඒ තත්ත්වය හැදෙයිද දන්නේ නැහැ. නමුත් ඒ දේවල් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ජාත්‍යයන්තර මට්ටමට ශිල්පීන් ගෙන එන්න ඕනේ. ඒ සඳහා ඉස්සරහටත් ඉගෙනගන්නවා.

 

කැළුම් දේවින්ද

 

ENT-20200727-81   ENT-20200727-83 ENT-20200727-82