මම සමාජ සත්කාර කරන්නේ අද ඊයේ ඉඳලා නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2650

‘සල්සපුනා’ ටෙලි නාට්‍යයේ ‘පොඩි පත්තරකාරි’ ලෙස අදටද බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියව සිටින මිෂෙල් දිල්හාරා වර්තමානයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මෑත කාලයේ එකිනෙකට වෙනස් විවිධ චරිතාංග තුළින් ප්‍රේක්ෂකයා හමුවු ඇය මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබේ. මෙවර කතාබහ දිග හැරෙන්නද මිෂෙල් සමගය.

2019-12-18-ent-2651

මිෂෙල් සමාජ සත්කාරයන්වලට මේ තරම් ලැදි ඇයි?

මට තෙරේන කාළේ ඉඳලා මම සමාජ සත්කාර කරනවා. විශේෂයෙන්ම වැඩිහිටි පිරිස්, අසරණ දරුවෝ වෙනුවෙන්. මම මුලින්ම සමාජ සත්කාරයට යොමු වුණේ වයස අවුරුදු 15 ඉඳලා. මුලින්ම මම ළමා නිවාස කිහිපයකම ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට වැඩ කළා. වයස අවුරුදු 15දී පටන් ගත්ත ඒ සමාජ සත්කාරයන් අදටත් එදාට වැඩිය ඉහළින් මම කරගෙන යනවා. පසුගිය පෙබරවාරි 14 වැනිදා මම දිවුලපිටිය නගරයේ පදිංචිව සිටින විශ්‍රාමික වැඩිහිටි පිරිස් 200කට ඇස් කණ්නාඩි ප්‍රදානය කළා. මම මගේ උපන්දිනය වෙනුවෙන් හැම වසරකදීම මෙවැනි සමාජ සත්කාරකයන් කරනවා. කොටින්ම කියනවා නම් මම සමාජ සත්කාර කරන්නේ අද ඊයේ ඉඳලා නෙමෙයි.

 

මේ හැම දෙයක් අතරේම සමාජ සත්කාරවලටත් කාලය හදාගන්නේ කොහොමද?

ඇත්තටම, මේ වැඩ කරද්දි මා සමග සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා. පසුගියදා ඇස් කණ්නාඩි බෙදාදිමේ වැඩසටහනටත් විශාල පිරිසක් මා සමග සම්බන්ධ වුණා. විශේෂයෙන්ම මේ මොහොගේදී ඒ කාර්යයට උරදුන් මනුෂා නවරත්න, දනුෂ්ක ක්ලාක්, පසිදු මදුරංග හා ගනේවත්ත බෝදිමලු පුරාණ විහාරයේ විහාරාධිපති පණ්ඩිත අති පූජ්‍ය වරාදල විමල බුද්ධි ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ හැම ප්‍රජා සත්කාරකයකටම මාධ්‍යයෙනුත් ඉහළ දායකත්වයක් මට ලැබුණා. මේ හැම සමාජ කටයුත්තක්ම කරන්නේ මා උපයන මුදලින්.

 

කතුවරියක් විදිහටත් ඔබ මෑතකදී කතා බහට ලක් වුණා නේද?

ඔව්, සිවුවසරක් මගේම අත්දැකිම් සහිතව කළ සමික්ෂණයක ප්‍රතිපලයක් විදිහට තමයි මම මේ පොත එළිදැක්වුයේ. පොතේ නම තමයි ‘Social Invisibility Is Not a Fiction It Exists’. මෙහි සිංහල තේරුම තමයි ‘සමාජ අදෘශමානතාවය මිත්‍යාවක් නොව එය පවතින්නක්’ යන අදහස. මේ පොත නිර්මාණය කරද්දි ජ්‍යෙෂ්ට මහාචාර්යවරියක් වන ඇන්ටනෙටි පෙරේරා මහත්මිය, වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය මහතා හා මහාචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා ලබාදුන් සහය අමතක කරන්න බැහැ. මේ පොත මම ජාත්‍යන්තරයට තමයි එළිදැක්වුයේ. ඒ නිසා ඉහළ ප්‍රසිද්ධියක් මට මේ පොත හරහා ලැබුණා. විශේෂයෙන්ම වීර චරිත පදනම් කරගෙන ටෙලි නිර්මාණය කරන රූපවාහිනි චැනල් කිහිපයකම සම්මුඛ සාකච්ඡාවල් සඳහා මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

 

මේ පොත වෙනුවෙන් ඔබට සම්මානයක් හිමිවුණා?

ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පැවැති ලෝක තරුණ සමුළුවේ ‘ජාතික තරුණ සම්මානය 2019’ කියන සම්මානය තමයි මට හිමි වුණේ. ඒ සම්මානය මට ලැබුණේ මේ පොතට හා එහි අන්තර්ගත කරුණ කිහිපයක් වෙනුවෙන්. මම විසින් රචිත මගේ පළමු පොතටම ජාත්‍යන්තර සම්මානයක් හිමි වීම ගැන. මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ පොත තුළ ඇතුළත් න්‍යායන් ප්‍රයෝගිකව ස්ථාපිත කරලා තියෙනවා.

 

ඔබව දකින්න ලැබෙන ටෙලි නිර්මාණ මොනවද?

‘හාරත හේරා’ ටෙලි නාට්‍යයේ රූපගත කිරිම් කටයුතු කරගෙන යනවා මේ දිනවල. ඊට අමතරව ඉරේෂ් ලොකු බණ්ඩාර මහත්මයාගේ ‘වරමද්ද’, නිමල් රත්නායක මහත්මයාගේ ‘කිසා’ හා තිළිණ බොරලැස්ස මහත්මයාගේ අපි නැති අපි’, රොෂාන් වීරසිංහ මහත්මයගේ ‘සිහින කුමාරි’, සුමුදු වෙල්ලාලගේ ‘මනු සත්තු’ ටෙලි නාට්‍යවල වැඩවලට දායක වෙනවා.

 

තවමත් ‘පොඩි පත්තකාරි’ චරිතයට ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක් නැද්ද?

නැහැ තවමත් ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතර කතා බහ වෙනවා. ‘පොඩි පත්තරකාරි’ චරිතයට අමතරව මෑතකදී ගොඩ දෙනෙක් කතා කරපු චරිතයක් තමයි ‘සුදු ඇවිදින් කළු ඇඳගෙන’ ටෙලි නාට්‍යයේ ‘අයෝමි’ කියන චරිතය. මා මෙතෙක් රංගනයෙන් දායක වුණ වෙනස්ම විදිහේ චරිතයක් කිව්වොත් නිවැරදියි. ඇත්තටම, මම ගොඩක් වෙලාවට භාරගන්නේ සමාජයට යම් පණිවිඩයක් දෙන චරිත. ඉදිරියේදී මාව එවැනිම චරිත තුළින් මගේ ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගන්න පුළුවන් වේවි.

 

බුද්ධික සේනාධීර

 

2019-12-18-ent-2649