මම වේදිකාවෙන් රංගනයට ආපු කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය අතරින් දෙරණ රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන ‘රාවණා’ ටෙලි නාට්‍යයට සුවිශේෂි තැනක් හිමිවේ. මෙම ටෙලි නාට්‍යයේ සටන් ශූරියක වන ‘මාලනි’ චරිතයට පොවන රංගන ශිල්පිනිය සමගින් ‘සාරවිට’ අපි කතබහ කළෙමු. නමින් ඇය කසුනි කාවින්දි වන අතර, මීට සිවුවසරකට පෙර ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පැමිණ තිබේ.

 

කසුනි ඔබ වේදිකාවෙන් රංගනයට ආපු කෙනෙක්?

ඔව්, හැබැයි මම පාසල් කාලේ ඉඳලා රංගනය, නර්තනය වගේම ගායන යන හැම ක්ෂේත්‍රයකටම දක්ෂයි. මම මුලින්ම වේදිකාවට නගින්නෙ අවුරුදු දහයෙදි, ළමා නිළියක් විදිහට. ඒ මම රත්නපුර ෆර්ගියුසන් උසස් බාලකාවේ ශිෂ්‍යාවක් විදිහට පාසල් නාට්‍ය හරහා. ඒ හැමදේකින්ම මම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ හා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පසුව මම සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. එහිදී නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදි උපාධියක් ලබාගත්තා. ඉන් පස්සේ ප්‍රසිද්ධි වේදිකාවට එකතු වුණා. රංගනය පැත්තෙන් උපරිම දුරක් යන්න තමයි මගෙ බලාපොරොත්තුව.  

20190501kasuni-2

 

වේදිකාව තුළදි ඔබේ රංගන හැකියාව ඇගයීමට ලක්වූ අවස්ථාත් තිබුණා?

ප්‍රසිද්ධ වේදිකාවට මම එන්නෙ 2012 වසරේදී. ඒ ‘වේදිකාවෙන් මහ පොළොවට’ කියන නාට්‍යය උළෙලේදී. 2014 වසරේ තිබුණ යොවුන් නාට්‍ය උළෙලේදී ‘චෙරි උයන’ නට්‍යයේ කළ රංගනය උදෙසා ඒ වසරේ හොඳම ‘දිගු’ ටෙලි නාට්‍යය රංගන ශිල්පිනිය විදිහට මට සම්මාන ලැබුණා. එම නාට්‍යය හරහා 2015 වසරේ දී රාජ්‍ය නාට්‍යය උළෙලේ දී හොඳම නිළිය විදිහට නිර්දේශ වුණා. නැවතත් 2017 වසරේ දී ‘බිසෝ අම්බලම’ කියන නාට්‍යයේ කළ රංගනය හරහා හොඳම නිළියට නිර්දේශ වුණා. වේදිකාවේ නිර්මාණ බොහෝ ප්‍රමාණයකට දායක වුණා, විශේෂයෙන්ම තුමිදු දොඩන්තැන්න හා රාජිත දිසානායක යන නාට්‍යකරුවන්ගේ නිර්මාණත් ඒ අතර තිබුණා.

 

දැනට ඔබ නිර්මාණ කොපමණ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවාද?

සිවු වසරක් මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කළත්, නිර්මාණවලට දායක වුණේ තරමක් අඩුවෙන්. මොකද, මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. ලැබෙන ආරාධනා ගොඩක් හොඳින් තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ටෙලි නාට්‍යය ගත්තොත් ඉදිරියට විකාශය වෙන්න නියමිත රොෂාන් රවින්ද්‍ර අයියාගේ ‘තණමල්විල කොල්ලෙක්’ කියන ටෙලි නාට්‍යයත් එක්ක, ටෙලි නිර්මාණ පහක් වගේ කරලා තියෙනවා. පසුගිය වසරේ දෙරණ සිනමා සම්මාන උළෙලේ දී ‘හෙට දවසේ හොඳම චිත්‍රපටය’ ලෙස තේරුණු කෞෂල්‍ය මාධව පතිරණගේ ‘ඉක්කා’ චිත්‍රපටයේ මම රඟපෑවා. එහි මම කළණ කුලසේකර එක්ක ප්‍රධාන චරිතය කළා. ඉදිරියේ දී තිරගත වීමට නියමිත ‘ගජමෑන්’ කාටුන් චිත්‍රපටයේ මම මොෂන් කැප්චරින් කියන රංග තාක්ෂණය ඔස්සේ එහි ප්‍රධාන චරිතය ‘පද්මාවතී’ චරිතය රඟපෑවා. මේ වසරේ තිරගත වෙයි කියලා හිතන චාමර ජනරාජ් අයියාගේ පළමු සිනමා නිර්මාණය වන ‘උතුරු සුළඟ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුණා. ඊට අමතරව චිත්‍ර විරමන්, ඉන්දික ෆර්නැන්ඩෝ දෙදෙනාගේ තවත් චිත්‍රපට දෙකකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

 

‘රාවණා’ හි මාලනි චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ මට්ටමක තියෙනවා. ‘මාලනි’ කියන්නේ වෙනස්ම චරිතයක්. ඒකයි මම ඒ චරිතයට එකතු වෙන්න කැමති වුණේ. ඊට අමතරව පසුගියදා විකාශය නිමා වුණ ප්‍රදීප් ධර්මදාස අයියාගේ ‘ත්‍රිලෝකා’ ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවා. එහි ‘දිලුකා’ කියන චරිතය තමයි මම නිරූපණය කළේ. මේ චරිත දෙකටම රසික ප්‍රතිචාර ලැබෙනවා. නමුත්, ‘රාවණා’ බලන්නේ වෙනම වයස් කාණ්ඩයක පිරිසක්. ‘ත්‍රිලෝකා’ බලන්නේ තවත් වෙනම වයස් කාණ්ඩයක්. ඉතින් මේ වයස් කාණ්ඩ දෙකෙන්ම එක හා සමාන ප්‍රතිචාර මට ලැබෙමින් පවතිනවා.

20190501kasuni-1

සිවු වසරක කාලය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කිරීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටු වෙනවා. මොකද, රංගන ශිල්පිනියක් වෙනවා කියන දේ හැමෝටම පිහිටන්නේ නැහැ. දක්ෂතාවය වගේම වාසනාව තියෙන්නත් ඕන. නමුත්, මම වේදිකාවෙන් රංගනයට ආපු කෙනෙක්. ඒ වගේම රංගනය ගැන ලොකුවට හැදෑරීම් කරපු කෙනෙක්. වර්තමානයේ ගත්තොත් නාළිකාව ‘අවුරුදු කුමරිය’ වුණොත් රඟපාන්න පුළුවන්. අඩුම තරමේ ‘ටික්ටොක්’ වීඩියෝ එකක් කළත්, ඇති රඟපාන්න අවස්ථාව ලැබෙනවා. නමුත්, මම දන්නේ නැහැ ඒ අයගේ පැවැත්මක් තියෙනවාද කියලා. මම රංගනය ගැන හදාරලා ආපු නිසා මම කිසිම කරදරයක් නැතිව මේ ක්ෂේත්‍රය තුළ තවමත් හොඳින් රැඳී සිටිනවා.

20190501kasuni-3