මම සද්දන්ත කුලේ කෙල්ලෙක්
සුමුදු.. මේ දිනවල රංගනයට එකතුවෙලා ඉන්නවා. අපි මුලින්ම ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද?
ඔව්.. මම මේ දවස්වල “මායාරාජිනි කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙදී මම රඟපාන්නේ “අනූපමා සහ “මායාරාජිනි කියන චරිත දෙකක්. මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇතිකරපු නිර්මාණයක් තමයි “මායාරාජිනි කියන්නේ. මේ කතාව ඇතුළේ මගේ ජීවිතේට සම්බන්ධ දේවලුත් තියෙනවා. මාත් කුරුණෑගල ගමේ හැඳිලා කොළඹට ඇවිත් ජීවිතේට මුහුණ දුන්නු සිදුවීම් තියෙනවානේ. ඉතින් මේ අනූපමා කියන චරිතයටත් ඒ වගේ මුහුණ දුන්නු සිදුවීම් ටිකක් තියෙනවා. ඉතින් මම හරිම ආසාවෙන් වගේම ගොඩාක් කැපවීමෙන් “මායාරාජිනි නිර්මාණයට සම්බන්ධ වෙනවා.
ටෙලි නාට්‍ය රූගත කිරීම් කරන්නේ ටිකක් දුෂ්කර පළාතක. ඒ ලබපු අත්දැකීම් කොහොමද?
මේ ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන්නේ ආනමඩුව ප්‍රදේශයේ. ඒ පළාත ටිකක් දුෂ්කරයි. නමුත් ගමේ මිනිස්සුන්ගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ මිනිස්සු හරිම හරි හොඳයි. මට දවස ගානේ එක එක පළතුරු ඒ හැමෝගෙන්ම ලැබෙනවා.
හැමෝම හරි ආදරෙයි. ඒ පරිසරය ටිකක් දුෂ්කරයි. මුල් දවස්වල ඒ පරිසරයට ටිකක් හැඩගැහෙන්න අමාරැයි. එහේ ඉඳන් ආයෙත් කොළඹ එද්දී ලොකු වෙනසක් දැනෙනවා... ඒත්.. මම ඒ මිනිස්සුන්ට හරි ආදරෙයි.
කුරුණෑගලදී සුමුදු ගෙවපු ළමා කාලය ආයෙත් මතක් කළොත්?
ඇත්තටම අද ඉන්න දරුවන්ට වඩා ඒ කාලේ අපි ගතකරපු ළමා කාලයේ ලොකු වෙනසක් තියෙනවා. මගේ ගම කුරුණෑගල දොඩම්ගස්ලන්දේ. අපි ඇළදොළවල ඇතිතරම් සෙල්ලම් කරලා තියෙනවා. වෙල්යායවල්, කඳු එකක් ගෙවපු ඒ කාලය හරිම ලස්සනයි. පුංචි කාලේ අපි වැඩිපුරම ගස්වල තමයි හිටියේ. ගස් උඩ ඉඳගෙන අපි පළතුරු කෑවේ. ඇත්තටම ඒ ළමා කාලය අද බොහෝ දරුවන්ට නැහැ. අදටත් මම මගේ පුතාවත් ගමේ එක්කගෙන ගිහින් එයාටත් උපරිමයෙන් ඒ සුන්දරත්වය, ළමා කාලය විඳින්න ඉඩ ලබලා දෙනවා. ඇත්තටම ඒ සතුට සෑම දරුවෙක්ම ළමා කාලයේදී විඳින්නට ඕනේ. කොළඹ හිටියත් අදටත් මම තාමත් ආස ගමේ ගිහින් ඉන්නයි. ඇත්තටම ගමට ගියාම තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. අපිට නිවාඩුවක් ලැබුණු ගමන් අදටත් අපි තුන්දෙනා ගමේ යන්නේ ඒ සතුට විඳින්න ඕන නිසයි.
සුමුදුගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කයි, අයියලා දෙන්නයි. මම තමයි පවුලේ බාලයා. ඒ තුන්දෙනා එක්ක ළමා කාලය උපරිමයෙන් වින්ඳා. පොඩි අයියයි මමයි ගොඩාක් කිට්ටුයි. අපි දෙන්නා ඉස්සර පොඩි කාලේ ඇති තරම් ගහගන්නවා. හැබැයි මට එයාව නැතිවත් බැහැ. ඒ සුන්දර ළමා කාලය ගැන ඇත්තටම මතක් කර කර සතුටු වෙන්න පුළුවන්. අපි හැදුණේ වැඩුණේ අපේ වයසේ තව නෑදෑ වෙන සහෝදර සහෝදරියන් එක්කයි. ඉතින් අපි හැමෝම එකට සෙල්ලම් කළා. මගේ පවුලේ හැමෝම හරි උසයි. ඉතින් අපි ඔක්කොම පාරට බැස්සම “අන්න සද්දන්ත කුලේ කට්ටිය එනවා. කියලා කියනවා.
සුමුදු ක්‍රීඩාවට ආසයි නේද?
ඔව්... අපේ පවුලේ බොහෝ දෙනා ක්‍රීඩාවටත් දක්ෂයි. අපි ක්‍රීඩාංගනයට යද්දීත් ඒ කාලේ අපේ වයසේ අය බය වෙනවා. ඒ වගේම පාසල් නිවාසවලට අපිව ගන්න පවා යාළුවෝ ඉස්සර පොරකෑවා. මම මුලින්ම ගමේ පාසලට ගියේ. පසුව කුරුණෑගල මලියදේව බාලිකාවට ඇතුළත් වුණා.
පාසලේදී සුමුදු මොනවගේ චරිතයක් ද?
පාසලේදී මම හාත්පසින්ම වෙනස් චරිතයක්. හරියට කොල්ලෙක් වගෙයි. ඒ කාලේ මම කොණ්ඩේ කොටටම කපලයි හිටියේ. ලොකු කලිසම් ඇඳලා ලොකු සපත්තු දාලා තමයි පාරේ යන්නේ. මට තාම මතකයි සමහරදාට අයියාලාගේ කලිසම් පවා ඇඳලා තියෙනවා. මම ඒ කාලේ චූටිම චූටි කරාබු දෙකක් තමයි දාලා තියෙන්නේ. ඒකත් පේන්නේ නැති තරම්. ඒ හැමදේටම හේතුව වුණේ ක්‍රීඩා කරපු නිසයි. ඒ කාලේ මාව දැකපු අය අද මාව දකිද්දී සමහරදාට මම කියලා විශ්වාස කරන්නේත් නැහැ. ඒ කාලේ ලස්සන ගැන පොඩ්ඩක්වත් හිතුවෙවත් නැහැ. වැඩිපුරම කාලය ගෙවුවේ අව්වේ, පිට්ටනියෙම තමයි.
ළමා කලායේදී හීන දැක්කේ කවුරු වෙන්නද...?
පුංචි කාලේ ඉඳන් ක්‍රීඩාවට දක්ෂ නිසා ක්‍රීඩාවෙන් රට නියෝජ්‍යනය කරන්න ආස වුණා. මගේ ජීවිතේ වැඩි කාලයක් ළමා කාලයේදී මම යොමු කළේ ක්‍රීඩාවටයි. මට සිදුවුණ අනතුරක් නිසා ඒ හැමදේම නතර කරන්න මට සිදුවුණා. මාස ගාණක් යනතුරුම එකතැන් වෙලා හිටියේ. මට වයස අවුරුදු දාසයේදී මාව බස් රථයකට හසුවුණා. ඒ නිසාම ක්‍රීඩාව මගේ අතින් ටිකක් ගිලිහුණා.
රූපය ගැන පොඩ්ඩක්වත් සැලකිල්ලක් නොතිබුණු සුමුදුගේ ජීවිතේ වෙනස් වුණේ කොතනින්ද?
කුරුණෑගල රූප සුන්දරී තරගයක් බලන්න ගියපු වෙලාවක මගේ කොණ්ඩය දැකපු කෙනෙක් “අනේ ඔයත් තරගයට ඉදිරිපත් වෙන්නකො. කියලා කිව්වා. එදා මමත් ඒකට සහභාගී වුණා. මාව දැකපු කෙනෙක් පසුව මනමාලියක් ලෙසින් මාව හැඩ කළා. ඊට පස්සේ දෙරණ Miss Sri Lanka වුණේ.
මේ වැඩකටයුතුවලට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මගේ අම්මා පොඩි කාලේ ඉඳන් මට ලොකු සහයෝගයක් දුන්නා. මගේ පොඩි කාලේ ඉඳන්ම මාගේ යාළුවා වුණේ මගේ අම්මයි, මගේ අක්කයි. මගේ ජීවිතේ කවදාවත් වැරදෙන්නේ නැතුව ඇත්තේ අම්මාගේ ඒ බැඳීම නිසාම වෙන්නත් ඇති. අම්මා වගේම මිථිලගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
මිථිලව මුණගැහෙන්නේ කොහොමද?
මිථිලත් එක තරගයකදී මාත් එක්ක තරගය නියෝජනය කරන්න හිටියා. ඒ තරගයෙන් පස්සේ මිථිල මම ගැන හොයලා තියෙනවා. දවසක්.. “මේ දවස්වල මගේ ගෙදරින් මට ප්‍රොපෝසල් ගේනවා. ඔයාට මගේ බිරිඳ වෙන්න පුළුවන්ද? කියලා ඇහුවා. අපි 2014දී විවාහ වුණා. දැන් අපිට පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම අඛිලේෂ්. පුතාට දැන් වයස අවුරුදු තුනාහමාරයි. එයා ටිකක් දඟයි. හැබැයි හරිම හරි හුරතල්. හරි ආදරණීයයි. ඒ වගේම පුතෙක් ලබන්න මමයි මිථිලයි හරි වාසනාවන්තයි.
► Text - Jayamali / Pic -Sumudu