මම සිංදු කියලා සල්ලි හම්බකරන්නේ නැහැ
නිවේදිකාවක්, ගායිකාවක් ලෙස ජනාදරයට පත් වූ ඇය මේ වන විට මව් පදවිය තුළ ඉතාමත් කාර්ය බහුල චරිතයක් වී හමාරය. ව්‍යාපාරික කාන්තාවක් ලෙස බොහෝදෙනා හඳුනන ඇය අභිෂේකා විමලවීරය. අලුතින් ගීතයක් එළිදැක්වීමට සූදානම් වන ඇයගේ කලා කටයුතු සහ පවුල් ජීවිතය පිළිබඳ අපත් සමග මෙලෙස අදහස් බෙදාගනු ලැබීය.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල සුපුරුදු විදියට මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අලුත් සිංදුවක් කළා %නිස්සාර සංසාර^ කියලා. මේ මාසයේදී ඒකෙ මියුසික් වීඩියෝව කරන්න ඉන්නේ. සිරස ටීවී එකේ අලුත් වැඩක් පටන්ගන්නවා. රියලිටි ෂෝ එකක්. එහි නිවේදන කටයුතු කරන්න සූදානමින් ඉන්නවා.
පවුල් ජීවිතයත් එක්ක මේ දේවල් කරන්න කාල වේලාව වෙන්කර ගන්නේ කොහොමද?
අම්මලාගේ ගෙදරයි අපේ ගෙදරයි එක ළඟ තියෙන්නේ. උදේට උයල ගෙදර වැඩ කරලා මම වැඩට ආවාම බබාව බලාගන්නේ අම්මා. අම්මා ඉන්න එක ලොකු උදව්වක්. මට වඩා හොඳට අම්මා බලනවා කියල දන්න නිසා බබා පිළිබඳව ගැටලුවක් නැහැ. බබා වුණත් මාත් එක්ක ඉන්නවට වඩා අම්මත් එක්ක ඉන්න තමයි කැමති. මහත්තයාගෙනුත් ඇත්තටම ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ එයා එපා කීවොත් දෙයක් මට කරන්න බෑනේ. මහත්තයා, එයාගෙ අම්මා, තාත්තා ඇතුළු හැමෝගෙන්ම ලැබෙන සහය නිසා තමයි හැමදේම සමබරව කරගෙන යන්නේ. තාත්තගේ වියෝවත් එක්ක පහුගිය ටිකේ වැඩකටයුතු මොකුත් කළේ නෑ. පස්සෙ මම කල්පනා කළා තාත්තා හිටියනම් මම වැඩක් නොකර ඉන්නකොට එයා තවත් දුක්වෙයි කියලා. එහෙම හිතල තමයි අලුත් වැඩේ කරන්න පටන්ගත්තේ. ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි හැමදේම සමබර කරගෙන කරන්න පුළුවන් වෙන්නේ.
ව්‍යාපාර කටයුතු නිසා ඔබ ගායනයෙන් ඈත්වෙලා නේද?
මම එහෙම එක සිංදුවක් ඉවර වෙනකොට තව එකක් කරන කෙනෙක් නෙවෙයි. මම කොහොමත් අවුරුද්දකට එක සිංදුවක් විතර තමයි කළේ. නමුත් මම "රිදි රිදී" සිංදුව කළාට පස්සෙ තාම සිංදුවක් කරන්න බැරිවුණා තාත්තගේ ප්‍රශ්නය නිසා. %නිස්සාර සංසාරය^ කරන්න හිටියේ මීට ගොඩ කාලයකට කලින්. හැබැයි වෙච්ච ප්‍රශ්නත් එක්ක ගොඩක් පරක්කු වුණා. බිස්නස් එක හින්දා සිංදු කරන්නෙ නෑ කියන්න බෑ. බිස්නස් එක කියන්නේ මගේ ආදායම් මාර්ගය. සිංදු කියනවා කියන්නේ මගේ ආදායම් මාර්ගය නෙවෙයි. මගේ විනෝදාංශය. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳව හැදෑරීමක් කරනවා. ඒ හැමදේම කරන්නේ සංගීතයට තියෙන ආදරය නිසා. නමුත් අපිට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් ඕනනේ. ඒ නිසා තමයි Wedding Dress සහ සැලුන් එක කරගෙන යන්නේ.
දැනට කරපු නිර්මාණ ගැනත් කතා කරමු නේද?
දැනට මගේම කියල සිංදු විස්සක් විතර කරල තියෙනවා. මියුසික් වීඩියෝ කරල තියෙනවා හතරක්. අර විස්සට අමතරව චිත්‍රපට ගීත පහක් හයක් විතර කියල තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය සඳහා ගීත කියල තියෙනවා. මේ දිනවල "ආදරෙයි මං ආදරෙයි" ගීතය ප්‍රචාරය වෙනවා. සිරසෙ ලබන මාසෙ පටන් ගන්නවා අලුත් නාට්‍යයක්. එහි ප්‍රදීප් රංගනත් සමග කියූ ගිතයක් තියෙන්නේ. ඒ වගේම උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ "වස්සානය සඳ^ කියල චිත්‍රපටයක් එනවා. එහි අමල් අයියත් එක්ක යුග ගායනයක් කළා. ඔක්කොම සිංදු 40ක් විතර වගේ කියල ඇති.
ගීත ගොඩක් බිහිවුණාට මියුසික් වීඩියෝ සුළු ප්‍රමාණයක් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අතරින් රසිකයන් කැමති ඕඩියෝ ගීත සඳහාද? වීඩියෝව සමග ඇති ගීත සඳහාද?
මම ගොඩක් පරණ සිංදු කියනවනේ. ITN සංහිඳ, ඩෙල් ස්ටූඩියෝ වගේ වැඩසටහන්වල රුක්මණී දේවි, ලතා වල්පොල වගේ අයගේ ගීත ගායනා කරන්න කතා කරනවා. ඒව කියල යූටියුබ් එකේ ගියාම, ඒවටත් ප්‍රතිචාර ලැබෙනවා. ඒවා බලලා හොඳයි කියන අය ඉන්නවා. ඒ ගොඩක් වයසින් වැඩි අය. අවුරුදු 40-50ට වැඩි අය මියුසික් වීඩියෝ බලන එක අඩුයි. ඒ අය ගොඩක් හොයන්නේ පරණ සිංදු. ෆේස්බුක් එකේ එහෙම පරණ සිංදුවලට කැමති වෙනමම පිරිසක් ඉන්නවා. කැම්පස්යන අය, රැකියාවල් කරන අය, පාසල් යන අය අතර තමයි මියුසික් වීඩියෝ කියන එක තියෙන්නේ.
මගේ ගීත ගොඩක් ස්ලෝ ඒවා තියෙන්නේ. FM වල එහෙම මගේ සිංදු ගොඩක් ප්‍රචාරය වෙන්නේ රෑට. උදේ දවල් ප්‍රචාරය වෙන්නෙ නෑ. ඒ හින්දා එක ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියල කියන්න බෑ. හැම පැත්තෙන්ම වෙනම වෙනම රසවින්දනය තියෙන පිරිසක් ඉන්නවා.
ඔබත් පෞද්ගලික වශයෙන් අද ගායනා කරන ගීතවලට වඩා පැරණි ගීතවලට ආදරය කරන කෙනෙක්ද?
අනිවාර්යෙන්ම. අද ගයන ඒවට වඩා කියන්න බෑ. මොකද පරණ ගීත හරි ලස්සනයි. පරණ ගීත ගොඩක් හැදිල තියෙන්නේ හින්දි තනුත් එක්ක. ඒවා හරිම Classical. රාගත් එක්ක හැදිලා තියෙන්නේ. මිනිස්සුන්ට හරියට දැනෙනවා. ඒ ගායක ගායිකාවන්ටත් අපි ආදරෙයිනේ. ඇන්ජලි ගුණතිලක, සුජාතා අත්තනායක, එච්.ආර් ජෝතිපාල, පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි ඒ වගේ පරම්පරාවක් ආයෙ එන්නෙ නෑනේ. ඒ ගොල්ලන්ට තියෙන ආදරයත් එක්ක ඒ ගීතවලට තියෙන ආදරය වෙනමම කතාවක්. එහෙමයි කියලා දැන් කාලෙ සිදුවලට ආදරෙ නෑ කියන්න බෑ. දැන් කාලෙ ගත්තොත් සනුක, උමාරියා ඒ ගොල්ලන්ගේ ලස්සන සිංදු තියෙනවා. ඒ ගොල්ලන්ගේ සිංදු ගැන ඉදිරි පරම්පරාවක් කතා කරයි.
ආර්ථිකය මුල්කරගෙන එහෙමත් නැත්තනම් මාර්කට් කරන්න ගීත නිර්මාණය කරන්න ඔබට ආරාධනා ලැබෙන්නේ නැද්ද?
ආරාධනා ලැබෙනවා. ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ. එක්කො රිගින් ටෝන්වලට සිංදු කියන්න. එක්කො පැකේජ් එකක්, මෙච්චර ගාණක් දෙන්නම්, හැබැයි අපේ කම්පැනි එකට සිංදු 10ක් කරන්න ඕන, මේ ගාන දෙනවා, වෙන අය එක්ක ගිවිසුම් ගහන්න බෑ, මේ කාලෙ අපිත් එකක් ඉන්න ඕන ඒ වාගේ ඒවා. එහෙමත් නැත්නම් මොකක් හරි වෙළෙඳ සන්නාම තානාපති කෙනෙක් විදියට මොකක් හරි එකක් නියෝජනය කරන්න ඕන. වෙන ඒවට යන්න බෑ. එහෙම ඒවා තමයි ගොඩක් තියෙන්නේ. ආරාධනා ලැබිල තියෙනවා. මම කලින් කීවා වගේ මට වෙනමම ආදායම් මාර්ග දෙකක් තියෙනවා. ඒ හේතුව නිසා ඒ ඉල්ලීම භාරගන්නේ නෑ. හැබැයි එහෙම කරන අයට මම වැරදියි කියන්නේ නෑ. මොකද ඒක වෙනමම සංස්කෘතියක්.
අභිෂේකා කියන චරිතය, කලාව විකුණන්නේ නෑ කියන තැන ඉන්න කෙනෙක්ද?
මෙහෙම එකක් තියෙනවා. මම දැනට සහ මගේ අතීතය ගත්තොත් මම කවදාවත් ස්ටේජ් එකකට නැගලා සිංදුවක් කියල නෑ. ඒ කියන්නේ ප්‍රසංග වේදිකාවට ගිහිල්ලා නෑ. එකපාරක් ගිහිල්ලා තියෙනවා හිරු මෙගා බ්ලාස්ට් එකට. %ආදරෙයි මං ආදරෙයි^ සිංදුව කිව්වේ මම. ඒක වෙන කෙනෙක් ලවා කියවන්න බෑනේ. ඩ්‍රාමා එක ප්‍ර‘මෝට් කරන්න ඕන නිසා ඒ සිංදුව විතරක් කියල මම බැස්සා. වෙන ඒවා මම කියන්න ගියේ නෑ. ඒ ඇරෙන්න එළිමහන් ප්‍රසංග, පිටරට ෂෝස් වලට මම ගිහිල්ලා නෑ. දැනුත් මම ප්‍රතිපත්තියක ඉන්නවා මම යන්නෙ නෑ කියලා. මොකද දැනට මට ආර්ථික පැත්තෙන් එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. සිංදු කියලා මට තව ආදායම් මාර්ගයක් හදාගන්න ඕන නෑ. හැබැයි මම දන්නෙ නෑ හෙට මට මොනවා වෙයිද කියලා. ගංවතුර ඇවිදින් මිනිස්සුන්ට හැමදේම නැතිවෙලා ගියා. සුනාමි ඇවිත් මිනිසුන්ගේ සියලුම දේවල් ගහගෙන ගියා. ඒ වගේ තත්ත්වයක් මට ආවොත් මගේ ඔක්කොම බිස්නස් කඩාගෙන වැටිලා, කරගන්නම දෙයක් නැති වුණොත් නම් කලාව පැත්තට යයි. එහෙම කරන මිනිස්සුන්ට මම වැරැද්දක් කියන්නෙ නැත්තේ ඒකයි. ඇත්තටම ලංකාවේ හෝ පිටරටක ගත්තොත් කලා නිර්මාණයක් විකුණනවා කියන කතාවට මම ආසා නෑ. ඕනම නිර්මාණයකට වටිනාකමක් තියෙනවා. අපේ රටේ කලාකරුවන්ට ඕක නැතිවුණාට පිටරට අය ගත්තාම ඒ අය බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා ඉවරයි. කලාකාරයො කියන අය පල්ලෙහාට දාලා, ඒ මිනිස්සුන්ට සල්ලි නෑ. ඒ මිනිස්සුන්ගේ රසවින්දනය විතරයි කලාව කියන්නේ. හම්බකරන්න බැරි එකක් කියල තියෙන්නේ ලංකාවෙනෙ. හැබැයි එහෙම විය යුතු නැහැ. භාතියලා, ඉරාජ් වුණත් ඒ ගොල්ලො දන්නවා මාර්කටින් එකත් එක්ක කොහොමද කලාව කරගෙන යන්නේ කියන එක. හැබැයි කලාව තනිකර ව්‍යාපාරයක් විතරක් කරගන්න එකට නම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි. කලාව කියන එක ඇතුළේ මිනිස්සුන්ට මොකක් හරි දෙයක් අපි දෙන්න ඕන. පිටරට මිනිස්සු මියුසික් වලින් මිනිස්සුන්ගේ ජීවිතයට දෙයක් එකතු කරනවා. ඒ එකතු කරලා තමයි ඒ මිනිස්සු තමන්ගේ ජීවිතයට සල්ලි කීයක් හරි හොයාගන්නෙ. හැබැයි තියෙන තියෙන ඔක්කොම කුණුහරුප ටික පෙන්නලා හරි, මිනිස්සුන්ගෙ ඔළු විකෘත්ති කරලා හරි සල්ලි හොයන්න හොඳ නෑ. මියුසික් කියන්නේ මාර ලස්සන දෙයක්නේ. ජීවිතයක් මරණයෙන් ගලවගන්න පුළුවන් දෙයක්නේ මියුසික් කියන්නේ. එහෙම දෙයක් දීලා ඒකට යළිත් දෙයක් බලාපොරොත්තු වුණාට කමක් නෑ.
රංගනයට යොමුවෙන්න ආරාධනා ලැබිල නැද්ද?
තියෙනවා. ටෙලි නාට්‍යවලටයි, චිත්‍රපටවලටයි කතා කළා. පළවෙනි එක මට රඟපාන්න බෑ. දෙවෙනි එක අපේ තාත්තා කැමතියි මම රඟපාන්න යනවට, නමුත් මගේ මහත්තයවත්, එයාගෙ අම්මා, තාත්තවත්, පෞද්ගලිකව මමත් දැන් රඟපාන්න කැමති නෑ. ඉස්සර එක ෆිල්ම් එකක් විතරක් කරලා බලනවා වගේ ආසාවක් තිබුණා. දැන් මට ඉන්නෙ දුවෙක්නේ. අපි රඟපානවා කියන ක්ෂේත්‍රයේ කොච්චර හොඳට හිටියත් ලංකාවේ සහ ලෝකයේ මිනිස්සු ක්ෂේත්‍රය දිහා බලන විදිය හරිම වෙනස්. ඒ නිසා අතින් ක්ෂේත්‍රයන්ට වඩා කොච්චර හොඳට හිටියත් කතා හැදෙන ප්‍රමාණය වැඩියි. ඒක දරාගන්න පුළුවන් අය ඉන්නවා. අපි හිතමුකෝ ඒ මට්ටමට හිත දියුණු කරගෙන %මිනිස්සු මොනවා කිව්වත් කමක් නෑ, මම දන්නවා මම කව්ද කියලා, මගේ මහත්තයා දන්නවා කව්ද කියලා, මගේ දරුවො දන්නවා, ඒක නිසා උඹලා ඕන එකක් කියපල්ලා මට අවුලක් නෑ* කියලා ශක්තිමත්ව ඉන්න පුළුවන් චරිත ලංකාවේ ඉන්නවා. හැබැයි පෞද්ගලිකව මම එහෙම ශක්තිමත් නෑ. කවුරුහරි කෙනෙක් මට මොනවහරි දෙයක් කිව්වොත් මම ඒක ගැන හිතනවා සහ මගේ වැඩ අඩාල වෙනවා. ඒ නිසා මම රඟපාන්නේ නෑ. මියුසික් වීඩියෝ බැලුවත් මම රඟපාන්න කෙනෙක් අරන් තියෙනවා. මොකද සමහර අවස්ථා සඳහා මට සහභාගී වෙන්න බෑ. මට ඉන්නේ දුවෙක්. කවදා හරි කිව්වොත් ඔයාගෙ අම්මා මෙහෙමයි කියලා. මම ඒකට ආස නෑ.
ජීවිතේ ලොකු බලාපොරොත්තු ගොන්නක් එක්කද ඉන්නේ?
එහෙම ලොකු බලාපොරොත්තු පොදි ගහගෙන නැහැ. නමුත්, මගෙ තියෙන්නේ Wedding Dress Shop එකකුයි, සැලුන් එකකුයි. තව පොඩි අදහසක් තියෙනවා ඉන්දියන් ජුවලරි සහ ඉන්දියන් ඩිසයින් ඒ කියන්නේ එකකින් එකක් විතරක් තියෙන ලස්සන දේවල් ටිකක් දාලා ෂොප් එකක් දාන්න. ඊට අමතරව මම කරගෙන යන විභාග ටික ඉවර කරගෙන හොඳින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha