මම හිතන්නේ ලංකාවේ ළාබාලතම ගී පද රචකාවිය මම කියලා
කළුතර ගුරුළුගෝමි මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු සත්සරා මද්දෙවිතාන මේ වනවිට ගී පද රචිකාවියක් ලෙස කටයුතු කරමින් සිටියි. පසුගියදා ඇයි සිය කුළුඳුල් ගී පද රචනය එළිදැක්වූ අතර, ඒ සඳරු ශාරදගේ හඬින් ගැයෙන ගීයකි. මෙවර ‘සාරවිට’ කතාබහ දිග හැරෙන්නේ සත්සරා සමගිනි.
මගේ වයස අවුරුදු 19යි. ගිය වසරේදි තමයි අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ කලා විෂය ධාරාවන් ඔස්සේ. පුංචි කාලේ ඉඳන් පොත් කියවන්න මම ගොඩක් ආසයි. ගෙදර පුස්තකාලයක් වගේ. ඒ තරම් පොත් තියෙනවා. අම්මා බනිනවා ඒත් ඉස්සර ඉඳන්. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් පොතක් අරන් කාමරේට යනවා. ඒ තරමට ආසයි පොත් කියවන්න. ඒ වගේම ලියන්නත්.
සත්සරා මේ වනවිට කෙටිකතා කිහිපයක්ම රචනා කර තිබෙන අතර, ‘මානසික’, ‘ජීවාත්ම’,’අත්භුත ප්‍රවාහනය’, ‘හඹායෑම’ හා ‘මළවුන් සොයා’ ඇය රචනා කර ඇති කෙටි කතා වේ. දැනට ඇය ‘දෙවෙනි මෙහෙයුම’ නමින් තවත් කෙටි කතාවක් රචනා කරමින්ද සිටියි.
ගී පද රචනයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බෙන්. මම ලියපු කෙටි කතා දැකලා ජිත්ම කඹුරුගම අයියා කිව්වා ගීතයක් ලියමුද කියලා. එහෙම තමයි සඳරු ශාරද අයියාට ගීතයක් ලිව්වේ. දැන් මේ ගීතය ලියලා මාස තුනක් විතර වෙනවා. ගීතය සංගීතවත් කළේ මට ගීතයක් ලියන්න ආරාධනා කරපු ජිත්ම අයියා. පසුගිය මාර්තු 01 වැනිදා මේ ගීතය එළිදැක්වුවා. දැනට මම තවත් ගීත කිහිපයක්ම රචනා කරමින් සිටිනවා. ඒ අතරින් ගීත දෙකකට ගී තනු හා සංගීතයත් හදලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ළාබාලතම ගී පද රචකාවිය මම.
සත්සරා මැද්දෙවිතානගේ වැඩිමහල් සොහොයුරිය තිරන්දි මැද්දෙවිතානද කලා ක්ෂේත්රයට සම්බන්ධ අයෙකි. ඇය ලංකාවේ ලාබාළතම වැඩසටහන් සංස්කාරකවරිය වන අතර, වෘත්තියෙන් හඬකැවිම් ශිල්පිණියක් ලෙසද කටයුතු කරමින් සිටියි. මේ වනවිට ‘තරුණයා ඔන්ලයින්’ යූටියුබ් චැනලයේ එළිදක්වන බොහෝ විඩියෝවලද ඇය සිය පසුබිම් හඬ එක් කර තිබේ.
මගේ අක්කා තමයි මාව මේ ක්ෂේත්රවලට යොමු කළේ. ඒ වගේම ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ මගේ ඥාති සහෝදරයෙක්. මගේ අම්මා අපි කුඩා කාළේ ගීත ගායනා කරලා තියෙනවා. හැබැයි දැන්නම් ඇය ගීත ගායනා කරන්නේ නැහැ. අපේ පවුලේ බොහෝ දෙනෙක් කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙච්ච අය. ඒ අභාෂය දැන් මටත් ඇවිල්ලා තියෙනවා. මම කවදාහරි බලාපොරොත්තු වෙනවා හොඳ පොතක් එළිදක්වන්න.
බුද්ධික සේනාධීර