මම ලොකු ලස්සනක් සහ වාසනාවක් තියෙන කෙනෙක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-68

රුක්ෂානා දිසානායක කියන්නේ නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන චරිතයක්. රංගනයට පිවිස බොහෝ කාලයක් ගත වී ඇති ඇය, උපාධිධාරිනියක් වූවත් කලාවට ඉමහත් ලෙස ආදරය කරන රූපණ ශිල්පිනියකි. ඇගේ ගමන් මග සහ ඉදිරි කටයුතු ගැන කතාබහ කිරීමට ‘අද’ තරු කතාබහට ඇය එක්වූයේ මේ නිසායි.

 

ඔබ පුංචි තිරයේ මේ දවස්වල නිතරම දකින්න ලැබෙන චරිතයක් නේද?2019-01-28-ent-70

ඔව්.මේ දවස්වල මම රංගනයෙන් දායක වන නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඒ "නීල පබළු" නාට්‍යය. ඊට අමතරව "කෝටිපතියෝ" සහ "සකූගේ කතාව", "සුර්ය වච්චසා" යන ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා.

 

මේවයින් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොකටද?

‘සකූගේ කතාව’ තමයි ප්‍රේක්ෂකයන් අතරට වැඩිපුරම ගිහිල්ලා තියෙනවා. ඒ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. මගේ චරිතයට වඩා ඒ කතාව, එහි තේමාවට ගොඩ දෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද දරුවෙක් මූලික කරගෙන නිර්මාණය වුණු මේ කතාව අද වෙද්දී රසික ආදරය ගොඩක් ලැබිලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මේ කතාව ගොඩ දෙනෙක් නරඹන්නේ. ඒ නිසා තමයි ගොඩ දෙනෙක් ඒ කතාව ගැන කතා කරන්නේ. චරිත විදිහට ගත්තොත් ‘නීල පබළු’, ‘කෝටිපතියෝ’, ‘සකූගේ කතාව’, ‘සුර්ය වච්චසා’ යන කතා හතරටම විවිධ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිත හතරම වෙනස් වෙනස් චරිත නිසා හොඳ අවස්ථාවක් මට ලැබිලා තියෙනවා.

 

ටෙලි නාට්‍ය හතරකම කටයුතු කිරීමට ලැබීම පැටලිලි සහගත නැද්ද?

ලොකු කාර්යය බහුලත්වයක් නැහැ. මොකද මම ඒ ටෙලිනාට්‍යය හතරේම යෙදෙන්නේ ප්‍රධාන චරිතවල නෙමෙයි. චරිත හතරටම මම දායක වෙන්නේ සුළු ප්‍රමාණයෙන්.ඒත් ඒ තුළ යම් දෙයක් නිරූපණය කරන්න ඉඩක් තිබ්බා කියලයි මම හිතන්නේ.

 

ටෙලිනාට්‍යයට පමණක්ම සීමා වෙලාද ඉන්නේ?

ටෙලිනාට්‍යයවලට පමණක්ම සීමා වෙලා නැහැ.ඒත් මට චිත්‍රපට සඳහා ඒ තරම් ආරාධනා ලැබෙන්නේ නැහැ. පසුගිය දිනවල නම් සරත් දික්කුඹුර අධ්‍යක්ෂණය කළ ‘මරු කතර’ යන චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා තවත් චිත්‍රපට ආරාධනා ආවොත් සන්තෝසයෙන් බාර ගන්නවා.

 

ඒත් ඇයි ප්‍රධාන චරිතයකට අවස්ථාව නොලැබෙන්නේ?

සමහර විට ඒක මගේ අවාසනාව වෙන්න ඇති. ප්‍රධාන චරිතයක් කරන්න ලොකු ආකර්ෂණයක්, ලස්සනක් තියෙන්න ඕනි. මම ලොකු ලස්සනක් සහ වාසනාවක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මට ලැබුණු දේවල් ගැන මම සන්තෝස වෙනවා. මම මේ තත්ත්වයට හෝ හුඟක් මහන්සිවෙලා.දුක් විඳලා. ඒ නිසා මට මෙහෙම හෝ මේ ක්ෂේත්‍රය තුළ යම් වැඩ කොටසක් කරගෙන, ටික ටික ඉදිරියට යන්න ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා.

 

ඒත් රූපණයට වඩා වෙනත් ක්ෂේත්‍රයක් තෝරා ගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

පුංචි කාලේ ඉඳන්ම මම ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ තමයි මගේ හීනය. අනික මම අද ඊයේ චරිතයක් ලැබිලා ක්ෂේත්‍රයට වැටිච්ච කෙනෙක් නෙමෙයි. අතුරු චරිත ගොඩක් කරලා, යම් ඉලක්කයක් ඇතුවයි මේ තත්ත්වයට අද ඇවිත් ඉන්නේ. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයට ඇතුළු වුණේ මේ තියෙන ආසාව නිසා.ඒ නිසා ඒ ඔස්සේ උපාධියත් අවසන් කරලා, මම මේ කලාවට සම්බන්ධය න්‍යායාත්මක දැනුම් සම්භාරයකුත් එකතු කර ගත්තා කියලයි හිතෙන්නේ. ඒ එක්කම ජාතික තරුණ සේවා සභාවේ රංග කලා පාඨමාලාව සහ දුරුතු සිනමා පාසලේ පාඨමාලාවත් මම හැදෑරුවා. ඒ නිසා මේ අත්දැකීම් සහ අධ්‍යයනයන් එකතු කරගෙන ඉස්සරහට යනවා.ඒ නිසා මම දක්ෂ නම් මට ඒ අවස්ථාව ලැබෙයි. අත්දැකීම් එකතු කර ගැනීම තමයි වටින්නේ.

 

කැපවීම, මහන්සිය එක්ක අවස්ථාවන් නොලැබීම ගැන දුක නැද්ද?

දුකක් නැහැ. ප්‍රධාන චරිත නොලැබුණාට මට අවස්ථාවන් ලැබිලා තියෙනවා. මම 2014 තමයි ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍ය ඔස්සේ තමයි ක්ෂේත්‍රයට පැමිණියේ. එදා ඉඳන් අද වෙනකම් මට යම් කිසි ටෙලි නාට්‍යයක එක දිගට විකාශය වන චරිතයක් ලැබෙන්න හරි පොඩි වාසනාවක් තිබුණා. ඒකත් ලැබීමක්නෙ. අවුරුදු 04ක් තිස්සේ නොමැකී ඉන්න පුළුවන් එකත් ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. මොකක් හරි හැකියාවක් තියෙන නිසා වෙන්න ඇතිනේ එක වැඩකින් තව වැඩකට කතා කරන්නේ. ඒ නිසා මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. මම ඉන්න තත්ත්වය ගැන සතුටුවෙනවා. තව තව දේවල් හොයලා බලලා ඉගෙන ගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

 

වාසනාව කියන දේ හුඟක් විශ්වාස කරනවා නේද?

ඕනෑම කෙනෙක්ගේ ජීවිතයට වාසනාව කියන දේ අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක්. හැබැයි වාසනාව පමණක් ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. ඊට කැප කිරීම යන්න අනිවාර්යෙන්ම එකතු කරන්න ඕනේ. එහි එකතුවක් තියෙන තාක් කල් ජයග්‍රහණය ළඟා කර ගන්න පුළුවන්.

 

'විවිධ වූ සම්බන්ධතා තුළින් ප්‍රධාන චරිත ලැබෙනවා' යන කාරණාව ඇත්තද?

ඇත්තක් නැහැ කිව්වොත් බොරුවක්. මගෙත් කවුරු හෝ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඉදිරියට යන්න ලේසියි. ඒක සාමාන්‍ය සිදුවීමක්.එහෙම අවස්ථාවන් තියෙන අයට ඉදිරියට යන්න ඉඩක් ලැබෙනවා. හැබැයි දක්ෂතාවයක් තිබිය යුතුයි. මොන සම්බන්ධකම් තිබුණත් දක්ෂතාවයක් නැත්නම් ඉදිරියට යාමක් නැහැ.

 

කැපිලි, කෙටිලි වලට මුහුණදීලා නැද්ද?

කැපිලි, කෙටිලි නැතුවාම නෙමෙයි. සමහර වෙලාවට ඒ දේවල්වලට මුහුණදෙන්න සිද්ධ වෙනවා. හරි කණගාටුයි එහෙම දේවල් වෙද්දී. මොනවා කරන්නද?. එක එක්කෙනාගේ හැඟීම්, සිතුම් පැතුම් අපට වෙනස් කරන්න බැහැනේ.

 

Dilan Chryshantha / Pix - Sumudu

 

 2019-01-28-ent-69