මම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්
ගීත රූප රචනා බොහෝමයක දුටු කාෂා ඩේවිඩ් සමගින් අද %සාරවිට^ තරු කතා බහා මෙළෙස අරඹන්නට සිතුවෙමු. මේ වනවිට කලා කටයුතුවලින් තරමක් ඈත්ව තමාගේම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් සිටින ඇය ඉදිරියේදී තවත් කලා කටයුතු කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි. මේ ඇය අප සමග ඇය ගැන පැවසු තොරතුරු.
නිරූපණයට සම්බන්ධ වෙන්න කළින් ඔබ රූපලාවන්‍ය ශිල්පිණියක්?
ඔව්. රූපලාවන්‍ය ක්ෂේත්රයට ආවේ 2008 වසරේදී. අ.පො.ස උසස් පෙළ විභාගය ලියලා ඉවර වෙලා මම නයන කරුණාරත්න මහත්මයාගෙන් රූපලාවන්‍ය පිළිබඳව ඉගෙන ගත්තා. ඊට පස්සේ ගොඩක් ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පින්, ශිල්පිනියන් ගාව වැඩ කරමින් ඒ පිළිබඳව තව දුරටත් හැදැරුවා. ඔය අතරේ අවස්ථාව ලැබුණා චාන්දනි බණ්ඩාර මහත්මියගේ %ෆෝරේවර්^ ආයතනයේ වැඩ කරන්න. 2016 වසරේදී මගේම කියලා රූපලාවන්‍යගාරයක් මම ආරම්භ කළා. අදටත් මම ඒක කරගෙන යනවා.
කියමුකෝ එහෙනම් නිරූපණ ක්ෂේත්රයට ආවේ කොහොමද කියලා?
විනෝදංශයක් විදිහට තමයි නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණේ. ගොඩක් පොටෝ ෂූට් කළා ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්රයට ආවේ.දැනට නම් ලොකුවට නිරූපණ වැඩ කරන්නේ නැහැ. මොකද රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මම කාර්යබහුල නිසා.
රූපාලව්යණ ශිල්පිනියක් විදිහට දක්ෂ ඔබ නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න හිතුණේ ඇයි?
නිරූපණයට කැමැත්තක් තිබුණා මගේ. නමුත්, පූර්ණ කාලීනව ඒකට ආවධනයක් යොමු කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. මොකද, මගේ අවධානය තිබුණේ රූපලාවන්‍ය පැත්තට යොමු වෙන එක නිසා. හැබැයි අදටත් මම නිරූපණ වැඩ විනෝදාංශයක් විදිහට කරනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන අත්දැකිමක් තියෙනවාද ඔබට?
වැඩ කරන්න පුළුවන් හොඳ ක්ෂේත්රයක්. නමුත්, ඒක හරියට ඉගෙන ගෙන කරන්න ඕනා. හොඳට ඒ ගැන දැනුමක් තියෙනවා නම් ප්රවිණයන්ගේ සමග සහයෝගයෙන් වැඩ කරනවා නම් මේ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්න පුළුවන්. බොහෝ අය කිසිම හැදෑරිමක් තොරව මේ ක්ෂේත්රයට ඇවිල්ලා නැති වෙලා යනවා නිකම් හතු පිපෙනවා වගේ.
නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොහොමද?
මම හිතන විදිහට දැන් ඉතාමත් හොඳ පිළිගැනිමක් තියෙනවා. ඒ වගේම නිරූපණය ගැන හදාරන්න තැන් තියෙනවා. නිරූපණයෙන් රංගන ක්ෂේත්රයට එන පිරිසත් අද වැඩියි. එහෙම බැලුවම අද මේ ක්ෂේත්රය තුළ තියෙන පිළිගැනීම ගොඩක් වැඩියි කියලා හිතනවා.
වැඩියෙන් කැමති ඔබ නිරූපිකාවක් විදිහට වැඩ කරන්නද? නැත්නම් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නද?
රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරන්න. මොකද දැන් ඒක මගේ වෘත්තිය වෙලා තියෙන හින්දා. ඒ වගේම නිරූපිකාවකට වඩා මෙම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ගොඩක් කලා නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. දැනට මම රංගන ශිල්පිනි මනිෂා චංචලාගේ පෞද්ගලික රුපලාවන්‍ය ශිල්පිනිය විදිහට කටයුතු කරනවා.
උදව් කරපු අය?
මම මුලින්ම ස්තුති කරන්න ඕනා මම අදහන යේසුස් තුමාව. එතුමාගේ ආශිර්වාදය මත තමයි අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ. මට අම්මා විතරයි ඉන්නේ තාත්තා නැති වෙලා. පොඩි කාළේ ඉඳලා මගේ හැම දෙයක්ම හොයලා බලලා උදව් කළේ අම්මා. ඊට අමතරව මගේ නංගි මල්ලිලා දෙන්නාවත් මතක් කරන්න ඕනා. ඒ හැම දෙනාම මට ගොඩක් උදව් කරනවා.
බුද්ධික සේනාධීර