මම සැහැල්ලු ඇඳුම් අඳින්න ගොඩක් කැමැතියි
වේදිකාවෙන් පුංචි තිරේට පැමිණ කසුනි කාවින්ද්‍යා මේ වනවිට ලාංකීය සිනමාවටද පිවිසිමට සූදානමින් සිටින්නීය. විලාසිතා කරන්නටද දැඩි ප්‍රියතාවයක් දක්වන ඇය සමග අපි ඇය කැමැති විලාසිතා ගැන මෙවර කතා බහ කළෙමු. මේ අප ඇසු ප්රශ්නවල ඇය දැක්වූ ප්‍රතිචාරයි.
විලාසිතාවලට කසුනිගේ තියෙන කැමැත්ත කොයි වගේද?
විලාසිතාවලට ගොඩක් කැමැතියි. විලාසිතා කිව්වාම වර්ග ගොඩක් තියෙනවා. මම ගොඩක් වෙලාවට විලාසිතා කරන්නේ ඇඳුම් පැළඳුම් තමයි. මට ගැලපෙනවා කියලා හිතන ඕනෑම ඇඳුම් විලාසිතාවක් මම කරනවා. ඊට අමතරව විවිධ කොණ්ඩා විලාසිතාවලටත් මම කැමැතියි.
සාමාන්‍යයෙන් මාසයකට ඇඳුම් කොපමණ මිලදී ගන්නවාද?
එහෙම නැහැ. හැම මාසේකම ගිහින් මම ඇඳුමක් ගන්නේ නැහැ. මට හිතුණොත් දැන් ඇඳුමක් ගන්න අවශ්‍යයි කියලා මම ඇඳුමක් ගන්නවා. හෙට තව ඇඳුමක් ගන්න අවශ්‍යයි කියලා හිතුණොත් ගන්නවා. සමහරක් විට ඊට පස්සේ මම මාසයකින් විතර ඇඳුමක් ගන්න නැති වේවි.
විලාසිතා කරන්න වැඩියෙන්ම කැමති ඇඳුම් තියෙනවාද?
ගොඩක් වෙලාවට මම සැහැල්ලු අඳින්න කැමතියි. දිග කලිසමට ටී ෂර්ට් එකක් ඇඳලා ඒකට ගැළපෙන සෙරෙප්පු දෙකක් දාගෙන කෙටි ගමන් බිමන් යන්න ආසයි. සමහර වෙලාවට මම කොට ගවුම් එහෙමත් අඳිනවා. ගොඩක් වෙලාවට තැනට උචිත විදිහට තමයි ඇඳුම් තෝරගන්නේ.
ගන්න ඇඳුමක් කොච්චර කල් අඳිනවාද?
පුළුවන් කාලයක් අඳිනවා. වැඩසටහනකට හරි පොටෝ ෂූට් එකකට හරි ඇඳුමක් ඇන්ඳොත් ආයේ තවත් තැනකට ඒ ඇඳුම අඳින්න බැහැ කියලා මතයක් තිබුණත් මම එහෙම නැහැ. ඒ ඇඳුමම මම තව තැනකට ඇඳගෙන යනවා. මම ගන්න ඇඳුමක් එහෙම එක පාරක් දෙපාරක් ඇඳලා ඉවත දාන්නේ නැහැ.
කසුනි ඇඳුම් ගන්න විශේෂ තැන් තියෙනවාද?
නැහැ. හැබැයි ගොඩක් වෙලාවට %කැන්ඩි^ එකට යනවා ඇඳුම් ගන්න.
ගන්න ඇඳුම් හුවමාරු කරගන්න අවස්ථා තියෙනවාද?
ඔව්, මගේ අක්කා එක්ක. ගොඩක් වෙලාවට ඇයත් එක්ක තමයි මම ඇඳුම් ගැන කතා කරන්නෙත්. එයාට මගේ ඒවා වගේම මට එයාගේ ඇඳුමුත් ගොඩක් වෙලාවට ගැලපෙනවා.
විලාසිතා කරද්දි සීමා තියෙනවාද?
නැහැ. මට ගැලපෙනවා කියලා හිතෙන ඕනෑම ඇඳුමක් මම අඳිනවා. ඉස්සර නම් කොටට අඳින්න මම ටිකක් අකමැතියි. නමුත්, දැන් එහෙම දෙයක් නැහැ. කොට දිග, ප්‍රශ්නයක් නැහැ.
බුද්ධික සේනාධීර