මම 'හාර කෝටිය' ටෙලි නාට්‍යයේ හොඳ රසිකාවියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-19-ent-17

මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාව තුළ විකාශය වන ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන තුෂිණි ප්‍රනාන්දු වර්තමානයේ තරුණ පිරිස් අතර අතිශය ජනප්‍රිය නවක රංගන ශිල්පිණියක් බවට පත්ව සිටියි. ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම දායකව සිටින ඇය මෙවර ‘සාරවිට’ තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තේමු.

 

තුෂිණිගේ පළමු ටෙලි නාට්‍යයද ‘කෝටිපතියෝ’?2018-04-19-ent-19

ඔව්, රංගන ක්ෂේත්‍රයට මම එන්නේ ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යය හරහා. එහි ‘අංජලී’ කියන ප්‍රධාන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට අමතරව මේ දිනවල තවත් ටෙලි නාට්‍යයක වැඩ කරනවා. ඒ දනුෂ්ක එන්. පෙරේරා අධ්‍යක්ෂණය කරන ‘පින්ක්’ ටෙලි නාට්‍යයේ. එහි මා නීතිඥවරියක් විදිහට තමයි රඟපාන්නේ. ‘කෝටිපතියෝ’ වගේම ‘පින්ක්’ ටෙලි නාට්‍යයෙත් මම දායක වෙන්නේ ප්‍රධාන චරිතයට.

 

කෙටි කාලයක් තුළ දී ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න ඔබට හැකිවුණා කිව්වොත් හරි?

ඔව්, නමුත් මේ තරම් ඉක්මනට ප්‍රේක්ෂකයන් අතර මාව ජනප්‍රිය වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. ක්ෂේත්‍රයට ඇවිල්ලත් මම තාම මාස දෙකයි. ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ තවමත් විකාශය වෙලා තියෙන්නේ ඉතා සිමීත කොටස් ප්‍රමාණයක් පමණයි. ඉතින් මේ කෙටි කාලය තුළ දී ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න මට ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

 

‘කෝටිපතියෝ’ කියන්නේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ දෙවැනි කොටස?

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ හොඳ රසිකාවියක් මම. ඉතාලියේ ඉන්න කොට මම අනිවාර්යයෙන්ම නරඹන ටෙලි නාට්‍යයක් තමයි ‘හාර කෝටිය’ නාට්‍යය. මම කැමති නාට්‍යයක දෙවැනි කොටසට මට සම්බන්ධ වෙන්න ලැබුණා කියන එක මට තවමත් හීනයක් වගේ. ඒ වගේම තමයි මොරින් චාරුණි, රොහාන් විජේතුංග, සාරංග දිසාසේකර වැනි ප්‍රවීණ නළුනිළි පිරිසක් එක්ක පළමු ටෙලි නාට්‍යයේම වැඩ කරන්න ලැබුණ එක වාසනාවක් විදිහටයි මම දකින්නේ.

 

රංගන ශිල්පිණියක් වෙන්න හීන දැකපු කෙනෙක්ද තුෂිණි කියන්නේ?

නැහැ. ඒත්, නිළියක් වෙන්න ලොකු ආසාවක් මට තිබුණා. ඒ දේ හැමෝටම කරන්න බැහැ. අනික නිළියක් වෙන්න නම් රූපය විතරක් මදි, වාසනාවත් තිබිය යුතුයි. ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන කොට මම රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත්, වැඩ කරන්න ලැබුණ පිරිසත් එක්ක රංගනය ගැන මට යමක් ඉගෙන ගන්න මේ කෙටි කාලය තුළ දී ලැබුණා කිව්වොත් හරි. මේ වෙලාවෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕන ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා. ‘අංජලී’ කියන චරිතයට මම යම් සාධාරණයක් කළා නම්, ඒ ඔහුගෙන් ලැබුණ ගුරුහරුකම් මත කිව්වොත් හරි.

 

වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වෙන්න ඔබ කැමතිද?

ඔව්, වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වෙන්න මම කැමතියි. කොහොමත් මම කරමින් හිටිය රැකියාවත් නතර කරලා තමයි ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ‘කෝටිපතියෝ’ විකාශය වීමත් එක්ක වැඩ ගොඩක් මට ආවා. සමහර ඒවා මම ප්‍රතික්ෂේප කළා. මොකද, මට කරන්න බැහැ කියලා හිතුණ නිසා. ඒ වගේම තමයි මට නිතර පේන චරිතයක් වෙන්න උවමනා නැහැ. මේ ක්ෂේත්‍රය තුළ ඉක්මන් ගමනක් යන්න මගෙ අපේක්ෂාවක් නැහැ. රංගනය පිළිබඳව හොඳ හැදෑරීමක් එක්ක හොඳ නිර්මාණවලට දායක වෙමින් කලාවත් එක්ක රැඳිලා ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - චානුක කුලසේකර

 

2018-04-19-ent-16  2018-04-19-ent-18  2018-04-19-ent-20