මම සිනමාවෙන් රංගනයට පිවිසි නිළියක්
යොවුන් සිනමා නිළි සෙනාලි ෆොන්සේකා රඟන සුනිල් ආරියරත්නයන්ගේ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටය එළැඹෙන අගෝස්තු පළමු වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. මෙය ඩබ්ලිව්.එස්.සිල්වා විසින් රචිත ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්ද වේ. කාලයකට පසුව සෙනාලි ලාංකීය සිනමාව තුළ නැවත වරක් දකිනට ලැබෙන මුල්ම චිත්‍රපටය මෙය වීම නිසා මෙවර ‘සාරවිට’ කතාබහට අපි ඇයව සම්බන්ධ කර ගත්තේමු.
සෙනාලිව පසුගිය කාලයේ අපි කලා නිර්මාණ හරහා දුටුවේ නැහැ?
ඔව්. එක දිගට චිත්‍රපට කිහිපයක වැඩ කරපු නිසා විවේකයක් ගන්නත් එක්ක මම එංගලන්තයට ගියා. මෙහෙ මගේ පවුලේ ඥාතීන් වගේම, යහළුවෝ හිටියට එංගලන්තයේ තමයි මගෙ දෙමවුපියෝ ඉන්නේ. ඉතින් ඒ අයත් එක්ක කාලයක් ගත කරන්න හිතාගෙන තමයි එංගලන්තයට ගියේ. ලංකාවට නැවත ආවේ මම ‘විජයබා කොල්ලය’ මගේ අලුත්ම චිත්‍රපටය තිරගත වෙන නිසා.
මේ චිත්‍රපටය හැරෙන්න ඔබ රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක් තිරගත වීමට තියෙනවා නේද?
ඔව්, ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ මාව සිනමාව තුළ දකින පළමු චිත්‍රපටය තමයි ‘විජයබා කොල්ලය’. නමුත්, ඊට කලින් කරපු චිත්‍රපටයකුත් තියෙනවා. නමුත්, ඒක තවමත් ප්‍රදර්ශනය වුණේ නැහැ. ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපට තුනක් තිරගත වීමට තියෙනවා. නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ධනුෂ්ක රේමන්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ ‘පරිස්සමින් ඉන්න’, ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘එක ගේයි සොකරි’ හා ක්‍රිස්ට් ෂෙල්ටන් මහත්මයාගේ ‘යාත්‍රා’ කියන චිත්‍රපටවල මම රඟපෑවා. මේ චිත්‍රපටවල මම රඟපාන චරිත එකිනෙකට වෙනස්.
‘සිරිමල් එතෙනා’ හා ‘නීලමනි’ චරිත ගත්තොත් ඒවා එකිනෙකට වෙනස්?
‘සිරිමල් එතෙනා’ අහිංසක ගැමි චරිතයක්. ‘නීලමනි’ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ආදරණීය චරිතයක් වුණත් ඒක සුදු චරිතයක් වගේම තවත් විටෙක කළු චරිතයක් විදිහටත් දකින්න පුළුවන්. කොටින්ම කියනවා නම් ‘නීලමනි’ කියන්නේ මට මෙතෙක් ලැබුණු අභියෝගාත්මක චරිතයක්. නමුත්, මේ චරිතය ප්‍රේක්ෂකයා විසින් කොහොම බාර ගනියිද කියලා මම දන්නේ නැහැ. මොකද, මේක නවකතාවකින් උපුටාගත් චරිතයක්. කියවලා රසවිඳින චරිතෙයි, සිනමා නිර්මාණයක් හරහා දකින චරිතෙයි ලොකු වෙනසක් තියෙනවා.
‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයෙන් පස්සේ අපි ඔබව ටෙලි නිර්මාණ හරහා දුටුවේ නැහැ?
ගොඩක් වෙලාවට ඒකට හේතුව මම සිනමා නිර්මාණ කිහිපයක් එක්ක වැඩ කිරීම. මම සිනමාවෙන් රංගනයට පිවිසි නිළියක්. මම කැමතියි සිනමාව තුළ චරිතාංග නිළියක් විදිහට නමක් හදාගන්න. ඒ නිසා තමයි සිනමා නිර්මාණවලට වැඩිපුරම දායක වෙන් තීරණය කළේ. නමුත්, ටෙලි නාට්‍යය පැත්ත අමතක කරලා නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඊට දායක වෙනවා.
‘සිරිමල් එතෙනාට’ පස්සේ ඔබව ප්‍රේක්ෂකයන් අතර ඔසවා තැබුවේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලි’ චරිතය?
ඔව්, අදටත් ‘දිලී’ චරිතයට ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. මගෙ මුල්ම මෙගා ටෙලි නාට්‍යය තමයි ‘හාර කෝටිය’. ‘මෙගා’ ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න මම අකමැතියි. නමුත්, ‘දිලී’ චරිතයට තිබුණ කැමැත්ත නිසාම මම ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඉදිරියේ දී ‘දිලී’ චරිතයට වඩා හොඳ චරිතයක් ආවොත් මම බාර ගන්නවා.
ඡායාරූප - සන්දේශ් බණ්ඩාර